Print this Article


 දළදා හිමි පුද දෙන සතර මහා මංගල්ලය

 දළදා හිමි පුද දෙන සතර මහා මංගල්ලය

" සතර මංගල්ලයන් නම් වර්ෂයේ දුරුතු පුන් පොහෝ දිනට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය හා ඉල් පුන් පොහෝ දිනට යෙදෙන කාර්තික මංගල්ලය හෙවත් ප්‍රදීප පූජා මංගල්ලයයි."

සෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයේ විරාජමානව වැඩ සිටින්නා වූ පරම පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයයෙහි පැරැණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත බුද්ධෝපස්ථාන තේවා චාරිත්‍ර විධි අතර වාර්ෂික සතර මංගල්ලයන් චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් අනුව අදටත් අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි.

එකී මංගල සම්මත සතර මංගල්ලයන් නම් වර්ෂයේ දුරුතු පුන් පොහෝ දිනට යෙදෙන අලුත් සහල් මංගල්ලය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය හා ඉල් පුන් පොහෝ දිනට යෙදෙන කාර්තික මංගල්ලය හෙවත් ප්‍රදීප පූජා මංගල්ලයයි.

අලුත් සහල් මංගල්ලය

මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන්වහන්සේ බවට විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරුව පවතී. ඒ නිසාම රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය සමග තම අස්වැන්නේ සරුසාරත්වය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන් කොට පිදීමේ සිරිත ඇරඹිණ. ගොවීහු ස්වකීය ගොවිතැන් කටයුතු ආරම්භයේ දී ම අස්වැන්නේ ප්‍රථමභාගය අලුත් සහල් මංගල්ලයට පිදීමට භාර වෙති. ඒ අනුව දළදාවහන්සේ විෂයයෙහි පැවැත්වෙන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.

ලක්දිව ඒ ඒ රජදරුවන් ශ්‍රී දළදාවහන්සේ විෂයයෙහි අළුත් සහල් මංගල්ලය පවත්වා පූජෝපහාර දැක්වීම සඳහා ඉඩකඩම් පමණක් නොව නිලකරුවන් ද පත් කොට පවරා දුන්හ. එසේ අතීතයේ දී දළදා මාළිගාවට වෙන් කොට පවරා දෙන ලද කුඹුරු ඉඩම්වල අස්වැන්න ගබඩා කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හා ගම් මට්ටමින් අටු කොටු ද තැන් තැන්වල පිහිටුවා තැබූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේ විෂයයෙහි පූජා කළ කෙත් යාය හා ඉපැරැණි අටුව, ගුරුදෙණියෙහි ස්ථාපනය කොට තිබිණ. එම කුඹුරු යායට වී අමුණු දහ අටක් පමණ වැපිරෙන භූමිභාගයක් අයත් විය. ගුරුදෙණිය කෙත් යාය සහ මහඅටුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද සංවර්ධන ව්‍යාපෘති යටතේ ජලයෙන් යට වී ගිය අතර, ඒ වෙනුවට ඒ පෞරාණික අටුව පල්ලෙකැලේ භූමිභාගයෙහි දැනට සංරක්ෂණය කොට පිහිටුවා ඇත. ගුරුදෙණිය කුඹුරු යාය වෙනුවට රජයෙන් පවරා දුන් මහවැලි සී කලාපයෙහි පිහිටි යක්කුරේ කෙත් යායෙන් ලැබෙන වසරේ අස්වැන්නේ මුල් කොටස පල්ලෙකැලේ අටුවෙහි තැන්පත් කොට තිබීම සිරිත ය. අලුත් සහල් මංගල්ලයට සුබ නැකතින් වී සහල් බෙදා දීම සිදු කෙරෙනුයේ පල්ලෙකැලේ භූමිභාගයේ මෙම පෞරාණික අටුව සංරක්ෂණය කොට ඇති පල්ලෙකැලේ දී ය.

අලුත් සහල් මංගල්ලයට නියමිත මූලික කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව, සුභ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුව ය. මෙම නැකැත් පත්‍රයෙහි මූලික වශයෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සිට, ශ්‍රී දළදා මාළිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලෙකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදා දීම, පසු දා ගංඟාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා විත් සුභ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ගොක් කොළින් සරසා සැකසූ සුවිශේෂී ස්ථානයක වී සහල් ගබඩා කිරීම හා අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුභ නැකැත් මුහුර්තියෙන් ඒ අලුත් සහල් සේරු අසූවකින් ආහාර සම්පාදනය කරවා, ව්‍යංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙල කරවා සුභ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමඟ හාල් සේරු අසූවක දානය සූදානම් කළ හැකි කිරිබඩ පාත්‍රය පිරෙන සේ දානය පිළියෙල කර දළදාවහන්සේ විෂයයෙහි පූජා කිරීම සිදු වේ.

උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුල්වූ විට පිවිසෙන හඳුන් කුඩම තුළ හාල් සේරු අසුවකින් පිසු ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ද, තේවාවභාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමින්වහන්සේලා ද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝ ද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබඩ පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යංජන අවුල්පත් හා පලතුරු ආදිය පුජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි පුජා කරති. මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරවය. සතර දේවාලය අතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාල වල ද මෙකී වේලාවේ දී ම අලුත් සහලින් පිසූ අහරින් බුද්ධ පූජා හා දේව පූජා සිදු කරති.

අලුත් අවුරුදු මංගල්ලය

ජීවමාන බුදුන් හා සම කොට සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වෙන සතර මංගල්ලයන් අතුරෙන් අලුත් අවුරුදු මංගල්ලය සුවිශේෂී මංගල්ලයකි.

අලුත් අවුරුදු දිනයේ දී නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි, සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදු කෙරේ. කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තාහික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ. අලුත් අවුරුද්ද උදෙසා කිරි ඉතිරවීම චාරිත්‍රය ද ශ්‍රී දළදා මාළිගාවේ දී සිදුවන සුවිශේෂී සිරිතකි. රටට, ජනතාවට සෞභාග්‍යය, සමෘද්ධිය ප්‍රාර්ථනා කොට වැඩසිටින මාළිගාවේ මහද්වාරය අබියසදීත්, පල්ලේමාලේ දොරටුව අබියසදීත්, මුල්තැන්ගේදීත් යන තුන් ස්ථානයේ දී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ. මෙම අවස්ථාවට තේවාභාර නාහිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවෝ ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි වැනි සත්ව කිරි භාවිත නොකරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම පවතින සිරිතයි. එළඹෙන ආසන්නම බදාදා දිනයේ දී නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා ඖෂධ වර්ග යොදා සකස් කරනු ලබන නානු භාවිත කෙරේ. අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට නානු බෙදා දීම සඳහා නානු පිළියෙළ කරනු ලබන්නේ ශ්‍රී දළදා මාළිගාවේ දී ය. පුණ්‍ය කාලය තුළ ද, අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැකිය හැකි ය. නව වසර සෞභාග්‍යමත්, සමෘද්ධිමත්, නිරෝගීමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ සුභාශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

ඇසළ පෙරහර මංගල්ලය

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයෙහි වර්ෂ 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාල අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාළිගාව පෙරටු කොට පැවැත්වේ. දළදා පෙරහර පැවැත්වීම අරමුණු කීපයක් නිසාම සිදු විය. අතිපූජනීය දළදා වහන්සේට ගෞරව පූජෝපහාරය පිණිසත්, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇති කර ගැනීම පිණිසත්, අධ්‍යාත්මික ශාන්තිය හා ශ්‍රද්ධා භක්ති දැනවීම පිණිසත් පෙරහර පැවැත්වීමේ මූලික අරමුණු වූවා යැයි සලකා ගත හැකි ය. පැරණියේ දී පෙරහර පැවැත්වීමත් සමඟ දළදා ප්‍රදර්ශනය කරවීමේ පිළිවෙත ද පැවතිණ. දේශීය කලාකරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමේ වේදිකාවක් වශයෙන් එකී කලාවන්ගේ උන්නතිය සලසා දක්ෂතා එළි දැක්වීමට ඉඩකඩ සලසා දීම ඇසළ පෙරහර මංගල්ලය තුළින් ඉටු විය. පැරණියේ දී මෙන්ම වර්තමානයේ දී ද පෙරහර මංගල්ලයට පෙර නගරය පවිත්‍ර කරවා, පිළිසකර කරවා සෝභාමත් කිරීම එදා පටන් අද දක්වා පවතින සිරිතකි. මෙසේ නගරය අසිරිමත් කොට සුභ සිරිත් පරිදි, පේ කොට තබන ලද ‘පණස’ වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට පූර්වාභිමත්ව ඇසළ කප සිටුවීමෙන් පෙරහරේ මූලික චාරිත්‍ර ආරම්භ වේ. ඉන් අනතුරුව දේවාල අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දිය කැපීමේ පෙරහර හා මධ්‍යම රාත්‍රියෙහි පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කිරීමේ චාරිත්‍රය ද සිදු කරවා, පසු දා දහවල් පෙරහර ගෙඩිගේ විහාරයෙන් ආරම්භව, මාළිගා චතුරස්‍රය වටා තෙවිටක් ප්‍රදක්ෂිණා කරවා ගෙවැදීම සිරිත ය.

කාර්තික පෙරහර මංගල්ලය

අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව, දඹදිව උපත ලැබූ බුදු සමයෙහි ද ආමිෂ පූජාවක් වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා පූජාවකි. අසූ හාර දහසක් ධර්මස්කන්ධය සංකේතවත් කොට අසූ හාර දහසක් පහන් පූජා පින්කම් පැවැත්වීම බෞද්ධයන් අතර බහුලව සිදුවන්නකි. කුරු රට ධනංජය රජු ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වූ වග කුරු ධම්ම ජාතක කථාවෙහි සඳහන්වේ. ලක්දිව අනුරපුර පණ්ඩුකාභය රජු සමයෙහි චිත්‍රරාජ හා කාලදේවල යක්ෂ නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත්වූ බව සෙනරත් පරණවිතාන සූරින් සඳහන් කරයි. මහනුවර යුගයේදී දෙවන රාජසිංහ රජ තුමාගේ සමයෙහි ද ප්‍රදීප පූජා- කාර්තික උත්සවය පැවති බව රොබට් නොක්ස්ගේ වාර්තාවෙහි සඳහන්වේ. කන්ද උඩරට නායක්කාර වංශික රජදරුවන් යටතේ කාර්තිකයෙහි, ප්‍රදීප පූජෝත්සවය පැවැත්වීම වඩාත් ප්‍රචලිත වූවායැයි සිතිය හැකි ය. ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මෙහොට්ටාල විසින් සාදා දෙනු ලබන සුබ නැකැත් මුහුර්තිය අනුව (නොවැම්බර් මස) ඉල් පුර පසළොස්වක පෝය දිනයේදී ප්‍රදීප පූජා පැවැත්වීම හා පෙරහර මංගල්ලය සිදුකිරීම සාමාන්‍ය සිරිත ය. ඉල්පෝය දිනට පෙර දින ගම් දහයේ විදානේවරු ලවා ශ්‍රී දළදා මාලිගාව සරස වනු ලැබේ. පුර පෝය දින සුබ මුහුර්තියට අනුව පහන් දල්වා මාලිගා චතුරශ්‍රය වටා කුඩා පෙරහරක් පැවැත්වීම මෙහි දී සිදුකෙරේ. මෙම පෙරහරේ දියවඩන නිලමේතුමා ගමන් කරන්නේ නැති අතර කාරිය කරවන කෝරාළ පෙරහරේ ගමන් කරයි. මෙ දිනම කාර්තික වට්ටෝරුවේ සඳහන් අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදුවේ. කාර්තික මංගල්ලය දින පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම සිදුකෙරෙනුයේ ශ්‍රී දළදා මාලිගාවෙනි. කාර්තිකේය දිනට දින දෙකකට පමණ පෙර පෙරහරකින් තෙල් නැලි 103 ක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ සිට නාථ දේවල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාල වලට තෙල් බෙදාදීම සිදුකෙරේ. සතර මංගල්ලයන් හා ඊට අමතර අනෙකුත් මංගල්ලයන් නොකඩවා චිරාගත සම්ප්‍රදායානුකූලව උත්කර්ෂවත් ලෙස පැවැත්වීම දියවඩන නිලමේවරයා සතු කාර්ය භාරයන් අතර ඉතා වැදගත් තැනක් ගනී.