UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 03: අකුසල සහගත චිත්තවේග

තෙවළා බුදු වදන් අතරින් 03:

අකුසල සහගත චිත්තවේග

නීවරණප්පහාන වර්ගය අංගුත්තර ඒකක නිපාතයේ දෙවැන්නයි. එයින් අකුශල සහගත චිත්තවේග යනුවෙන් හැඳීන්වෙන පංච නීවරණ ධර්ම ඇතිවීමට බලපාන හේතු හා ඒවා නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත පැහැදිලි කෙරේ. සිත ආවරණය කරන, සිතේ ප්‍රසන්න බව හා පැහැදිලි ස්වභාවය යටපත් කරන, සිත අකර්මන්‍ය කරන, ප්‍රඥාව දුර්වල කරන අකුශල සහගත චිත්තවේග ලෙස නීවරණ හැඳීන්විය හැකි ය.

කාමච්ඡන්දය, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච හා විචිකිච්ඡා යනුවෙන් හැඳීන්වෙන එම පංචවිධ නීවරණ චිත්ත සමාධියට ඉඳුරාම බාධක වේ. මූලික වශයෙන් අකුශල සහගත චිත්තවේග ලෙස පිළිගැනෙන මෙම නීවරණ අතරින් තුන්වැන්නෙන් හා සිව්වැන්නෙන් චිත්ත වේග දෙක බැගින් අවධාරණය වන හෙයින් විස්තරාත්මක වශයෙන් සැලකීමේ දී නීවරණ ධර්ම සියල්ල හතක් ලෙස නම්කළ හැකි ය. එහෙත් පෙළ ග්‍රන්ථවල එය ගණයක් ලෙස පංචනීවරණ යනුවෙන් දක්වා තිබේ. අංගුත්තර නිකායේ එන නීවරණප්‍රහන වර්ගය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා කළ දේශනයකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි එක් දිනක භික්ෂූන් ඇමතූ බුදුරජාණන් වහන්සේ,

“මහණෙනි නූපන් කාමච්ඡන්දය ඉපදීමටත් උපන් කාමච්ඡන්දය වර්ධනය වීමටත් හේතුවන සුභ නිමිත්ත හා සමාන වෙනත් දහමක්ද, නූපන් ව්‍යාපාදය හටගැනීමටත්, උපන් ව්‍යාපාදය වර්ධනය වීමටත් හේතුවන පටිඝනිමිත්ත හා සමාන වෙනත් දහමක් ද, නූපන් ථීනමිද්ධය ඉපදීමටත්, උපන් ථිනමිද්ධය වර්ධනය වීමටත් හේතුවන ඇඟමැලි කැඩීම, බත්මදය, සිතේ හැකිළුණු බව හැර අන් දහමක් ද, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චය වර්ධනය වීමටත් හේතුවන සිතේ නොසන්සුන් බව හා පසුතැවිල්ල හැර අන් දහමක් ද, නූපන් විචිකිච්ඡාව හටගැනීමටත් හටගත් විචිකිච්ඡාව වර්ධනය වීමටත් හේතුවන නුවණින් තොරව මෙනෙහි කිරීම හැර අන් දහමක් ද, මම නොදකිමි.” යනුවෙන් දේශනා කළහ. මෙම දේශනාව අනුව කාමච්ඡන්දය ඇතිවීම පිණිස යමක් සුභ වශයෙන් මෙනෙහි කිරීමත්, ව්‍යාපාදය ඇතිවීමට ද්වේෂ සහගත නිමිති මෙනෙහි කිරීමත් ථීනමිද්ධය හෙවත් සිතේ හා කයෙහි අකර්මන්‍යතාව සඳහා කම්මැලිකම, අකර්මන්‍ය බව, බත්මදය හේතුවන බවත්, සිතේ ඇතිවන නොසන්සුන් බව හා පසුතැවීම හේතුවෙන් උද්ධච්චකුක්කුච්ච නීවරණයත් යමක් නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් චිචිකිච්ඡා නීවරණයත් ඇති වේ. සැම අකුශල චිත්තවේගයක්ම කිසියම් හේතුවක ප්‍රතිඵලයක්ය යන්න එයින් තවදුරටත් පැහැදිලි වේ.

පංචකාම වස්තූන්ට අයත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ යන මෙම අරමුණු සුභ වශයෙන් මෙනෙහි කිරීම හා ඒවා කෙරෙහි යම් කැමැත්තක් ‘ඇල්මක්, සතුටක්’ තෘෂ්ණාවක් වෙතොත් එය කාමච්ඡන්දය ලෙස නම්කළ හැකිය. ද්වේෂ සහගත අරමුණු අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ක්‍රෝධය තරහව හා වෛරය යනුවෙන් විවිධ නම්වලින් හැඳීන්වෙන අකුශල සහගත චිත්ත වේග ඇතිවේ. විවිධ හේතු නිසා සිතෙහි පවතින අකර්මන්‍ය හෙවත් උද්‍යෝගයක් නොමැතිවීම ථීන නම්වන අතර, මිද්ධ යනු කයෙහි පවතින අකර්මන්‍ය බවයි. ඒ අනුව කායික හා මානසික වශයෙන් උද්‍යෝගයක් හා උනන්දුවක් නොමැති වීම එහි ප්‍රධාන ලක්ෂණයයි. විවිධ හේතු නිසා ඇතිවෙන මානසික නොසන්සුන් බව මෙන්ම පසුතැවීම උද්ධච්චකුක්කුච්ච නීවරණයේ ස්වභාවයයි. ධර්මයට අනුව කුක්කුච්ච යනු නොකළ යහපත පිළිබඳවත්, කළ අයහපත පිළිබඳවත් පසුවට ඇතිකරගන්නා පසුතැවීමයි. යමක් නුවණින් මෙනෙහි කිරිමෙන් සැක දුරුකර ගත හැකි ය. එහෙත් යමක් නුවණින් තොරව (අයොනිසො මනසිකාර) විමර්ශනය කරන තාක් සැකය හෙවත් විචිකිච්ඡාව පවතී.

නීවරණ හටගැනීමට තුඩුදෙන හේතුකාරණා පමණක් නොව එම නීවරණ බැහැර කීරීමට දියුණු කළ යුතු, වර්ධනය කළ යුතු ධර්මද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. ඒ අනුව අසුභය වැඩීමෙන් කාමච්ඡන්දයත්, මෙත් සිත දියුණු කිරීමෙන් ව්‍යාපාදයත් ආරම්භකධාතු, නික්ඛමධාතු, පරක්කමධාතු යනුවෙන් කියැවෙන පරිදි වීර්ය වැඩීමෙන් ථීන මිද්ධයත්, සිත සංසිඳවීමෙන් නොසන්සුන් බව හා පසුතැවිල්ලත්, සියල්ල නුවණින් මෙනෙහි කිරීමෙන් විචිකිච්ඡාවත් ප්‍රහීණ වේ.

බුදුරදුන්ගේ අනුශාසනාව අනුව පංච නීවරණ බැහැර කිරීමෙහිලා භාවනාව අත්‍යවශ්‍ය වේ. ඒ අනුව අසුභ භාවනාව වැඩීමෙන් පංච කාම ලෝකයට ඇති කැමැත්ත පාලනය වේ. වෛරය හා ක්‍රෝධය පිරි ද්වේෂ සහගත සිත පාලනය කිරීමට මෙත්තා භාවනාව උපයෝගී වේ. කායික හා මානසිකව ඇතිවන උද්‍යෝගය හා වීර්ය අලසකම දුරුකරලීමේ මාර්ගය වේ. ඒ සඳහා යෝග්‍ය අභ්‍යාසයකි සක්මන් භාවනාව. ආනාපාන සතිය දියුණු කිරීමෙන් සිත තැන්පත්වන හෙයින් නොසන්සුන් බව හා පසුතැවිල්ල පාලනය කර ගත හැකි ය. බෝධ්‍යංග ධර්ම වැඩීමෙන් විචිකිච්ඡාව බැහැරකළ හැකි ය. කොටින් කියතොත් සමථයට අයත් සියලුම භාවනා නීවරණ යටපත්කිරීම සඳහා යෝග්‍ය වේ.

මෙම සූත්‍ර දේශනා විවරණය කෙරෙන මනෝරථපූරණි අටුවාවෙහි දැක්වෙන පරිදි නීවරණ ධර්ම පාලනය කරගැනීමෙහි ලා අනුගමනය කළ හැකි උපක්‍රම හයකි. සෑ මළු, බෝ මළු ඇතුළු ආරාමය පවිත්‍ර කරමින් කරන ඇමදීම් ආදී වතාවත් නිසා පංච නීවරණ ධර්ම තාවකාලික වශයෙන් යටපත් කළ හැකි ය. ධර්මය කියවීමත්, ඒ ගැන ලිවීමත්, සාකච්ඡා කිරීමත්, නිවරණ ධර්ම පාලනය කිරීමේ තවත් උපක්‍රමයකි. තෙළෙස් ධුතාංග වැඩීමෙනුත් නීවරණ ධර්ම හා සම්බන්ධ ඇතැම් චිත්තවේග පාලනය වේ. චිත්ත සමාධිය දියුණු කිරීමෙන් ඇතිවන මානසික ඒකාග්‍රතාවෙන් නීවරණ ධර්ම යටපත් වේ. නීවරණ ධර්ම පාලනය කිරීමේ දී උපයෝගී වන්නේ චිත්ත සමාධිය පමණක් නොව විදර්ශනා භාවනාව ද බෙහෙවින් අදාළ වේ. අටුවාවෙහි දැක්වෙන නීවරණ ධර්ම පාලනය කෙරෙන හයවන ක්‍රමය නවකම් හෙවත් ආරාමික ඉදිකිරීම්වල නිරත වීමයි. මේ සියල්ල සමාලෝචනය කළ විට ඇමදීම් හා පවිත්‍ර කිරීම් ආදි ආරාමික වත් පිළිවෙත්වල නිරත වීමත්, ධර්මය හැදෑරීමත්, භාවනාවේ නිරත වීමත්, ආරාමික ඉදිකිරීම් ආදියේ යෙදීමත් අකුශල සහගත චිත්තවේග තාවකාලික වශයෙන් පාලනය වීමට හේතුවේ.

මනෝරථපූරණී අටුවාව ඉදිරිපත්කරන උපක්‍රම හයෙන් අවධාරණය වන්නේ නිකරුණේ කාලය ගත නොකර ඵලදායී ක්‍රියාවල නිරත වීමෙන් අකුශල සහගත චිත්ත වේගවල බලය හා ශක්තිය දුර්වල කළ හැකි බවයි. වගකීමක් හා කාර්යක් නොමැතිව කාලය ගත කිරීම අකුශල සහගත ආකල්ප වර්ධනය වීමට තෝ තැන්නකි. පුද්ගලයාට මෙන්ම සමාජයට ද හිතකර කාර්යක නිරත වීමෙන් අනවශ්‍ය සිතිවිලිවලින් සිත නිදහස් කර ගත හැකි වේ.

නීවරණ වග්ගයේ සූත්‍ර දේශනා භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන දේශිත වුවද, එයින් ඉගැන්වෙන කරුණු ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු ය. සාධාරණ ය. පංච නීවරණ මූලික කරගත් අකුශල සහගත චිත්ත වේග සැම අයෙකුටම හානිකර වේ. එය පුද්ගලයාට පමණක් නොව සමාජයට ද එකසේ බලපායි. නීවරණ ඇතිවෙන හේතු හා ඒවා පාලනය කිරීමට යෝජිත විකල්ප ක්‍රියා කවරේදැයි නිවැරැදිව හඳුනාගත් විට පාලනය කිරීම ද පහසු වේ.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]