Print this Article


නිකිණි පොහෝදා ශාසනික වටිනාකම්

නිකිණි පොහෝදා ශාසනික වටිනාකම්

ශාසනික වශයෙන් ඉතාම වැදගත්වූත්, ඓතිහාසික වශයෙන් ඉතාම වටිනාවූත් සිදුවීම් රැසක් නිකිණි පොහෝදා සිදු වී තිබේ.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු තුන් මාසයක් ගතවීමත් සමඟ ම එළඹුණු නිකිණි පුර පසළොස්වක පොහෝ දින මුල් ම ධර්ම සංගායනාව ආරම්භ විය. මේ සඳහා මහරහතන් වහන්සේලා පන්සියය නමක් සහභාගී වූ අතර හත් මසක් පුරා එය පැවැත්විණි. ‘පංචසතිකා’ නමින් හඳුන්වනු ලබන මෙම මුල් ම ධර්ම සංගායනාව ආරම්භ කිරීමට තුඩු දුන් හේතු දෙකකි. එකක් නම් නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ අභාවයත් සමඟ ම විවිධ අනුගාමිකයන් විවාද කොට එම ශාසනය සී සී කඩ ගොස් විනාශවීමට හේතු වූ නිසා ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා මහා ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කිරීම යි. දෙවැන්න නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වෘද්ධ ශිෂ්‍ය භික්ෂුවක් වූ සුභද්‍ර නම් පැවිද්දා ‘ඇවැත්නි, ශෝක නො කරන්න, නො වැළපෙන්න, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනෙමු.’ යනුවෙන් හඬා වැළපෙන භික්ෂූන්ට ප්‍රකාශ කිරීමත් සමඟ විවිධ පටු අදහස් දරන භික්ෂූන්ගෙන් බුදු සසුන රැක ගත යුතුය යන අදහස ඇතිවීම ය.

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ද නිකිණි පුරපසළොස්වක පොහෝදා අලුයම් කාලයේ ය. පළමු සංගායනාවට පන්සියයක් මහරහතන් වහන්සේ තෝරමින් සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වනවිට රහත්බවට නො පැමිණි ආනන්ද තෙරුන් ද ඒ සඳහා තෝරාගත් සේක. ආනන්ද හාමුදුරුවෝ ධර්ම සංගායනාවට පෙරදින බොහෝ වෙලාවක් විදර්ශනා වඩමින් කාලය ගත කළ සේක. නමුත් ඒ දක්වා රහත් භාවයට පත්වීමට නො හැකි වූ උන්වහන්සේ මොහොතක් ඇඳෙහි සැතපෙමියි සිතා ඇඳ මත වාඩි වී හිස කොට්ටය මත තබන්නටත් පෙර, දෙපා ඇඳමතට ගන්නටත් පෙර ඒ අතර මැද කාලයේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක.

ඒ වන විට රජගහනුවර සප්තපර්ණී නම් ගුහාද්වාරයේ අජාසත්ත රජ විසින් කරවන ලද මණ්ඩපයක ධර්ම සංගායනාව පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබුණු අතර, අන්‍යමතධාරීන්ගෙන් සිදුවිය හැකි බාධා පිළිබඳ සලකා ඊට කාටවත් ඇතුළුවීමට නො හැකි පරිදි සම්පූර්ණ ආරක්ෂාවක් ලබා දී තිබුණි. නමුත් ආනන්ද මහරහතන් වහන්සේ තම අරහත්භාවය ප්‍රකාශ කරනු පිණිස සෘද්ධි බලයෙන් සියලු ආරක්ෂා විධි ඉක්මවා නිකිණි පොහෝදා අලුයම සියල්ලන්ට ම පෙර එම මණ්ඩපය තුළට වැඩම කර සියලු දෙනා පුදුමයට පත් කළ සේක.

නිකිණි පුරපසළොස්වක පොහෝ දින මුල් කර ගෙන සිදුවූ තවත් වටිනා ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන්වීම ය. පසු වස් සමාදන් වීම යනු යම් කිසි හේතුවක් නිසා උපසම්පදා භික්ෂුවකට ඇසළ මස පුන් පොහෝ දින වස් සමාදන් වීමට නොහැකි වුවහොත් නිකිණි පුර පසළොස්වක පොහෝදා පසු වස් සමාදන් වීමයි. නමුත් එසේ පසු වස් සමාදන් වූ භික්ෂුවකට කඨින වස්ත්‍රාදිය පිළිගැනීමට කැප නැති බව විනයෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාසයේ යම් යම් වැදගත් සිදුවීම් රැසක් ම නිකිණි පුර පසළොස්වක පොහෝදා සිදු වී ඇත. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කිරීම ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක ය. මේ නිසා බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ නිකිණි පොහෝ දා සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනා කිරීමට යති. එසේම සේරුවිල නිකිණි මහා පෙරහර ආරම්භ වන්නේ ද මෙදින ය. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය මෙන්ම සංස්කෘතික හා බෞද්ධ ආගමික පුද පෙරහර වන මහනුවර ඇසළ මහා පෙරහර අවසන් කරමින් පවත්වනු ලබන රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම ද නිකිණි පොහොය මුල්කරගෙන සිදු වේ.