UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරැදි දෘෂ්ඨි ඇතිකරගන්නේ ඇයි?

වැරැදි දෘෂ්ඨි ඇතිකරගන්නේ ඇයි?

" උපාලි මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් මහා විනයධරයි. ආනන්දයන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු දෙනා බහුශ්‍රැතයි. ඒ වගේම දේවදත්තයන් සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් පාපී ආසාවන්ගෙන් යුක්තයි කියලා දේශනා කළා. මේ අනුව සත්ත්වයෝ සසැෙඳන්නේ එකතුවෙන්නේ ධාතු ස්වභාවයකින් බව එදා උන්වහන්සේ පැහැදිලිව දේශනා කළා."

ශ්‍රද්ධාවන්ත පින්වත්නි අප දන්නවා මනුස්ස ජීවිතය ගත කරන අයගේ බොහෝ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුවලට හේතු වූ කරුණු පිළිබඳ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. සංයුක්ත නිකායේ දෙවන කොටසේ නිධාන වර්ගයේ ධාතු සංයුක්තය මේකට හොඳම උදාහරණයයි. සමාජයේ ජීවත්වන පුද්ගලයන් විවිධ ධාතු ස්වභාවයෙන් යුක්ත බව එහිදී පැහැදිලිව විග්‍රහ කෙරෙනවා.

එකම ආකාරයේ ධාතු ස්වභාවයන් යුතු පුද්ගලයන් එකම විදිහට හැඩගැසී යන ආකාරය උන්වහන්සේ ඉතාම පෘථුල විදිහට මෙහිදී විස්තර කළා. සංයුක්ත නිකායේ නිධාන වර්ගයේ ධාතු සංයුක්තයේ දෙවන කොටස සප්තධාතු වර්ගයයි. එහි තුන්වන සූත්‍රය ගිජ්ජකාවසථ සූත්‍රයයි. ගඩොලින් කළ ප්‍රාසාදයේදී සිදුකළ දේශනාව. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම ධාතු ස්වභාවය නිසා සංඥාව උපදිනවා, දෘෂ්ඨිය උපදිනවා, විතර්කය උපදිනවා. එවිට කච්චාන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. “ස්වාමීනි සම්මා සම්බුද්ධත්වයට පත් නොවූ අයකු සම්මා සම්බුද්ධ යැයි යම් කිසි දෘෂ්ඨියක් ඇති කර ගන්නවා නම්, ඒ දෘෂ්ඨිය ඇතිකර ගන්නේ කුමක් හේතු කරගෙනද?” කියලා.

දැන් මේ සඳහා හොඳම පිළිතුර තිබෙන්නේ ගිජ්ජකාවසථ සූත්‍රයේ . කච්චාන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයට උන්වහන්සේ දේශනා කරන්නේ මේ තත්ත්වයට හේතුව “අවිද්‍යා ධාතුව“ බවයි. මේ ලාමක ධාතුව නිසා ලාමක සංඥා උපදිනවා. ලාමක දෘෂ්ඨිය උපදිනවා. ලාමක විතර්ක උපදිනවා. ලාමක චේතනා උපදිනවා. ලාමක පැතුම් උපදිනවා, ලාමක පුද්ගලයා උපදිනවා. ලාමක වචන උපදිනවා. ඊට පස්සේ එයා ලාමක දේ පවසනවා. දේශනා කරනවා.පනවනවා, පිහිටුවනවා. හෙළිකරනවා, බෙදනවා, මතුකොට දක්වනවා. ඒ පුද්ගලයාගේ ඉපදීම ලාමක දෙයක් ලෙසයි හැඳින්වෙන්නේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

මේ දේශනාව වර්තමානයේ ඇති වී තිබෙන බොහෝ අර්බුදවලට පිළිතුරු සපයනවා.

ඊළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මධ්‍යම ධාතුව නිසා මධ්‍යම සංඥාව උපදිනවා. මධ්‍යම දෘෂ්ඨිය මධ්‍යම විතර්ක උපදිනවා. මධ්‍යම චේතනා උපදිනවා. මධ්‍යම පැතුම උපදිනවා. මධ්‍යම පුද්ගලයා උපදිනවා. මධ්‍යම වචන උපදිනවා. ඉන්පසුව ඔහු මධ්‍යම දේ කියනවා. මධ්‍යම දේ දේශනා කරනවා. මධ්‍යම දේ පනවනවා. මධ්‍යම දේ පිහිටුවනවා. මධ්‍යම දේ හෙළි කරනවා. බෙදාදක්වනවා.මතුකොට දක්වනවා. ඔහුගේ ඉපදීම මධ්‍යම දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඊළඟට උන්වහන්සේ කච්චාන තෙරුන් වහන්සේට දේශනා කරනවා උසස් ධාතුව නිසා උසස් සංඥාව උපදිනවා. උසස් දෘෂ්ඨිය උපදිනවා. උසස් විතර්ක උපදිනවා. උසස් චේතනා උපදිනවා. උසස් පැතුම් උපදිනවා. උසස් පුද්ගලයා උපදිනවා. උසස් වචන උපදිනවා. ඉන් පසු ඔහු උසස් දේ කියනවා. දේශනා කරනවා පනවනවා.පිහිටුවනවා. හෙළිකරනවා. බෙදනවා.මතුකොට දක්වනවා. ඔහුගේ ඉපදීම උසස් දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් ලෝකයට පහළවෙන්නේ මේ උසස් ධාතුව නිසා යි.

දැන් අපට පැහැදිලිව පෙනෙනවා අර අවිද්‍යා ධාතුව නිසායි මේ ලෝකයේ බොහෝ භයානක පුද්ගලයන්ගේ ඉපදීමක් සිදුවෙලා තියෙන්නේ. ඇතැම්විට එවැනි පුද්ගලයන් අප්‍රමාදීවීම පිණිස කුසලයත් මැඩලනවා.

ඔවුන් කරන භයානකම දේ තමයි බුද්ධ වචනයට විවිධ අර්ථ කථන දීම , අප දන්නවා සියලු බුදුවරුන් දේශනා කළ මේ ගාථාව.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං

අද ඇතැම් පිරිස් මේ ගාථාවටත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පරිබාහිරව විිවිධ අර්ථ දක්වනවා.

ඊළඟට පින්වතුනි හීනාදිමුත්ථික කියල තව සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලාමක අදහස් මුල්කරගෙනයි මෙයත් වදාළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්ත්වයෝ සසැඳෙන්නේ එකතුවෙන්නේ ධාතු ස්වභාවයකින් බවයි. ලාමක අදහස් ඇති සත්ත්වයන් ලාමක අදහස් ඇති සත්ත්වයන් සමඟ අගේට ගැලපෙනවා. එකතුවෙනවා. යහපත් අදහස් ඇති සත්ත්වයන් යහපත් අදහස් ඇති සත්ත්වයන් සමඟ අගේට ගැලපෙනවා, එකතුවෙනවා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අතීතයේදී මේ සත්ත්වයෝ ගැලපිලා නැතිනම් එකතුවෙලා සිටියේ ධාතු ස්වභාවයකින්. අනාගතයේදීත් මේ සත්ත්වයෝ ගැලපිලා එකතුවෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ඒ වගේම වර්තමානයේදීත් මේ සත්ත්වයෝ ගැලපිලා එකතුවෙලා සිටින්නේ ධාතු ස්වභාවයකින් බව හීනාදි මුත්ථික සූත්‍රයේදී පැහැදිලිව විග්‍රහ කෙරෙනවා.

ඊළඟට උන්වහන්සේ අප හැමෝටම තේරුම් ගන්න පුළුවන් වටිනා සූත්‍රයක් දේශනා කළා. ඒ තමයි චංකම සූත්‍රය.සක්මන් කිරීම ගැන වදාළ දේශනාව. එදා උන්වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ කඳු මුදුනේ. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට නුදුරින් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරමින් සිටියා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරමින් සිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් ඊට නුදුරින් බොහෝ භික්ෂූන් සමගින් සක්මන් කරමින් සිටියා. උපාලි මහරහතන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරමින් සිටියා. ආනන්ද හාමුදුරුවෝත් බුදුන් වහන්සේට නුදුරින් බොහෝ භික්ෂූන් සමඟ නුදුරින් සක්මන් කරමින් සිටියා. දේවදත්තයෝත් බොහෝ භික්ෂූන් සමඟ නුදුරින් සක්මන් කරමින් සිටියා.

ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. “මහණෙනි ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් ප්‍රඥාවන්තයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් මහා ඍද්ධිබලයෙන් යුක්තයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් ධූතාංගයන්ගෙන් යුක්තයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් දිවැස් නුවණින් යුක්තයි. මන්තානිපුත්ත පුණ්ණ රහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් ධර්මකථිකයි. උපාලි මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් මහා විනයධරයි. ආනන්දයන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු දෙනා බහුශ්‍රැතයි. ඒ වගේම දේවදත්තයන් සමඟ සක්මන් කරන සියලු භික්ෂූන් පාපී ආසාවන්ගෙන් යුක්තයි කියලා දේශනා කළා. මේ අනුව සත්ත්වයෝ සසැෙඳන්නේ, එකතුවෙන්නේ ධාතු ස්වභාවයකින් බව එදා උන්වහන්සේ පැහැදිලිව දේශනා කළා.

ලාමක අදහස් ඇති සත්ත්වයන් ලාමක අදහස් ඇති සත්ත්වයන් සමඟ පෑහිලා යනවා. එක්වෙලා යනවා. අතීතයේදීත් මේ සත්ත්වයෝ ගැලපුනේ, එකතුවුනේ ධාතු ස්වභාවයකින්. අනාගතයේදීත් මේ සත්ත්වයෝ ගැලපෙන්නේ එකතුවෙන්නේ ධාතු ස්වභාවයකින්. වර්තමානයේදීත් මේ සත්ත්වයෝ ගැලපෙන්නේ, එකතු වෙන්නේ ඒ ආකාරයේ ධාතු ස්වභාවයකින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

විශේෂයෙන් සංයුක්ත නිකායේ නිධාන වර්ගයේ ධාතු සංයුක්තයේ මේ සම්බන්ධව තවත් දේශනාවන් ගණනාවක්ම තියෙනවා. අස්සද්ද සූත්‍රය, අස්සද්දමූලකතිකපංචක සූත්‍රය අහිරිකමූලකතික චතුක්ත සූත්‍රය, අනුත්තාපමුලකතිකත්තය සූත්‍රය, අප්පස්සුතමූලක තිකත්තය සූත්‍රය, කුසීත මූලක තිකේත සූත්‍රය, අසමාහිත සූත්‍රය, දුස්සීල සූත්‍රය, පංචසික්ඛාපද සූත්‍රය, සත්තකම්මපථ සූත්‍රය, දසකම්මපථ සූත්‍රය, අට්ඨංගික සූත්‍රය, දසංගික සූත්‍රය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සෑම සූත්‍රයක දී ම පෙන්වා දෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය සිදුවන්නේ ධාතු ස්වභාවයකින් බවයි.

අප මේ කරුණු අවබෝධ කරගෙන උසස් ගුණාංගයන්ගෙන් යුක්ත ධාතු ස්වභාවයෙන් යුතු අය ඇසුරු කරන්නට උත්සාහ කරන්නට ඕනේ. යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත, වීරියවන්ත ඒ වගේ කල්‍යාණ මිත්‍රයෙක් ඇසුර කළොත් ඔහුගේ මෙලොව පරලොව ජීවිතය දියුණුකරගන්නට පුළුවන් වෙනවා. අන්න එවැනි දෙයක් තමයි අප මේ බුද්ධ ශාසනයේ දී කරගත යුත්තේ. ඒ නිසා ඔබ සැමට එවැනි අවස්ථාවක් උදාකර ගැනීමේ මාවත හෙළි වේවා.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]