Print this Article


කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරය

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරය

"බෝම්බුවල ගම්වාසීන්ගේ පූජනීය ස්ථානය බවට පත්ව ඇති ශ්‍රී සුබෝධිරාජාරාම විහාරස්ථානයට සුබෝධි යනුවෙන් නම තබා ඇත්තේ අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙම විහාර පරිශ්‍රයේ රෝපණය කර ඇති බැවිනි."

කළුතර දොඩන්ගොඩ බෝම්බුවල ග්‍රාමය සියවස් ගණනක සිටම ඉතිහාසය හා බැඳුනු පෞරාණික ග්‍රාමයකි. කෝට්ටේ යුගය තෙක් දිවෙන ලිඛිත ඉතිහාසයක් ඇති මේ ගම එවකට ප්‍රකට විද්‍යස්ථානයක් වූ පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනට බඳුන් වූ නින්දගමක් වශයෙන් පැවති බවට සන්නසේ සඳහන් වේ.

බෝම්බුවල ගම්වාසීන්ගේ පූජනීය ස්ථානය බවට පත්ව ඇති ශ්‍රී සුබෝධිරාජාරාම විහාරස්ථානයට සුබෝධි යනුවෙන් නම තබා ඇත්තේ අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙම විහාර පරිශ්‍රයේ රෝපණය කර ඇති බැවිනි.

විහාරස්ථානයේ ආරම්භය වසර 160 කට පමණ පෙර සිදුව ඇති අතර බුරුම රටින් උපසම්පදාව ලැබු වලේබොඩ පියරතන ස්වාමින් වහන්සේ කුල දරුවන් පැවිදි කරමින් මහා ශාසනික මෙහෙවරක් ඉටුකරන ලදී. උන්වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් පොල්දූවේ ධම්මසාර හිමියන් මෙම ස්ථානයේ වැඩ වසමින් විහාරාංග තැනීම ආරම්භ කර ඇත්තේ 1870 න් පසුවය.

කළුතර රත්නපුර දෙපළාතේ
ප්‍රධාන සංඝ නායක , විහාරාධිපති ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි නා හිමි
 
විහාරාධිකාරි ගවරගිරියේ
ඉන්දසුමන හිමි

වර්තමානයේ සඟ පරපුරේ ආදි කර්තෘන් වහන්සේ වනුයේ බෝම්බුවල දස්සනසාර මහා ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් කීප නමක්ම පැවිදි දිවියට පත් කළහ. ඒ අතර බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක සහ බෝම්බුවල ශ්‍රී නන්දාරාම යන ස්වාමීන් වහන්සේලා වූහ.

ගමේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ මේ විහාරස්ථානයයි. එහි ධර්මශාලාව ගමේ පාසල බවට පත්විය.

විහාරස්ථානය කේන්ද්‍රකරගෙන සිදුවු වැදගත්ම ශාසනික කාර්යවූයේ අභිනව නිකායක් ස්ථාපිත කිරීමයි. අමරපුර නිකායේ සද්ධම්ම යුක්තික මාතර නිකායට සම්බන්ධව සිටි ස්වාමින් වහන්සේලා 38 නමක් මේ විහාරස්ථානයට රැස්ව 1900 දී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය නමින් අභිනව නිකායක් ආරම්භ කළහ. කළුතර, කොළඹ, ගාල්ල හා මීගමුව පළාත් හතරින් භික්ෂූන් වහන්සේලා වැඩම කරන්නට යෙදුන අතර එහිදී නිකායේ මහෝපාධ්‍ය පදවිය සඳහා බෝම්බුවල දස්සනසාර මා හිමියන් ද මහානායක පදවියට දංගෙදර සුමනජෝති නාහිමියන් ද පත්කර ගන්නා ලදී.

බෝම්බුවල දස්සනසාර නාහිමියන්ගෙන් අනතුරුව විහාරස්ථානයේ භාරකාරත්වයට පත් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක නා හිමියෝ බෝම්බුවල ගම පමණක් නොව රත්නපුර හා අවට ගම්වල බෞද්ධ පාසල් ආරම්භ කරමින් සුවිශාල සේවාවක් ඉටු කළහ.

අනතුරුව විහාරස්ථානයේ භාරකාරත්වයට පත් ගිරිකොළ ධම්මාලංකාර නාහිමියන්ගෙන් පසුව එහි විහාරාධිපති ධුරයට පත් බෝම්බුවල විමලවංශ හිමියෝ කෙටි කලකින් අපවත්වී වදාළහ.

1981 දී විහාරාධිපති ධුරයට පත් හල්වතුරේ අස්සජි හිමියෝ තරුණ භික්ෂුවක් ලෙස විහාරස්ථානයේ දියුණුවට අවශ්‍ය අඩිතාලම දමන ලදී. අබලන්ව පැවති විහාර මන්දිරය ධර්ම ශාලාව හා සීමාමාලකය ප්‍රතිසංස්කරණය කරන ලදී. දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කෙරිණි. අකර්මන්‍යව තිබු පිරිවෙන ශ්‍රී දස්සනසාර ධර්මායතන පිරිවෙන නමින් නැවත ආරම්භ කෙරිණ. ශ්‍රී නන්දාරාම දහම් පාසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 ක ට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර ඔවුන් වෙනුවෙන් නව දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක්ද ඉදිකර ඇත. පැරැණි බෝධින් වහන්සේ අපවත්වීමෙන් පසු දර්ශනීය බෝධි ප්‍රාකාරයක් ඉදිකොට එහි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් යළි රෝපණය කර වන්දනා මානයට අවස්ථාව උදාකර දී ඇත. ඒ සඳහා දෙහිගහවල පදිංචි චන්ද්‍රතිලක හඳුවල මහතා විසින් දායකත්වය ලබාදෙන ලදී.


විහාරස්ථ කාර්ය සාධක සමිතියේ ලේකම් නීතිඥ උදය කුමාර වේවැල්වල

අස්සජි නාහිමියන්ගේ දැඩි ඇපකැප වීම මත භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා නව තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ද ඉදිකරන ලදී. විහාරස්ථ කාර්යය සාධක සමිතිය හා රාහුල මාතා කුළඟන සමිතියේ සංවිධානයෙන් හා ගම්වාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් එය ගොඩනගන ලදී. තම ශිෂ්‍ය කළුතර නාගොඩ ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය ගවරගිරියේ ඉන්ද්‍රසුමන හිමියන්ගේ නිර්මාණයෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පිළිබිඹු කරන අනුරුවක්ද විහාර පරිශ්‍රයේ ඉදිකර ඇත. විහාරස්ථානය සතු භූමි භාගයක් ලබාදී රජයේ සහාය ඇතිව බෝම්බුවල නගරයේ තදබදය මගහැරීම සඳහා අතුරු මාර්ගයක් ඉදිකිරීමට පුරෝගාමී වූයේ ද අස්සජි නාහිමියන් ය.

නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කර පූජා කිරීම මේ මස 19 වන දින සුබ මොහොතින් උත්සවාකාරයෙන් සිදු කෙරේ. අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා ඇතුලු මැති ඇමතිවරුන් ද සම්භාවනීය අමුත්තන්ද එම අවස්ථාවට එක්වනු ඇත.

ඒ නිමිත්තෙන් 19 වෙනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර පසු දින අර්ධ ශතාධික සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.