Print this Article


නිම් නැති ගුණ ඇති උතුමෝ

නිම් නැති ගුණ ඇති උතුමෝ

බුදුහාමුදුරුවෝ යනු කළගුණ සැලකීමේ උතුම් පණිවුඩය ලෝකවාසීන්ට ප්‍රදානය කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ය. බුදුරදුන් මව්පියන් වෙනුවෙන් කෘතවේදිත්ය පෙන්නුම් කළ අවස්ථා මුළු බුද්ධ චරිතය පුරාම දැකගන්නට පුළුවන.

එක් දිනයක බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා සාකේත නුවර පිණ්ඩපාතය සඳහා වැඩම කරති. මෙහිදී එක්තරා මහලු බමුණෙක් බුදුරදුන් දැක වැඳ වැටී බුදුරදුන්ගේ පිටිපතුල් අතින් අල්ලාගෙන “ඇයි පුතේ මෙච්චර කාලයක් අප දකින්නට ආවෙ නැත්තෙ, දරුවො වුණාම අම්මල තාත්තාලට සලකන්න ඕනෑ නේද? මා නම් දැන් පුතා දැකගත්තා.ඒත් අම්මාටත් පුතා දැකගන්න ඕනෑනේ. එන්න, එන්න අම්මවත්. බලාගන්න” කියල බුදුරදුන් තමන්ගෙ ගෙදරට වැඩම කරවා ගත්තා. ඊළඟට බමුණා කියනවා “අනේ පුතේ, හැමදාම අපේ ගෙදරට දානයට වඩින්න”.බුදුහාමුදුරුවෝ වදාරනව.”බමුණ, බුදුවරු එහෙම එකම තැනකට හැමදාම දානයට වඩින්නෙ නැහැ . අනෙක් අයටත් නිවන් මග පාදා දිය යුතු යි.”

එහෙමනම් , පුතේ වෙනත් අය දානයට ආරාධනා කළොත් අපටත් මතක් කරන්න කියල ඒ අයට කියන්න. අපටත් ඒ දානයට කොටස්කරුවන් වන්නට පුළුවනි. මේ ඉල්ලීමට බුදුරදුහු එකඟ වූහ.

ඊට පසු වෙනත් ආරාධනා ලැබුණු විට අසවල් බමුණාටත් මතක් කරන්න යනුවෙන් බුදුරදුහු දන්වා සිටියහ. විශේෂ ආරාධනා නැති බොහෝ අවස්ථාවල අර බමුණාගේ නිවසට දානය සඳහා වැඩම කළහ. මේ ආකාරයට දාන, සීල ,භාවනා වඩමින් සිටි මේ බමුණාත් බැමිණියත් නොබෝ කලකින්ම අනාගාමී ඵලයට පත් වූහ.

මේ අතරතුර භික්ෂූන් වහන්සේලා අතර මෙබඳු කතා බහක් ඇතිවිණි. මහාමායාදේවිය හා සුද්ධෝදන රජු බුදුරදුන්ගේ මව්පියන් බව මේ බමුණාත් බැමිණියත් දනිති. එසේ දැනගෙනත් ඔවුන් බුදුරදුන්ට පුතා කියා අමතන්නේ ඇයි? බුදුරදුන්ද මෙහිදී නිහඬව සිටින්නේ කුමන කරුණක් නිසා ද?

භික්ෂූන් තමන් අතර කතාබහවූ මේ සිද්ධිය දැන්වූ පසු බුදුරදුහු ප්‍රකාශ කර සිටියේ “මහණෙනි,ඔවුන් පුතා පුතා කියා ඇමතුවේ තමන්ගේම පුතාට යි. මේ හා සම්බන්ධ අතීතය ගෙනහැර දක්වමින්. මේ බමුණා ජාති පන්සීයය ක් මගේ පියාණන් වී ඇත. ජාති පන්සීයයක් මගේ සුළු පියාණන් වී ඇත. ජාති පන්සීයයක මගේ ලොකු තාත්තා වී ඇත. මේ බැමිණිය ජාති පන්සීයයක් මාගේ මව් වී ඇත. ජාති පන්සීයයක් මාගේ පුංචි අම්මාවී ඇත. ජාති පන්සියයක් මාගේ ලොකු අම්මා වී ඇත. මේ අතීත සම්බන්ධතාවය අනුවයි ඒ දෙපළ පුතා පුතා කියා මා ඇමතුවේ කියමින් බුදුරදහු මෙම කරුණ පැහැදිලි කර දුන්හ.

කලින් නොදුටු අයකු වුවද ඔහු කෙරෙහි බැඳීමක්, විශ්වාසයක්, ප්‍රසාදයක් ඇතිවීමට අතීත ජාතිවල පැවති සම්බන්ධතාවය හේතු විය හැකි බව මෙම සිදුවීම අපට පෙන්නුම් කරයි. මෙහිදී පෙන්නුම් කර ඇත්තේ සාංසාරික වශයෙන් ඇතිවන සම්බන්ධතාවයකි. බමුණත්, බැමිණියත්, තුන්මාසයකට පසුව රහත් වී පිරිනිවන් පෑහ. මෙහිදී බුදුරදුන්ගේ අතීත මව්පිය දෙපළක් යන හැඟීම නිසා , හැමදෙනාම සම්බන්ධවී ආදාහන කටයුතු කළහ. මේ ආදාහනය කරන තැනටත් බුදුරදුහු වැඩම කළහ. මේ අවස්ථාවේ බුදුරදුන් ශෝකයෙන් වැඩ සිටිනවා කියලයි සාමාන්‍ය මිනිස්සු සිතුවේ. එහෙම හිතල බුදුරදුන් ළඟට පැමිණ 'බුදුරජාණන් වහන්සේ ශෝකවෙන්න එපා. කනගාටුවන්න එපා' කියලා. බුදුරදුන් අස්වැසීමට කරුණු කීහ. මෙහිදී බුදුරදුහු ජීවිතයේ ඇති අනිත්‍යතාවයත්. මහලුවී වයසට යන ආකාරයත්, මේ සියල්ල අතැහර යාමට සිදුවන බවත්, ඒ නිසා ම නො ඇල්ම, ඇතිකරගත යුතු බවත් පෙන්නුම් කරමින්, ‘ජරාසූත්‍රය’ දේශනා කළහ.

ඉහත සිද්ධිය තුළින් පෙන්නුම් කරන බමුණාගේ සහ බැමිණියගේ හැසිරීමත්, ඒ වෙනුවෙන් බුදුරදුහු පෙන්නුම් කළ කෘතවේදීත්වයත්, ඒ තුළ ගැබ්වී ඇති අහිංසකත්වයත්, අව්‍යාජ ක්‍රියාකාරිත්වයත් අපට වැදගත් පාඩමක් කියා දෙයි.

බමුණා සහ බැමිණිය “පුතේ පුතේ’ කියා ඇමතීමේ දී නැහැ නැහැ මගේ පියා සුද්ධෝදන රජු. මව මහාමායාදේවිය යනුවෙන් ප්‍රකාශ නොකර එම අවස්ථාවට සුදුසු අයුරින් බුදුරදුන් ක්‍රියා කළ ආකාරය ඉතා වැදගත් ය. මේ කතාව තුළින් අපට දෙන පාඩම කුමක්ද? ඒ තමයි මව්පිය උපස්ථාන ය. මව්පිය දෙපළටම නිවන් මග කියා දුන්නා කියන්නේ මව්පියන් වෙනුවෙන් කළ හැකි ඉහළම කෘතවේදිත්වය පෙන්නුම් කළ බවයි. තම මව්පියන්ට උදව් උපකාර කිරීම, අත්පා මෙහෙවර කිරීම, ආහාරපාන. බේත්හේත් ,ඇඳුම් පැළඳුම් සැපයීම, මව්පියන් වෙනුවෙන් වතාවත් ඉටුකිරීම වැනි කරුණු පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමුවිය යුතු ය. මව්පිය උපස්ථානය පිළිබඳව වැදගත් කරුණු රාශියක් බුදුදහමෙහි පෙන්නුම් කර ඇත.

“මහණෙනි මේ ලෝකයෙහි දෙදෙනෙකුට කළගුණ සලකා ඉවරයක් කරන්න බැහැ. ඒ තමයි මව සහ පියා. ඉතාමත්ම ජරා ජීර්ණවූ මව්පියන් දෙදෙනා උරහිස් දෙකේ හිඳවාගෙන අවුරුදු 100 ක් සියලුම වතාවත් කරමින් නෑවීම් ඇඟ ඉලීම් ආදි උපස්ථාන කරමින් සිටියත් මව්පියන් දරුවන් වෙනුවෙන් කළ දේට ප්‍රත්‍යුපකාරයක් නොවන බව“බුදුරදුහු පෙන්වා දුන්හ. තවදුරටත් බුදුරදුහු “මහණෙනි, කිසියම් පුත්‍රයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණ මහ පොළොවේ සක්විති රජකමට පත් කළත් මුළු මහත් පොළොවෙහි අධිපතිකමට පත් කළත් මව්පියන් දරුවන්ට කළ අනුග්‍රහයට ප්‍රත්‍යුපකාරයක් නොවන බව බුදුරදුහු පෙන්වා දුන්හ. නමුත් යම්කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැති තමන්ගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවනවානම්, ශීල සම්පත්තිය නැති මව්පියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ත්‍යාග සම්පත්තිය නැති මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් එම පුත්‍රයා මව්පියන්ට කළ ගුණ සැලකූ අයෙකු ලෙසත් තමාට කළ උපකාරයට උදව්වට වඩා කෘතවේදිත්වය දැක්වු පුතෙකු ලෙසත් සැලකිය හැකි බව බුදුරදුහු පෙන්වා දුන්හ. ඉහත සඳහන් කථාව තුළින් මව්පිය දෙපළ ශ්‍රද්ධාදී සම්පත්තීන්හි පිහිටුවා නිර්වාණාවබෝධය ලබාදීම තුළින් බුදුරදුන් තම අතීත මව්පියන්ට ප්‍රත්‍යුපකාර කළ අයුරු මැනවින් ප්‍රකට වනු ඇත.

මව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් අද සමාජය දෙස බලනවිට එක්තරා මට්ටමක පසුබෑමක් දැක ගන්නට පුළුවන. මව්පියන් පිළිබඳ අවධානයෙන් සිටින, අවශ්‍යතා සපුරාලන, මව්පියන්ට ගෞරව කරන. වඳින පුදන අය සිටිය ද, මව්පියන් පිළිබඳ කිසිදු කෘතවේදිත්වයක් නැති පිරිස් එන්න එන්නම වැඩිවන බව සමාජගත සිද්ධින් තුළින් පෙනෙන්නට ඇත.

මව්පිය දූදරු සබඳතාව යනු පවුලක ප්‍රගතියට ,සමඟියට ,සතුටට පමණක් නොව මුළු සමාජයේ ම යහපැවැත්මට බලපාන මූලික සාධකයක් වනු ඇත. දූදරු මව්පිය සබඳතාව පවත්වා ගැනීමට අවශ්‍ය කරුණූ බුදුරදුහු පෙන්වා දී ඇත. මේ සඳහා අවශ්‍ය පරිසරය සකස් කළ යුත්තේ මව්පියන් විසිනි. ඒ අනුව කටයුතු කිරීම දරුවන් සතු වගකීමකි. දූදරුවන් දුසිරිතෙන් වළක්වා යහපතෙහි යොදවන්නේත්, හොඳ අධ්‍යාපනයක් ලබා දීම තුළින් මනා පෞරුෂයකින් යුත් පුද්ගලයෙකු බිහිකරලීම සඳහා කටයුතු කරන්නේත් මව්පියන් දූදරුවන් කෙරේ ඇති අපමණ සෙනෙහස නිසා ය. මව්පියන් සමඟ සුහද සබඳතාවක් ගොඩනගා ගත හැක්කේ දරුවන් විසින් ඉටුකළ යුතු යුතුකම් නිවැරැදිව ඉටුකිරීම මත ය. මව්පිය අවශ්‍යතා නිසිපරිදි ඉටුකරන දරුවෝ මේ ජීවිතයේදීම ප්‍රශංසාවට ලක්වන අතර මව්පියන්ගේ ආශිර්වාදය ලබමින් සසර ගමනත් සරුකර ගනිති.

සමහර දරුවෝ මව්පියන්ට වැඳුම් පිදුම් කිරීමක් තබා ගෞරව කළ යුතු අවස්ථාවල ගෞරවයක්ද නොදක්වති. ඔවුහු මොනතරම් අකෘතඥයෝ ද?

දරුවන්ගේ ගෞරවය සැලකිල්ල ලබන මව්පියන් වෙසෙන පවුල බ්‍රහ්ම, පූර්වාචාර්ය පූර්ව දේවතා, ආහුනෙය්‍ය වැනි උදාර ගුණයන්ගෙන් අලංකෘත පවුලක් ලෙස සැලකිය හැකි ය. මව්පියන්ගේ සිතට වේදනාවක් නොදී සැනසීම ලබා දෙමින් කටයුතු කරන දරුවෝ මව්පිය ආශිර්වාදය ලබන්නෝ වෙති. ආවාහ විවාහ කටයුතුවලින් පසු දරුවන් බොහෝ විට මව්පියන්ගෙන් වෙන්වන නිසා ඇතැම් මව්පියෝ අසරණ වෙති. අද සමාජය දෙස බලන විට විදේශගත වූ දරුවන් නිසා අසරණව කාන්සියෙන් කල්පනාවෙන් සිතට සැනසිල්ලක් නොමැතිව කල්පනා ලෝකවල නිමග්න වු මව්පියන් බොහෝ අවස්ථාවල දැකගත හැකි ය. මෙබඳු තනිකමක්, කාන්සියක්, නොදැනෙන අයුරින් මාපියන් රැකබලා ගැනීමට කටයුතු සැලසීම දූ දරුවන්ගේ වගකීමකි. මව්පිය සෙනෙහස ලබමින් දරුවන් ද තම යුතුකම් ඉටුකරමින් කටයුතු කරන පවුල තුළ සුන්දර පරිසරයක්, වාතාවරණයක් ගොඩනැගෙනු ඇත. මව්පියන්ගෙන් සුළු අඩුපාඩු සිදුවුව ද ඒවා ගැන නොසිතා දරුවන් වශයෙන් තම යුතුකම් ඉටුකිරීම මෙහිදී වැදගත් වනු ඇත. සමහර මව්පියන් මත්පැන් පානය, සොරකම, අල්ලස. සත්ව ඝාතන, විවිධ අපචාර ක්‍රියාවන් ආදියෙන් දූෂිත චරිත බවට පත්ව ඇත. මීට අමතරව මව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් පැහැර හරිමින් කටයුතු කරන අවස්ථා ද දැකගන්නට ඇත. මෙවැනි මව්පියන්ට වැඳුම් පිදුම් කිරීමටත් කිසියම් උදව්වක්, උපකාරයක් කිරීමට වත් දූ දරුවෝ ඉදිරිපත් නොවෙති. මෙබඳු දරුවන්ට අකෘතඥයන් යැයි දොස් පැවැරිය හැකි ද? යන්නත් ප්‍රශ්නයකි. මේ අනුව මව්පියන්ගෙන් දරුවන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් නිසි පරිදි ඉටුවන්නේදැ’යි නිතර නිතර විමසිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත. ඒ තුළින් සැනසිලිදායක දරු පරපුරක් ගොඩනැගෙනු ඇත.