Print this Article


පිරිත් දේශනාව 20: ගිරිමානන්ද සූත්‍රය

ගිරිමානන්ද සූත්‍රය

ආදීනව සංඥා

බුදුරදුන් දේශනා කරන්නේ කයෙහි යතාර්ථය පිළිබඳව විමසා බලන විට එහි ඇති ආදීනව ස්වභාවය ඉතා බැරෑරුම් බවයි. ආදීනව යන්නෙන් අදහස් කරන්නේ කයට වන පීඩා හා දුක් කම්කටොලුය. කය, නිරතුරුව විවිධ පීඩාවන්වලට පත් වේ. ජරාවට පත්වීම, ව්‍යාධීන්ට පත්වීම යනාදිය එහි සිදු වේ. කයෙහි එක් ඉන්ද්‍රියකට පමණක් නොව සමස්ත ඉන්ද්‍රිය පද්ධතියට මෙන්ම සමස්ත ශරීරයටම පොදු වූ ධර්මතාවයකි. ඇස් නොපෙනී යාම, කන් නොඇසී යාම, යාම් ඊම් කටයුතු සිදුකිරීමට අපහසු වීම යනාදී නොයෙක් දේ කයේ සිදුවේ. කාලයක් ඉතාම ප්‍රබල ලෙස පවතින මේ කය කාලයාගේ ඇවෑමෙන් අතිශය දුර්වල , දුබල එකක් බවට පත් වේ. තරුණ කාලයේ දී පවා විවිධ රෝග පීඩාවන්ට මෙන් ම අපහසුතාවයන්ට ගොදුරු වී නිරතුරුව වේදනාවන් විඳින ස්වභාවයකට පත් වේ.

බුදුරදුන් කය රෝගයන්ට ගොදුරු විය හැකි හේතු අටක් පැහැදිලි කරයි.

පිත්ත සමුට්ඨානා ආබාධා – ශරීරයේ ඇති පිත් ධාතුව නිසා වැළඳෙන රෝග

සෙම්ම සමුට්ඨානා ආබාධා – ශරීරයේ ඇති සෙම ධාතුව නිසා වැළඳෙන රෝග

වාත සමුට්ඨානා ආබාධා – ශරීරයේ ඇති වායෝ ධාතුව නිසා වැළඳෙන රෝග

සන්නිපාතිකා ආබාධා – පිත්ත, සෙම, වාත තුනෙහි එකතු වීමෙන් ඇතිවන රෝග

උතු පරිනාමජා ආබාධා – කාලගුණික,දේශගුණික ඍතු විපර්යාස නිසා ඇතිවන රෝග

විසම පරිහාරජා ආබාධා – විෂ දේ ශරීර ගතවීම නිසා ඇතිවන ආබාධ

ඕපක්කමිකා ආබාධා – විවිධ පුද්ගලයින් යොදන උපද්‍රවයන් නිසා ඇතිවන ආබාධ

කම්මවිපාකජා ආබාධා – කර්ම විපාක හේතුවෙන් හටගන්නා ආබාධ

මේ අයුරින් කයෙහි ස්වරූපයන් නවයක් පිළිබඳව ආදීනව දැකීම ආදීනවානු සංඥාවයි.

පහාණ සංඥා

බුදුරදුන් දේශනා කරන්නේ පුද්ගලයෙක් තමන් තුළ හටගන්නා කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක ඉවසන්නේ නැතුව බැහැර කළ යුතු බවයි. අකුසල ධර්ම ඇතිවන ක්ෂණයෙන් මෙනෙහි කරමින් බැහැර කිරීම පහාණ සංඥා වේ.

විරාග සංඥා

කිසියම් ශ්‍රාවකයෙක් ශූන්‍යාගාරයක දී , රුක් මුලක දී හෝ මොනයම් ස්ථානයක දී හෝ වේවා සියලු සංස්කාර ධර්මවල සංසිඳීමක් , සියලු උපාදානයන්ගේ දුරු කිරීමක් තෘෂ්ණාවන්ගේ මිදීමක් මෙනෙහි කරන්නේ නම් එය සැපදායකය,සුවදායකය යනුවෙන් මෙනෙහි කිරීම විරාග සංඥාවයි.

නිරෝධ සංඥා

නිරෝධ යන්නෙන් අදහස් කරන්නේ නිවීමයි. එනම් මානසිකව උපදනා පීඩාවන් දුරු කිරීමයි. බුදු දහමට අනුව නිරෝධ යන්නෙන් අදහස් කරන්නේ විමුක්තියයි. එනම් සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම බැහැර කළ මානසික ස්වභාවයයි. නැවත කිසිදු අවස්ථාවක දී කිසිම හේතුවක් නිසා කෙලෙස් මනසෙහි හට ගැනීමට අවකාශයක් නොලැබෙන ලෙසින් මනස නිකෙලෙස් එකක් බවට පත් කර ගැනීම නිවනයි.

අනභිරත සංඥා

පංචස්කන්ධය පිළිබඳ මෙන් ම ඇතිවන අරමුණු පිළිබඳව ද ඇලීමක් ගැටීමක් ඇති නොවන ලෙස සිත පුරුදු කිරීම මෙනමින් අදහස් කරයි. කෙලෙස් දුරු කිරීම නිසා පුද්ගල වස්තු සිද්ධි යන කිසිවක් දැඩිව (උපාදානග්‍රාහීව) නොගන්නා තත්ත්වයට පුද්ගලයා පත්වේ. මෙය ලෝකයේ කළකිරීම් සහගත ස්වභාවයයි කියනු ලැබේ.

අනිච්ච සංඥා

සංස්කාර යන්නෙන් අදහස් කරන්නේ හේතුන්ගෙන් හා ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ලයි. බුදු දහමට අනුව හේතූන්ගෙන් හටගත් සියල්ල ම හේතුන් නිරුද්ධ වීම තුළින් නිරුද්ධ තත්ත්වයට පත් වේ. කිසියම් ශ්‍රාවකයෙක් සබ්බේ සංඛාරා අනිච්චා යනුවෙන් සියලු හේතූන්ගෙන් හා ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මතා විනාස ස්වභාවයට යන්නේ යැයි මෙනෙහි කරන්නේ නම් එය අනිත්‍ය සංඥාවයි.