Print this Article


ශ්‍රී දළදා පෙරහර අනාගතයට සුරැකීම

ශ්‍රී දළදා පෙරහර අනාගතයට සුරැකීම

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් තරමට ම, වැදගත්වන, සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේ සංධිස්ථානමය සිහිවටනයක් ලෙස සැලකිය හැකි ය.

මහනුවර කන්දේ රාජ්‍ය සමයේ දී, නායක්කාර රජවරුන්ගේ සමයේ දී මහනුවර රජවාසලවටා ඉදි වූ සතර දේවාලයන් ඇසුරේ වැඩුණු චාරිත්‍ර වාරිත්‍ර, වත් පිළිවෙත් සමූහයක් එහි දැකිය හැකි විය.

අනාගත සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන නාථ දෙවියන් පිළිබඳ ඇදහීම ලංකාවේ පැවැති එක් ඇදහීම් සම්ප්‍රදායක් ගොඩනැගීමට පදනම් විය. පොළොන්නරු රාජ සමයේ සිට අවලෝකිතේශ්වර දෙවියන් ඇදහීම පැවැති අතර එක් එක් රාජධානි සමයන්හි දී එය විකාශනය විය. මහනුවර නාථ දෙවියන් සඳහා ඉදිකරන ලද දේවාලය, මහනුවර නගර ඉතිහාසය අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයින්ට අනුව ඉපැරැණි රජ වාසල අසල ඉදි වූ ආගමික ස්ථානයම ලෙස සැලකේ.නාථ දෙවියන් වන්දනා කිරීම, අනාගත බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම ලෙස කන්ද උඩරට පමණක් නොව රටපුරා ගැමියන්ගේ ද ඇදහීම් හා විශ්වාසය විය.

දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ‘විෂ්ණු දේව ඇදහීම’ ලාංකික වීමෙහි ලා, බුදු සමයේ පැවැත්මට විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවාය යන විශ්වාසය බලපෑවේ ය. විෂ්ණු දේව ඇදහීම සමාජගත වන්නේ ඒ විශ්වාසය අනුවය.

පත්තිනි දෙවියන් ඇදහීම හා කතරගම දෙවියන් ඇදහීම මහනුවර කන්දේ රාජ්‍යයේ ජන ජීවිතයේ පැවැත්ම, ආරක්ෂාව, සශ්‍රීකත්වය වෙනුවෙන් සමාජගත වූවකි. මෙම සිව් මහා දේවාල හා බැඳුණු වත් පිළිවෙත් අතර ඇසළ පෙරහර පවත්වනු ලැබුවේ සශ්‍රීකත්වය, සෞභාග්‍යය, සුහදතාවය, පී‍්‍රතිය සහ සොම්නස යන මානව සමාජයේ පැවැත්ම කෙරෙහි බලපාන්නා වූ සනින්වේදනමය සංකේත ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වශයෙනි. ඇසළ පෙරහර මුළුමනින් ම ආරම්භ වන්නේ කන්ද උඩරට වැඩවසම් රාජ්‍යත්වය හා බැඳුණු නිෂ්පාදන හා සේවා කටයුතු මිශ්‍ර වූ වත් පිළිවෙත් සමුදායක් මඟිනි. ඇසළ පෙරහරේ චාරිත්‍ර පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී මේ ලක්ෂණ හඳුනාගත හැකි ය. එහිදී ඉපැරැණි කන්දේ රාජ්‍යයේ වත් පිළිවෙත් හා ඇවතුම් පැවතුම් කෙරෙහි ප්‍රාදේශීය දෙවිවරුන්ගේ හා දේවාලයන්හි සිරිත් විරිත් ද බලපා ඇත.

මහනුවර පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ, මාවනැල්ල දැඩි මුණ්ඩ දේවාලයේ සකස් කෙරෙන කප පූජා පවත්වා එතැන් සිට මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල බස්නායක නිලමේවරු විසින් ගෞරවයෙන් කැඳවාගෙන එනු ලැබ ඒ ඒ දේවාලයන්හි කප් සිටුවා දින සතක් එම කප වටා පුද පූජා පවත්වන පෙරහර සමගිනි. කන්ද උඩරට වැසියෝ මෙම පෙරහර ඇතුල්ගේ පෙරහර ලෙස ද හඳුන්වති. ඇතුල්ගේ පෙරහර නිමා වීමෙන් අනතුරුව වීදි සංචාරය කරන පෙරහර කුඹල් පෙරහරයි.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ කාලයේ කාලාන්තරයක් තිස්සේ චාරිත්‍රානුකූලව පැවැති මෙම සතර දේවාල පෙරහරට ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරද එකතු විය. එම ඇසළ මංගල්‍යය දළදා මාළිගාවේ පෙරහර සමඟ එක් වීම සමඟ ශ්‍රී දළදා පෙරහර නමින් එතැන් පටන් සංවිධානය වන ආකාරය දැකිය හැකි ය. ඉපැරැණි දේවාල පෙරහර චාරිත්‍ර තව දුරටත් පවත්වා ගනිමින්, ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරද සම්බන්ධ වීම සමඟ ඊට ආවේණික වූ දළදා පුද සිරිත් සමඟ පෙරහර තව දුරටත් සංවර්ධනය වන්නේ එහි ඉපැරැණි චාරිත්‍ර වාරිත්‍රද සංවර්ධනය කරමිනි. ඒ අනුව ශ්‍රී දළදා පෙරහර මුළුමනින් ම ඉපැරැණි වැඩවසම් රාජකාරි ක්‍රමය මත ගොඩනැඟී සංවර්ධනය වෙමින් පැවතුණු ඓතිහාසික සංදර්ශනයක් වශයෙන් හැඳින්විය හැකි ය.

සතර දේවාල මෙන් ම ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර හා සමඟ බැඳුණු ශිල්පීන්, කලාකරුවන්, ආවතේවකරුවන්, වත් පිළිවෙත් පවත්වන්නන්, අලි ඇතුන් සපයන්නන්, සේවා සහ භාණ්ඩ සපයන්නන් ආදී සියල්ලන් වෙත රාජකාරී ක්‍රමය විසින් ඉඩම්, නින්දගම් පිළිබඳව මෙන් ම, පවරන ලද ඒ ඒ කාර්යයන්වල ස්වරූපය, ඇවතුම් පැවැතුම් හා භාණ්ඩ සැපයිය යුතු ප්‍රමාණයන් පිළිබඳව ද ඉපැරැණි ලේඛනවල සඳහන් ය.

අප පෙරදී සාකච්ඡා කළ පරිදි ඇතුල්ගේ පෙරහරින් පසු කුඹල් පෙරහර පහක් පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර ආරම්භ වේ. වඩාත් උත්කර්ෂවත් නව අංග එක් කරමින්, අලි ඇතුන් වැඩි කරමින්, නැටුම් ශිල්පීන් වර්ධනය කරමින් රන්දෝලි පෙරහර වීදි ගමන් කරයි. රන්දෝලි පෙරහර අවසාන දිනයන්හි ඊට පාවාඩ පෙරහර, රන්සිවිගේ පෙරහර ආදී වශයෙන් නව අංගෝපාංගයන් එක් කරමින් වඩා විසිතුරු ආයිත්තම්වලින් සැරසූ අලි ඇතුන්, නැටුම් කණ්ඩායම් එක්කරමින් එම පෙරහර තවත් උත්කර්ෂවත් වන ආකාරය දැකිය හැකි ය. නිකිණි පෝය දා මහ පෙරහර වීදි සංචාරය කරයි. මහ පෙරහරින් අනතුරුව එදිනම මැදියම් රැය පසුවෙද්දී දිය කපන පෙරහර ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වන්නේ සතර දේවාල පෙරහර පමණි. දිය කපන පෙරහර යාමට පෙර දළදා පෙරහර ගෙඩිගේ රජ මහා විහාරයට ගොස් දළදා කරඬුව එහි තැන්පත් කරනු ලැබේ. ගෙඩිගේ විහාරය දළදා ගමන් මාළිගාව ලෙස ද හඳුන්වයි. දිය කැපීමෙන් අනතුරුව අලුයම ගැටඹේ තොටින් ඇරඹෙන පෙරහර හින්දු පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් පුද පූජා පවත්වා ඉන්පසු ගෙඩිගේ විහාරයට පැමිණේ. ගෙඩිගේ විහාරයෙන් ආරම්භ කරන දවල් පෙරහර වීදි සංචාරය කොට ශ්‍රී දළදා මාලිග චතුරශ්‍රය තුන්වරක් ප්‍රදක්ශිණා කිරීමෙන් පසු පෙරහර නිමා වන්නේ ය. ඉන්පසු පෙරහර නිමා වූ බව දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු රජගෙදර දී රාජ්‍ය පාලකයා හමුවේ නිල වශයෙන් චාරිත්‍රානුකූලව සැළ කරති.

දළදා පෙරහර පිළිබඳ මූලික චාරිත්‍ර එසේ අවසන් වුවද දළදා පෙරහර ඇසුරේ වස් දොස් ඉවත් කිරීමට දින 07 ක් පුරා විෂ්ණු දේවාලයේ වලියක් මංගල්‍ය පවත්වයි.

මුළුමනින්ම චාරිත්‍ර, ඇවතුම් පැවතුම්, නැකත් හා බැඳි මෙම ඓතිහාසික මංගල්‍යය පරම්පරානුගත ව ඒ ඒ යුග පසු කරමින් වර්තමානය දක්වා විකාශනය වන්නේ එහි මූලික ගුණාංගයන් හා සිරිත් විරිත් ආරක්ෂා කර ගනිමිනි.

මෙම මහා සංස්කෘතික පෙරහර අනාගතය සඳහා සංරක්ෂණය කරන්නේ කෙසේ ද? නූතන කාර්මික, නාගරික, වාණිජ තරගකාරීත්වයන් හමුවේ සමාජයේ අගයන්, වටිනාකම් වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. අනෙක් පසින් රාජකාරී ක්‍රමය, වැඩවසම් වටිනාකම් සමාජයෙන් සෙමෙන් සෙමෙන් පරිවර්තනයට ගොදුරු වෙමින් තිබේ. ශ්‍රී දළදා පෙරහර මේ වනවිට මෙරට පමණක් නොව විදේශ ගතව, විදේශිකයන් අතර ද සම්භාවනාවට පත්වෙමින් තිබේ. මහනුවර නගරයම මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යමින් පවතී.

ඓතිහාසික ඇසළ පෙරහර එම මහා සමාජ වෙනස්වීම් හමුවේ, එසේම නව ඉල්ලුම හමුවේ එහි ඉපැරැණි රුව ගුණ ලකුණ රැකගෙන පවත්වාගෙන යන්නේ කෙසේද? මෙම ප්‍රශ්නය අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටලුවයි. මේ සඳහා බුද්ධිමතුන්, විචාරකයින්, ආගමික නායකයින් හා ප්‍රතිපත්ති තීරකයින්ගේ විමර්ශනය යොමු කිරීමේ වැදගත්කම අද මතුව තිබේ. අනාගත පරපුරට මෙම ඓතිහාසික කලා මංගල්‍යය එහි මූලිකාංග රැකගෙන පවත්වාගෙන යන්නේ කෙසේද? එම අභියෝගයට නිර්මාණාත්මක පිළිතුරු සෙවිය යුතු ය.