UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතිපට්ඨාන භාවනාව 17: චිත්තානුපස්සනාව - දැනෙන අරමුණු

චිත්තානුපස්සනාව:

දැනෙන අරමුණු

සිත ගැන බැලීමට, සිත ගැන අවබෝධයක් ඇති කර ගැනීමට මේ පාඩම ඉතාමත් ම වැදගත්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් සේ සිතාගෙන රැවටීමකින් යුතුව වාසය කළා. උන් වහන්සේට රහත් ගෝලයෝ තිස්දාහක් සිටිනවා. දිනපතා ම ඉගෙන ගන්නා අයත් අපමණ යි.

ගුරු ස්වාමීන් වහන්සේට ධ්‍යාන තිබුණා, අභිඥ්ඥා තිබුණා. ඕනෑම දෙයක් මවන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ සිත බලන්න පුළුවන්, ඒ නිසා සැකයක් සිතන්න දෙයක් නැහැ. රහත් බව ම සිතාගෙන ගුරු ස්වාමීන් වහන්සේ වාසය කළා. රහත් මඟ ඵල ලැබූ එක්තරා ගෝල ස්වාමීන් වහන්සේ නමක්, තම ගුරුවරයා කෙසේදැ’යි විමසා බැලුවා. තම ගුරුවරයා රැවටී ඇති බව දැනගත් ශිෂ්‍ය රහත් භික්ෂූන් වහන්සේ, ගුරු ස්වාමීන් වහන්සේට වන්දනා මාන කර, සුහද සාකච්ඡාවකින් පසුව මෙසේ පැවසුවා. ‘ස්වාමීනී, ඔබ වහන්සේ බොහොම දැන උගත් උත්තමයෙක්. ධ්‍යාන , අභිඥ්ඥා මාර්ග ඵල ලාභී උත්තමයෙක් නිසා ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක ගන්න මට අවශ්‍යය යි. ඔබ වහන්සේට සද්දන්ත කුලයට අයත් හස්ති රාජයෙක් මවා පාන්න පුළුවන්දැ’යි විමසුවා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ හස්ති රාජයා මවා දැක්වූවා. එවිට ගෝල ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීනි, ඒ හස්ති රාජයා හොඬවැල ඔසවා ගෙන, කෑගසාගෙන ඔබ වහන්සේ් ඉදිරියට එන බව මවා පාන්නැ’යි පැවසුවා. එයත් මවා පෙන්නුවා. දැන් ඒ හස්ති රාජයා කෑගසාගෙන , විලාප දී , හොඬවැල ඔසවා ඉදිරියට පැන එද්දී රහත් බව සිතා සිටි ගුරු ස්වාමීන් වහන්සේ ඉවතට පැන්නා. ඒ මොහොතේම ගෝල රහතන් වහන්සේ අහසට පැන නැඟී එලෙසම වැඩ සිටියා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ තමන් රහත් නොවන බව වටහා ගත්තා. තම සිතට යටවී රැවටීමෙන්, මුළාවෙන් වසර ගණනාවක් සිටි බව තේරුම් ගත්තා. තම සිතෙහි ලෝභ, ද්වේශ, මෝහ ඇති බව දැන එදාම භාවනාව ඇරැඹුවා. මේ නිසා සිත දියුණු තියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. ලෝභ, ද්වේශ, මෝහ යටපත්කරගෙන නීවරණයන් සංසිඳුවාගෙන දස සංයෝජනයන් ප්‍රහීණ කර ආශ්‍රව සියල්ලක්ම නැති කර රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

මෙවැනි චරිත කථා දෙස බැලීමේ දී කවුරුත් නොයෙක් අරමුණු වලට රැවටෙන්නට පුළුවන්. ඇතැම් අය තමන් රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන්, ධ්‍යාන අභිඥ්ඥා ආදිය ඇති බව සිතමින් රැවටීමෙන් කටයුතු කරනවා. එයින් මුළාවට පත් වෙන්නේ තමාම යි. මේ නිසා නිසි ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කළ යුතු යි. තෛ‍්‍රකාලික සිතිවිලි හොඳින් මෙනෙහි කර සිත අනුව බලමින් වාසය කිරීම චිත්තානුපස්සනාව යි. වර්තමාන අරමුණු මෙනෙහි කිරීම විශේෂයෙන් චිත්තානුපස්සනාවට ගැනෙනවා. එසේම සැප වේදනා සිත , දුක් වේදනා සිත, උපේක්ෂා වේදනා සිත ආදිය ද බලාගත හැකි යි. එසේම සියලුම අරමුණු තම සිතට දැක ගන්නට පුළුවන්නම්, චිත්තානුපස්සනා භාවනාව සාර්ථක වෙයි. වාඩි වෙලා පැමිණෙන අරමුණු දෙස හොඳින් බලන්න, එය ලෝභ සිතක් ද, අලෝභ සිතක් ද යනුවෙන් බලන්නත් පුළුවන්. මදුරුවෙක් තම සිරුරෙහි වැසුවොත් තරහ සිතක් ඇති වෙනවා. එවිට පටිඝ සිතක් බව මෙනෙහි කළ යුතු යි. එය නැති වූ විගස මගේ තරහ සිත නැති වූ බවත් දැනගත යුතු යි. එසේනම්, චිත්තානුපස්සනා භාවනාවට අනුව කවුරුත් කටයුතු කළ යුතු යි.

චිත්තානුපස්සනා සතිපට්ඨානයේ ක්‍රම දාසයක් අතුරෙන් කිහිපයක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨානයේ අවසාන කොටස යි. සමාහිත චිත්තය, අසමාහිත චිත්තය, විමුක්ත චිත්තය, අවිමුක්ත චිත්තය යනුවෙන් තවත් සතරක් තිබෙනවා. සමාහිත චිත්තය කොයි කාටත් පැහැදිලි යි. යම්කිසි භාවනාවක් මෙනෙහි කරගෙන යාමේ දී සිතට ලැබෙන සමාධි සිත් වශයෙන් උපචාර සමාධි, අර්පනා සමාධි තිබෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය, දුතීය ධ්‍යාන සමාධිය , තෘතීය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය වශයෙන් ධ්‍යාන සතරකින් සමාධිය පරිපූර්ණ වෙයි.

අරමුණක් මෙනෙහි කිරීමේ දී සාමාන්‍යයෙන් හෝ යම් සමාධියක් ලැබෙනවා නම්, එය උපචාර සමාධිය යි. එය ඉක්මවා යාමෙන් සිත අර්පනා තත්ත්වයට , ධ්‍යාන තත්ත්වයට පත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය මේ අවස්ථාවේ දී යටපත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව පංචකාම වස්තූන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව සිතෙන් ඉවත්ව නොගියොත් චිත්ත සමාධියක් ලබන්නට බැහැ. එම නිසා මේ අවස්ථාවේ දී චිත්ත සමාධිය තමන්ගේ සිතට ඇතිකරවන බැවින්, තමන්ට අර්පනා උපචාර සමාධි උපදවා ගන්නට භාවනා අරමුණ කෙරෙහි බලවත් උද්‍යෝගයකින් කටයුතු කරන්නට වෙනවා.

ව්‍යාපාද නීවරණය යනු තරහව යි. දෝමනස්සය, පටිඝ චේතනාව ආදිය තරහව නොහොත් ද්වේශය මුලිකවී හට ගන්නවා. ඒ තිබුණත් චිත්ත සමාධියට දිගට ගෙනයන්නට පුළුවන් කමක් නැහැ. සිත බිඳ වැටෙනවා. ඒ නිසා තරහව අයින් කළ යුතු යි. ථීනමිද්ධය කම්මැළිකම යි. උද්දච්ඡය සිතේ විසිරුණු බව යි. විචිකිච්ඡාව සැක සාංකාව යන කරුණු පහ සිතෙන් බැහැරවූ විට අපේ චිත්ත සමාධිය උපදවා ගන්නට පුළුවනි. හොඳින් වාඩි වී කය ඍජුව තබාගෙන , ආනාපාන සති භාවනාව හෝ කුමන හෝ භාවනාවකට සිත යොමුකර දිගටම අරමුණු කෙරෙහි බලා සිටීමෙන්, මෙනෙහි කිරීමෙන් සමාධි අවස්ථාව තහවුරු කරගන්න පුළුවන්.

අසමාහිත යනු චිත්ත සමාධියක් නොමැති බව යි. උපචාර, අර්පනා සමාධි, ධ්‍යාන සමාධි ආදිය සමාපත්ති මුකුත්ම නැහැ. එය උද්දච්ඡ සිතට සමීපව යයි. ඒ නිසා චිත්ත සමාධියෙන් තොරනම්, එය අසමාහිත යි. අසමාහිත නම් සිතේ තැන්පත් කමක් නැහැ. එය දැනගත යුතු යි. ‘මගේ සිත දැන් සමාධියි, මගේ සිතේ සමාධියක් නැහැ’ යනුවෙන් දැනගත යුතු යි.

විමුක්ති චිත්තය යනු කෙලෙසුන්ගෙන් සිත මිදීිම යි. තමන්ගේ චිත්ත සන්ථානය කෙලෙසුන්ගෙන් සිත මිදීමේ අවස්ථාව යි. තදංග , විශ්කම්භන ආදී වශයෙන් කෙලෙස් යටවන ක්‍රම තිබෙනවා. ලෝභ , ද්වේශ, මෝහ, මද, මාන්න, ඊර්ෂ්‍යා ආදී පව් ක්‍රමයෙන් නැතිකර ගත යුතු යි. මෙසේ තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කරගන්න නීවරණයන්ගෙන් තොර විය යුතු යි. නීවරණයන් තිබෙන සිත පැහැදිලි නැහැ. අසමාහිත වශයෙන් තැන්පත්කමක් ගන්නම බැහැ. එසේනම්, කෙලෙසුන් නැති කර ගැනීමේ අවස්ථාව විමුක්ති චිත්තය යි.

සම්පූර්ණයෙන් කෙලෙස් නිදහස් කර ගැනීම , සංයෝජනයන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ සිත අර්හත් සිත නම් වෙයි. ඒ මහා රහතන් වහන්සේට ලැබෙන සිත බොහොම වටිනවා. සමහර රහතන් වහන්සේලා සෑම විටම අනේ! සැපයි, යනුවෙන් මෙනෙහි කරයි. ඒ තරම් වාසනාවන්ත සිතක්. ගසක් මුල වාඩි වුණත් අනේ! සැපයි යනුවෙන් මෙනෙහි කරනවා. මෙලෙස ‘සැප’ යනුවෙන් මෙනෙහි කරන්නේ නිවන යි. නිර්වාණය ගැන සිතා තමන් පුළුවන් තරම් සිත දැඩිකර ගෙන අවබෝධ කරගත් නිර්වාණය කෙරෙහි සිත පිහිටුවා ගෙන වාසය කිරීම යි. තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණා නම්, ඒ අවස්ථාවට මගේ සිතෙහි කෙලෙස් නැහැ යනුවෙන් මෙනෙහි කරන්න දැනගත යුතු යි. අවිමුක්ත යනු කෙලෙසුන්ගෙන් මිදී නැති බව යි. ලෝභ , දෝස, මෝහ ආදීන්ගෙන් සමන්වාගත යි. තදංග විශ්කම්භන ආදී විමුක්ත වලින් තොර බව යි. එසේනම්, සිත අපිරිසුදු භාවය මෙතනින් ප්‍රකාශ කරනවා.

මේ අවස්ථා දාසයදී ම සෝළස ආකාර චිත්තානුපස්සනාව ලෙස මේ තථාගත ධර්මය පෙන්නුම් කරනවා. සිතට පහළවන ඕනෑම අරමුණක් දැන ගැනීම චිත්තානුපස්සනාව යි. තණ්හාව, තරහව වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, මාන්නය , මිසදිටුකම, දරදඬු ගතිය, නිදිමත ගතිය ආදී කුමන අරමුණක් සිතට දැනුණත් ඒ ටික මෙනෙහි කළ යුතු යි. ද ැනගත යුතුයි. චිත්තානුපස්සනාව යනු එය යි. එය තවත් ටිකක් ඉදිරියට ගෙන යද්දී මාගේ සිත තණ්හාවෙන් පිරිලා, එය අනිත්‍යය යි, දුක්ඛ යි,අනාත්ම යි යනුවෙන් ඉදිරියට මෙනෙහි කරන්න පුළුවන් නම්, එය චිත්තානුපස්සනා විපස්සනාව යි. ඕනෑම අරමුණක් සිතට දැනුණොත් එය මෙනෙහි කර , විදර්ශනාවට ත්‍රිලක්ෂණයට නැංවිය යුතු යි. එය චිත්තානුපස්සනා විපස්සනාව යි.

ලෝභ , ද්වේශ පමණක් නොවෙයි, අලෝභ, අදෝශ, අමෝහ, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ආදිය දැනුණත් මේ මොහොතේ මගේ සිත ශ්‍රද්ධාවෙන් සමන්විත යි. වීර්යයෙන් සමන්විත යි. මෙලෙස සිතන්න පුරුදු වෙන්න. එයත් චිත්තානුපස්සනාව යි. ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් සමන්විත ද, අලෝභ, අදෝශ, අමෝහයන්ගෙන් සමන්විත ද අරමුණු සියල්ල මේ ක්‍රම දාසයට ඇතුළත් ව තිබෙනවා. මේ පිළිබඳව පින්වතුන්, හොඳ දැනීමක් ඇතිකරගෙන චිත්තානුපස්සනාව හොඳින් ඉදිරියට මෙනෙහි කර ලෝකෝත්තර සැනසුම ලබන්න හේතු වාසනා වේවා!

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]