Print this Article


ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයන්ට හිමි මහාර්ඝ පූජනීය වස්තුවයි

ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයන්ට හිමි මහාර්ඝ පූජනීය වස්තුවයි

මහනුවර උපෝෂිත, පුෂ්පාරාම විහාරද්වයාධිපති
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමි

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයන්ට හිමි මහාර්ඝ පූජනීය වස්තුවයි. පෙර ලක්දිව රජුන්ගේ රාජ්‍ය උරුමයේ සංකේතය වූ උතුම් දළදා වහන්සේ බුද්ධාගමේත්, සිංහල ජාතිය හා සංස්කෘතියේත් අද්විතීය, උත්තරීතර සංකේතය ද වන්නේ ය. සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් අති උතුම් දළදා වහන්සේ විෂයයෙහි සිරිලක රජවරු නන්විධ පූජාවෙන් පුදා දිවි හිමියෙන් රැකගත්හ. ඇතැම් රජවරු ලක් රජයෙන් පවා දළදා වහන්සේ පූජා කළෝ ය.

එකී රාජපූජිත පූජාවන් අතුරෙන් වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සුවිශේෂී පූජෝපහාර මංගල්‍යයකි. මෙම පූජා මංගල්‍යය හුදු විනෝදය සලසාදීමේ අටියෙන් පවත්වන්නක් නොවේ. සෙංකඩගලපුර ඇසළ පෙරහර පවත්වනුයේ, රටට සෙත් ශාන්තිය හා රැකවරණය සලසාලන දළදා වහන්සේගේ ගුණ මහිමයට පූජෝපහාරය දක්වා, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය සලසාගනු පිණිසත්, බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය හා ශ්‍රීවිභූතිය ලොවට ප්‍රදර්ශනය කොට බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කරවනු පිණිසත් ය. මෙම අසිරිමත් පෙරහර නැරඹීමට නන්දෙසින් පැමිණෙන මහජනතාව පරිසරයට කැළිකසළ මුදා හැරීමෙන් තොරව පූජනීය පරිසරය පවිත්‍රව තබා ගනිමින්, සංවරශීලීව පෙරහර නරඹා ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කර ගන්නා ලෙස කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටිම්හ. තෙරුවන් සරණයි.