Print this Article


ක්‍රියාවට පෙර ප්‍රතිඵල ගැන සිතන්න
 

ක්‍රියාවට පෙර ප්‍රතිඵල ගැන සිතන්න

ආදරණීය මව්පියන් සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්ත විය යුතු බව බුදු දහම අවධාරණය කර ඇත. අම්මා යන උදාර නාමයත්, තාත්තා යන උදාරකමත් යමිකිසි කෙනෙකුට ලැබෙන්නේ උදාර අදහස් වලින් හා සතර බ්‍රහ්ම විහරණ අනුව ජීවත් වුවහොත් පමණි. දරුවන් බිහි කළ හැකිවීම අම්මා තාත්තා යන උදාර නාමයට උරුමකම් කීමට පමණක් ප්‍රමාණවත් සාධක ලෙස සලකන්නේ නැත. තමන් බිහි කළ දරුවන් නොමැති වුව, සිව්බඹ විහරණ පුරා තිබෙන්නේ නම්, ඒ උදාර නාමයට උරුමකම් කිව හැකි ය.

බුදු දහමෙහි ද, සිංහල සංස්කෘතියෙහි ද සතර බ්‍රහ්ම විහරණ සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. දරුවන් බිහි කළ අය හඳුන්වනු ලබන්නේ අම්මා හෝ තාත්තා හෝ යන ගරු නමින් නොව, දරුවන් සිටින කාන්තාවන් හෝ දරුවන් සිටින මිනිසුන් යනුවෙනි. එබඳු චරිත අම්මා තාත්තා යන උදාර නාමය ලැබීමට සුදුසුකම් නොලබති. ඒ උතුම් ගුණ දරන අම්මලා ද තාත්තාලා ද අපගේ සමාජයෙහි ජීවත් වෙති. අප සමාජය සමස්ත වශයෙන් අධ්‍යනය කරන විට ප්‍රමාණාත්මක වශයෙන් දරුවන් සිටින කාන්තාවන් හා පිරිමින් වැඩිය. දරුවන් සිටින අම්මලා හා තාත්තලා අඩුය. උදාර මාතෘත්වය තුළ ඇත්තේ උදාර අදහසකි. මාතෘත්වය තීරණය වන්නේ කායික ක්‍රියාවලිය පමණක් නොවේ. මාතෘත්වය හා පීතෘත්වය තීරණය වන්නේ උපදින දරුවා සහ පොදු සමාජය කෙරෙහි ඒ අම්මා හෝ තාත්තා හිතන පතන ආකාරය අනුව ය.

වර්තමාන සිංහල සමාජය තුළ දරුවන් සිටින කාන්තාවන් නිසා බොහෝ දරුවෝ විවිධ අවුල් ජාලාවල පැටලෙති. ඇතැම්විට තමාගේ ජීවිතය ද විවාහ ජීවිතය ද අවුල් කරගනී. එසේම දරුවන් සිටින පිරිමින් නිසා ද දරුවෝ බොහෝ අවස්ථාවල අවුල් වෙති. ජීවිතය ද තම විවාහය ද, සමාජ ජීවිතය ද අපිළිවෙළ කර ගනිති. පවුල් අවුල් වී යයි. දරුවන්ගේ සීමාව සහ මාපියන්ගේ සීමාව වැරැදිව නිර්ණය කර ගැනීමට සමත් වන්නේ අම්මලා සහ තාත්තලාය. තමන්ට දරුවන් සිටි පමණින්ම මාත් අම්මා තාත්තා යනුවෙන් සිතන මිනිසුන් නිසා ම එම අවුල සිදුවන බව පෙනේ.

මේ එවැනි කතා පුවතකි. එක්තරා අම්මා කෙනෙක් සිටියාය. ඇයගේ දෑස් හොඳටම පෙනෙන්නේ ද නැති තරම්ය. ඇයගේ ශරීර ආබාධයක් හේතුවෙන් ශරීරයේ තෙල් ගැල්වීමට එක්තරා තරුණයකු සිටියේය. ඔහු සිය කාර්ය දිනපතා මැනවින් ඉටු කළේය. එය ඉටු කරන ඔහු එම ස්ත්‍රියගේ ශරීර ස්වභාවය ද වර්ණනා කළේ ය. උදම් ඇනුවේ ය. ටික දිනක් මෙසේ කරගෙන යන විට අන්ධ මහලු වියේ පසුවන ස්ත්‍රියට තරුණයා කෙරෙහි රාගික හැඟීමක් ඇති වන්නට විය. දිනපතා ශරීරය සම්බාහනය කරමින් ස්ත්‍රියගේ ස්වභාවය නිතර වර්ණනා කරන විට එයින් උද්දාමයට පත් ස්ත්‍රිය ඒ තරුණයා සමඟ අඹුසැමි හැසිරීමකට ඔහුට ආරාධනා කළේය. ඔහුගේ පුතා නිවසේ සිටින බැවින් එය කළ නොහැකි බව තරුණයා ප්‍රකාශ කළාය. අපට එකතු විය හැක්කේ පුතා මැරුව හොත් පමණි. ඔබට හැකි නම්, ඒ දෙය කරන්න යැයි තරුණයා ප්‍රකාශ කරයි. තම පුතා මැරීම තමාට කළ හැකි වුවත්, තම දෑස අන්ධ නිසා එය කළ නොහැකි යැයි ඇය ප්‍රකාශ කළ විට තමා උදව් කරන්නම් යයි තරුණයා ස්ත්‍රියට දැන්වූවාය. දෙදෙනා කතිකා කරගත් ආකාරයට අම්මාගේ සයනයේ සිට පුතුගේ සයනය දක්වා නූලක් පුතුට නොදැනෙන සේ ඇද මෑණියන්ගේ අතට පොරවක් ද දුන්නේය. පුතුට හොඳටම නින්ද ගිය පසු අදින ලද නූලේ ආධාරයෙන් පුතු ළඟට ගොස් පොරෝ පහරදී ඔහු අද රාත්‍රියෙහි මරණයට පත් කරමියි ඈ ඉටා ගත්තාය. මැදියම් රාත්‍රියෙහි පෙර කතිකා කරගත් පරිදි පුතු නිදා ගන්නා යහනේ ඔහු එදා රෑ නිදා ගත්තේ නැත. දරකඩක් යහනේ තබා රෙද්දකින් පොරවා ඔහු තම දෑස් නොපෙනෙන අම්මාගේ ක්‍රියාවලිය සැඟවී මැනවින් බලා සිටියේය. යහන මත හාන්සිකර තිබූ දර කොටයට පොරෝ පහර වැදුණු පසු අම්මා ඔය මොනවා දැයි කරන්නේ යි කියමින් සැඟවී සිටි පුතා තම මවගෙන් ප්‍රශ්න කළේ ය. ලජ්ජාව ඉවසාගත නුහුණු අම්මා ළය පැලී එතැනම මරණයට පත් වුවා ය.

ඇතැම් මව්පියන්ගේ ඇතැම් මනෝභාවයන් නිසා අප්‍රමාණ ලෙස චිත්ත පීඩාවට ද, සමාජ ගැරහුමට ද පත්වන දරුවෝ ද සිටිති. කොපමණ අපහසුතා අත් වින්දත් ඇතැම් උදාර දරුවෝ මව්පියන් කෙරෙහි මෛති‍්‍රයෙන්ම බලති. එසේ නොවන අවස්ථා ද බොහෝය. හැදූ වැඩූ මව්පියන්ට සැලකීම දරුවකු තුළ පවතින උතුම් ගති ගුණයකි. නමුත් දරුවන් බිහිකළ පමණින් මව්පියන් නොවන නිසා විවිධ මනෝභාවවලට වසඟව කටයතු කරන්නෝ ද සිටිති.

එක්තරා බිරිඳක් සිටියාය. ඇය තම සැමියා වැඩ ඇරී රාත්‍රියේ පැමිණෙන වේලාව ගැන බලා දැනගෙන වරදෙහි බැඳුණාය. චෞර සැමියා සහ ඇය කතිකා කරගත් පරිදි සැමියා මරණයට පත්කොට ඇයගේ ද අතපය ගැටගසා පලා ගියේ ය. ඒ සැලසුම ක්‍රියාත්මක කළ බිරිඳ තම සැමියා ගැන ද තම දරුවන් ගැන ද නොසිතුවා ය. ඇය කල්පනා කළේ තම මනෝභාවය කෙසේ හෝ ඉටු කරගැනීම පමණි.

තමා කළ ක්‍රියාවේ බරපතළකම ඇයට වැටහෙන්නට වූයේ සිද්ධි දාමය අධිකරණය දක්වා ගිය පසුවය. අම්මා කිසිවකු විසින් ගැටගසා ගොස් තිබෙන නිසා උදෑසන අවදි වූ දරුවන් ඒ ගැට ලිහන්නට හදන විට එයට විරුද්ධ වූ ගැටවලින් බැඳී සිටි අම්මා තමා නොලිහා අසල්වාසීන්ට හා පොලිසියට දැනුම් දෙන ලෙස කී බව ඒ නොදරුවෝ අධිකරණයේ කීහ. සියල්ල කණපිට පෙරළෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. තම සැමියා මරා දමා තමන් ද බැඳ දමා යන්නයි චෞර සැමියාට උපදෙස් දුන් ඒ බිරිඳ ජීවිතයේ අවසන් සමයේ පැවිදි බව හොඳ යයි තෝරාගත්තා ය. ජීවිතයේ ස්වභාවය එලෙසය. බුදුදහමේ උගන්වනු ලබන්නේ තමා යමක් සැලසුම් කරන විට එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ් ද කියා නොව, එම ක්‍රියාවේප්‍රතිඵලය කෙබඳු වේ දැයි දෙපැත්තකින්ම කල්පනාකොට බලා එය ක්‍රියාත්මක කරන ලෙස ය. එසේ කළ විට තම අදහස් ජයගන්නට තිබෙන ඉඩකඩ වැඩිය. එම කතා දෙකෙහිම කාන්තාව කරන සැලසුමට ඈතින් උදව් දෙන පිරිසක් ද සිටිති. මෙහි සඳහන් කළ කතා දෙකෙන් පළමු වැන්න බණ කතාවකි. දෙවැන්න වර්තමානයෙහි ප්‍රසිද්ධ සිදුවීමකි.

එකම දෙය නිතර නිතර කල්පනා කර කර සිටීම සුදුසු නැත. එසේ කල්පනා කරනු ලබන්නේ සුබ සිතිවිල්ලක් නම් ප්‍රශ්නයක් නැත. බුදුරජාණන් වහනසේගේ අනන්ත අපරිමාණ ගුණකාය ගැන කල්පනා කර කර සිටීම බුද්ධානුස්සති භාවනාව නම් වේ. කල්පනා කර කර ඉන්නවා යන්නට ආගමික ්වශයෙන් භාවිත කරන වචනය වන්නේ මෙනෙහි කරනවා යන්නය. තමා මෙනෙහි කරන්නේ තම හුස්ම ඉහළ පහළ යෑම පිළිබඳව නම්, එය ආනාපානසති භාවනා නම් වේ. නමුත් තමා කල්පනා කර කර ඉන්නේ අශුභ සිතිවිල්ලක් නම් එය ක්‍රමයෙන් ගැඹුරට යන නිසා මානසිකව අහිතකර හෝමෝන වර්ග ශ්‍රාවය වන්නට හැකිය. එසේ වන විට එමගින් කායික මෙන්ම මානසික අක්‍රමිකතා ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවල බොහෝ විට තමා කරන්නට සැලසුම් කරන වරදේ බරපතළකම තමාට නොවැටහෙන්නට වුව ද පටන් ගනී. මෙහි නිදසුන් ලෙස දැක්වූ කතා දෙකම එබඳු ඒවාය. නරක සිතිවිලි සහිතව කරනු ලැබූ ක්‍රියාවෙහි විපාකය ඔහුට ලැබිණි. එකම දෙය සිත සිතා ඉන්නට යාම බුද්ධිමත් සිතිවිල්ලක් නොවෙයි. යම් ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් හෝ නරක ලෙස පොදු සමාජය අර්ථකථනය කළද වරද කළ තැනැත්තාගේ මනස තමා කළ වරද තමාගේ පැත්තෙන් පමණක් සිතමින් එය සාධාරණීකරණය කරයි. ලොකු ලොකු වැරැදි දක්වා මනස අරගෙන යනු ලබන්නේ මෙබඳු අසංවර සිතිවිලි විසින්ය.

දරුවන් මව්පියන්ට සැලකිය යුතු ය. වයසට ගිය, මව්පියන්ට සැලකීම පුද්ගල දියුණුව පිණිස හේතුවන මංගල කාරණාය. මව්පියන් දෙවුරේ තබාගෙන සිය ජීවිතය කාලය පුරාම උවටැන් කළත් දරුවන් වෙනුවෙන් මව්පියන්ගෙන් වූ සේවයට හිලව් කළ නොහැකිය යනුවෙන් මව්පියන් හා දරුවන් පිළිබඳ සබඳතාවය බුදු සමයේ උගන්වනු ලබයි. දහමේ උගන්වන ඒ ඉගැන්වීම සමකාලීන සමාජයේ දරුවන්ගේ දෘෂ්ටියෙන් බැලම කෙරෙහි මේ ලිපියේ අවධානය යොමුවන්නේ ගැටලුව පිළිබඳ පර්යේෂණ ඇසකින් ද බලමින් ය.