Print this Article


හෙළ සාහිත කෙත බැබළවූ සිරි දළදා සාහිත්‍යය

හෙළ සාහිත කෙත බැබළවූ සිරි දළදා සාහිත්‍යය

බෞද්ධයන්ගේ වන්දනීයත්වයට, පූජනීයත්වයට පාත්‍ර වූ උතුම් පූජනීය වස්තූන් දෙකකි. ඒ ශ්‍රී දන්තධාතූන් වහන්සේ සහ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය.

මෙම උතුම් වූ පූජනීය වූ වස්තූන් ජන ජීවිතයකට කෙතරම් අනුගත වූයේ ද යත් එය අරමුණු කොට අපූර්ව සාහිත්‍යයක් ද ගොඩනැඟී ඇත. දන්තධාතූන් වහන්සේ වටා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා වහන්සේ වටා ද ගෙතුණු සාහිත්‍යයක් ඇත. විශේෂයෙන් ම ලංකාවාසී වූ අපට එය ඉතාම වැදගත් කාරණයකි. බෞද්ධ සාහිත්‍යය හා සිංහල සාහිත්‍යය කියා සාහිත්‍ය දෙකක් නොව එකක් ලෙසය, අපගේ අතීත උරුමය දෙස බැලූ විට පෙනී යන්නේ.

දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව සංකල්පය අපට හමුවන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ශතවර්ෂ කීපයකට පසුව ය. එසේ වූව ද දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව කතා බහට මූලික වශයෙන් ලක්වන අවස්ථාව වන්නේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන්වන පරිදි ධාතු විභජන අවස්ථාවේ සිටය. විශේෂයෙන් ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ධාතූන් වහන්සේලා බෙදාදීමට සම්බන්ධ වූ බව බෞද්ධයෝ වූ අප කරුවුත් දන්නා කරුණකි. එම අවස්ථාවේ සිට ම ධාතූන් වහන්සේලා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වේ.

මහා පරිනිබ්බාණ සූත්‍රය මෙන් ම බුද්ධ වංශයේ ඇතුළත් කතාවලත් ‘ධාතු විභජනය’, එසේ නැතිනම් ධාතු බෙදාදීමේ පුවත සංග්‍රහ වී ඇත. දාඨා ධාතු ගැන විශේෂයෙන් ම සඳහන් වන්නේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි අවසාන ගාථා පහේදී ය. ඒ අනුව එක් දළදා වහන්සේ නමක් තවුතිසා දිව්‍ය ලෝකයේත්, තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයේත්, තුන්වන දළදා වහන්සේ කාලිංග රජතුමාගේ විජිතයේත්, හතරවන ධාතූන් වහන්සේ නාග ලෝකයේ පූජාවට ලක්වන බව කියැවේ.

අප රට දන්ත ධාතූන් වහන්සේ වැඩමවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 4වන සියවසේ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේ බව සඳහන් ය. දන්ත ධාතූන් වහන්සේගේ වැඩමවීමෙන් අනතුරුව ගොඩනැගෙන පළමුවැනි සාහිත්‍ය වන්නේ දළදා පෙරහර පිළිබඳ සංකල්පයයි. එදා සිට අද දක්වා පෙරහරේ විකාශය දෙස බැලීමේ දී එනම් සංස්කෘතික අංගවලින් සමන්විත දේශීය අනන්‍යතාවය පිළිබිඹු කරන විචිත්‍රවත් බව නිසා මේ දළදා පෙරහර සාහිත්‍යයක් ලෙසට අගය කිරීමට පුළුවන. චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්තාවන්ට අනුව අභයගිරි විහාරයට දන්ත ධාතූන් වහන්සේ පෙරහරකින් වැඩම කළ බව සඳහන් වේ. ඒ අනුව පෙරහර සංස්කෘතිය අපගේ ඉතිහාසයට ඈත අතීතයේ සිට ම එකතු වී තිබෙන බව කියැවේ.

දළදා වහන්සේ පිළිබඳ වඩාත් විස්තර සඳහන් වන මූලාශ්‍රය වන්නේ මහා වංශයයි. මහා වංශයේ පැහැදිලිව ම දළදා වහන්සේගේ වැඩමවීමේ ප්‍රවෘත්තිය හා ඒ සඳහා අදාළ පුද පූජා මෙන් ම චාරිත්‍ර වාරිත්‍ර පවත්වන ආකාරය ද සඳහන් වේ. දළදා වහන්සේ පිළිබඳව මුල්ම සාහිත්‍යාත්මක කෘතියක් ලෙස දැක ගන්නට වර්තමානයේ ඉතිරිව පවතින්නේ ද පාලි දාඨා වංශය පමණි. පාලි දාඨා වංශය රචනා කරනු ලැබ ඇත්තේ පොළොන්නරු සමයේ ලීලාවතී නම් වූ රැජිනගේ කාලයේ දී ධර්මකීර්ති නම් වූ හාමුදුරුවන් වහන්සේ නමක් විසිනි. මින් පෙර දළදා වහන්සේ ආශ්‍රිතව සාහිත්‍යයක් නොතිබුණ බව මින් අදහස් වන්නේ නැත. දළදා වහන්සේ පිළිබඳව දාඨා වංශ කතුවරයා කරන ප්‍රකාශයට අනුව පෙනී යන්නේ ධර්මකීර්ති හාමුදුරුවෝ පැරැණි මූලාශ්‍රවල සඳහන් වූ කරුණුගෙන මේ පාලි දාඨා වංශය රචනා කළ බව කියැවෙන බැවිනි. එයින් පැහැදිලිවන කාරණයක් වන්නේ සිංහල දළදා වංශයක් අතීතයේ ද අපට උරුමව තිබූ බවයි. දන්ත ධාතූන් වහන්නේ ලංකාදීපයට වැඩම කළ මුල් අවධියෙන් පසු, එනම් ඉන් ශත වර්ෂ තුන හතරකට පසුව සිංහලයෙන් මෙන් ම පාලියෙන් දළදා සාහිත්‍යයක් ගොඩනැගී ඇති බව විශ්වාසයයි.

සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය ඛේම නම් වූ ස්වාමීන් වහන්සේ, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු, උන්වහන්සේගේ ශ්‍රී දේහය චිතකයේ දැවී අවසන් වූ වහා ම වම් යටි දළදා වහන්සේ රැගෙන කලිඟු රටට පිටත්ව එරට බඹදත් නම් රජතුමාට පිළිගැන්වූ බව පාලි ධාතු වංශයේ සඳහන් වේ. එසේ පිළිගන්වන අවස්ථාවේ දී, ඉදිරි කාලයකදී පහළ වන ගුහසීව රජතුමාගේ සමයේ මෙම දළදා වහන්සේ ලංකාදීපයට වැඩම කරවන බව ද, ඛේම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇති බව පාලි ධාතු වංශයේ සඳහන් ය.

ලංකාදීපයට හේමමාලා හා දන්ත කුමාරයා විසින් වැඩම කරනු ලැබූ වාම දළදා වහන්සේත්, එදා ඛේම ස්වාමීන් වහන්සේ කලිඟුරට බඹදත් රජතුමාට පිළිගැන් වූ දළදා වහන්සේත් එකම දළදා වහන්සේ බව පැරැණි මූලාශ්‍රය වන පාලි ධාතු වංශයේ සඳහන් බව දැක්වේ.

‘දාඨා වංශය’ කෘතිය හැර දළදා වහන්සේ පිළිබඳව සිංහලයෙන් රචනා කර තිබෙන ඉපැරැණි ම ග්‍රන්ථය ‘දළදා සිරිත’ය. දළදා සිරිත රචනා වන්නේ කුරුණෑගල යුගයේ, හතරවන පරාක්‍රමබාහු රජ දවස ය. මෙම ග්‍රන්ථය රචනා කරන විට කතුවරයා පැරැණි මූලාශ්‍රයන් රාශියක් යොදාගෙන ඇති බව ද කෘතිය ආරම්භයේ දී ම සඳහන් ව ඇත. මෙහි දී පැහැදිලිවන කරුණ වන්නේ මින් පෙරත් සිංහලයෙන් දළදා වහන්සේ පිළිබඳව සාහිත්‍යයක් අපේ රටේ ගොඩනැගී තිබූ බවත්, ඒවා යම් යම් හේතු නිසා අස්ථානගතව හෝ සතුරු උවදුරු නිසා විනාශයට යන්නට ඇතැයි කියා විශ්වාස කළ හැකි බව ය. පාලි දාඨා වංශය මූලික වශයෙන් ගුරුකොට දළදා සිරිත ලියැවී ඇත. දළදා සිරිතේ සඳහන් වන්නේ දළදා පුද පූජාවන් මෙන් ම ඒවා සිදු කළ යුතු ආකාරයන් පිළිබඳව යැයි කීම නිවරැදි ය.

“විසල් ඒ සුනිල් කෙස් එක හෙලා පිට හෙලා සෝ දුකින් තැවි තැවී මහ හඬින් හඬ හඬා නිවුඩු හුරු නල ලා මුසපත්ව බම බමා එක්වලා සිය ලියන් සමඟ ගොස් උයන් කුස්වැඳ” මෙහි දී කතුවරයා භාවිත කළ රීතිය වෘත්ත ගන්ධි ශෛලියයි. දෙව්රද දම් පසඟිනාවන් මෙය රචනා කර ඇත. සකු වදන්, හෙළ වදන් මිශ්‍රව, කර්ණ රසායනව, අසා ඉන්නා අයට ඉතාම හොඳ සුවයක් මෙන් ම අර්ථයක් ගෙනදෙන ආකාරයෙන් මෙම කෘතිය රචනා කර තිබේ.

මෙම කෘතිය රචනා කිරීමේ දී අනුප්‍රාසය හොඳින් යෙදීම නිසා ම අසන්නාගේ දෙසවනට මිහිරක් දනවන අතර, දළදා වහන්සේ පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් ජනිත කරවයි. ශ්‍රද්ධා සිතින් ධර්ම දේශනාවක් අසන්නා සේ දළදා වහන්සේ පිළිබඳව ඇසීම තුළින් සාහිත්‍යාත්මක රසයක් විඳීමට ද හැකි ය. ‘දළදා සිරිත’ කියවා රස විඳීම පිණිස නොව කියවනු අසා රස විඳින පාඨකයන් අරභයා රචනා කර ඇති බව කෘතිය විමසීමේ දී පැහැදිලි වේ.

පසු කාලීනව බිහි වූ ග්‍රන්ථයන්ට ‘දළදා සිරිත’ විශාල ආදර්ශයක් සපයා ඇත. කුවේණි අස්න වැනි පසු කාලීන ග්‍රන්ථයන් ද මෙම වෘත්ත ගන්ධි ශෛලයෙන් රචනා වී තිබේ. මෙම යුගයට ම අයත් තවත් කෘතියකි, ‘දළදා පූජාවලිය’. පාලි දාඨා වංශයේ සිංහල පරිවර්තනයක් ලෙසයි දළදා පූජාවලිය රචනා වී ඇත්තේ. මෙයට මහා වංශය, දීප වංශය, ජිනලංකාර වර්ණනා, රසවාහිනී වැනි ග්‍රන්ථ මූලාශ්‍රයන් එකතුව ඇත. එලෙස ම පසුකාලීනව රචනා වූ සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, නිකාය සංග්‍රහය වැනි කෘතීන් ද දළදා පූජාවලිය ආදර්ශයට ගෙන රචනා කර තිබේ.

දෙවැනි ‘දළදා පූජාවලිය, පළමු දළදා පූජාවලිය කෘතියට අමතරව කියැවේ. කතුවරයාගේ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ අත්දැකීම් සහිතව මෙම දෙවැනි පූජාවලිය කෘතිය ඉදිරිපත් කර තිබේ. දළදා පුද සිරිත් සම්බන්ධයෙන් මෙහි ඇතුළත් ව ඇත. ඒ වගේ ම අනෙක් ලක්ෂණය වන්නේ නුවර යුගයේ භාෂාව සම්පූර්ණයෙන් ම මේ සඳහා භාවිතා වී තිබීමයි. ඒවගේ ම නොදියුණු ඇතැම් භාෂා ලක්ෂණ ද මෙම දෙවැනි දළදා පූජාවලියෙහි ඇතුළත් ව ඇත.

මෙසේ නොයෙක් ආකාරයෙන් මෑත යුගය දක්වා ම දළදා වහන්සේ සම්බන්ධව විශාල කෘති රාශියක් ලියැවී ඇත. මෙම කෘති අධ්‍යයනය කිරීමේ දී අපට ඒ ඒ යුගයන් හි පැවැති සමාජ තත්ත්වයන්, භාෂා ලක්ෂණ, එලෙස ම ජනතාව කුමන ආකාරයෙන් ධර්ම දේශනා ක්‍රමවලට පෙළගැසී සිටියා ද? ඒ වගේ ම ඒ තුළින් ජනතාවට මොනතරම් සාහිත්‍යාත්මක වින්දනයක් ලබා දුන්නා ද? යන්න අවබෝධ කරගන්නට පුළුවන.