Print this Article


අටුවා රසකතා- 10: අතුරුදන් වූ පැන් කළ දහස

අතුරුදන් වූ පැන් කළ දහස

අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපූරණියෙහි සඳහන් ලක්දිව කතා ප්‍රවෘත්තියකි. මනෝරථපූරණීය ද බුද්ධඝෝස හිමියන් ගේ ම තවත් කෘතියකි. මෙහි ලක්දිව එකල ප්‍රචලිතව තිබූ කතා ප්‍රවෘත්ති රැසක් ඇතුළත්ව ඇත.

රුහුණු දනව්වෙහි ගාමෙණ්ඩවාල නම් මහා විහාරයට අයත් ගොදුරු ගමක වැදි කුලයක මීලක්ඛ නමින් උපන් ඔහු වැඩිවියට පැමිණ විවාහපත් වූයේ රකින ලද අඹුදරුවන් ඇත්තේ සතුන් මරමින් ජීවිකාව ගෙන යයි. ඔහු විසින් සතුන් ඇල්ලීම සඳහා සියයක් පමණ වූ හබක් ද, සියයක් පමණ වූ උගුල් ද. සියයක් පමණ වූ උල් ද අටවන ලද්දේ වෙයි. මෙසේ දෛනිකව සතුන් මරමින් පව් රැස් කරගන්නා ඔහු දිනක් ගින්දර හා ලුණු රැගෙන වනයට පිවිසියේ ය.

එහි දී උගුලෙහි අසුවී සිටි එක් සතෙක් පුළුස්සා කා පිපාසිත වූයේ වතුර සොයමින් ඇවිදින්නේ ගාමේණ්ඩවාල විහාරයේ පැන් දැක එහි පිවිසියේ ය. එහි පුරවන ලද පැන් කළ දහසක් විය. ඔහු ඉන් කළයක් ගෙන පැන් බීමට පටන් ගත්තේ ය. ඔහුගේ උගුරට පැන් වැටෙත් ම අතුරුදන් විය. ඔහුගේ කුසට නො වැටුණේ ය. මෙසේ පැන් භාජන කිහිපයක් ම බීමට උත්සහ කළ ද ඒ සියල්ලෙහි ම පැන් අතුරුදන් විය.

එවිට ඔහු “මෙතරම් භික්ෂුන් වසන තැනක කෙසේනම් පැන් නැති වන්නේදැයි” භික්ෂූන්ට දොස් කියන්නට විය. මෙය දුටු චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඔහුගේ සමීපයට පැමිණ මළුවෙහි වූ දහසක් පැන් භාජන දැක මොහු නම් ජීවමාන පේ‍්‍රත අත්බවක් ලත් අයෙක්නේදෝයි දැන “ඉදින් උවසුව, පිපාසිත නම් පැන් බොවයි” කියා පැන් කළයක් ගෙන පියන ඇර ඔහුගේ අතෙහි පැන් වත් කළේ ය. එකෙනෙහි ම එම පැන් සියල්ල රත් වූ තලියක ලත් දියක් මෙන් නැසුණේ ය.

ඉන් පසු තෙරුන් වහන්සේ ඔහුට “ඔබ විසින් කෙතෙක් නම් දරුණු වූ පාප කර්ම කරන ලද්දේ ද දැන්ම පේ‍්‍රතයෙක් වූයේ නම් කරන ලද කර්මයන්ගේ විපාකය කෙබඳු වන්නේ දැයි” ඔහුට ඇසෙන සේ පැවසූහ. තෙරුන් වහන්සේගේ මේ කතාව අසා බලවත් සංවේගයට පත් ඔහු ගෙදර ගොස් හබක ආදි සතුන් මැරීමට යොදාගත් සියල්ල විනාශ කොට කූඩුවල දමා සිටි සතුන් ද මුදා හැර අඹුදරුවන්ට ද දන්වා ගෙදරින් පිටත්ව තෙරුන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය.

ඊට පසු තෙරුන් වහන්සේ පැවිදි බවෙහි ඇති දුෂ්කර බව ඔහුට පෙන්වා දුන්හ. එවිට ඔහු පවසන්නේ “ස්වාමීනි මෙබඳු ප්‍රත්‍යක්ෂ කාරණයක් දැන කෙසේ නම් පැවිදි නො වන්නේදැයි” පැවසී ය. තෙරුන් වහන්සේ ඔහුට තචපංචක කමටහන දී පැවිදි කළහ. එතැන් පටන් උන්වහන්සේ වත් කිරීමෙහි ඇලුනේ ය. ධර්මය හදාරන්නට විය. දිනක් දේව දූත සූත්‍රයෙහි සඳහන් නිරය පිළිබඳ විස්තර අසා අතිශය සංවේගයට පැමිණියේ ඒ පිළිබඳ තිස්ස තෙරුන්ගෙන් විමසී ය. එහි දුක් ස්වභාවය දැකීමට සලස්වන ලෙස ඉල්ලී ය. තෙරුන් වහන්සේ පවසනුයේ එහි දුක් ස්වභාවය නම් කීමට උපමා නැත්තේය. එහෙත් එහි ස්වභාවය පෙන්වීමට උපමාවක් කරන්නෙමියි හෙරණ නමක් ගෙන්වා තෙත දර ගොඩක් ගැස්වී ය. ඊට පසු උන්වහන්සේ ඍද්ධියෙන් කණමැදිරියෙකු හා සමාන ගිනි පුපුරක් ගෙන එහි හෙළීය. ඒ ඇසිල්ලෙහි ම ඒ තෙත දර ගොඩ දැවී අළු වී ගියේ ය.

ඒ දැක මීලක්ඛ තිස්ස භික්ෂූන් වහන්සේ “ස්වාමීනි මේ සසුනෙහි කෙතෙක් ධූර වන්නේ දැයි’ විමසී ය. එවිට තෙරුන් වහන්සේ විදර්ශනා ධූරය හා ග්‍රන්ථ ධූරය යනුවෙන් ධූර දෙකක් ඇති බව පැවසූහ. එවිට එම භික්ෂූන් වහන්සේ “ස්වාමීනි ග්‍රන්ථ ධූරය වනාහි ප්‍රබලයන්ට භාරය. මාගේ ශ්‍රද්ධාව දුක නිසා ඇති වූවකි. එබැවින් මා විදර්ශනා ධූරය පුරන්නෙමියි” තිස්ස තෙරුන් වහන්සේගෙන් කමටහන් ගෙන වත් ද සපුරමින් දිනක් සිතුල්පව්ව විහාරයෙහි ද, දිනක් ගාමෙණ්ඩාවෙල වෙහෙරෙහිද තවත් දිනක් කතරගම මහ වෙහෙරෙහිද, වශයෙන් වැඩ වාසය කරන්නට වූහ.

දිනක් භාවනා කරමින් කටයුතු කරන අතරතුර ථීනමිද්ධය ඇතිවේ යන බියෙන් පිදුරු දරණුවක් තෙමා හිසේ තබා දෙපා දියෙහි ඔබා සිටින කල්හි ප්‍රාචීන පර්වත ප්‍රදේශයෙන් ඇසුණු අරුණවතී සූත්‍රයෙහි සඳහන් ගාථාවක් අසා

“මෙය මා වැනි වීර්යවත් භික්ෂූන් උදෙසා ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ” යැයි සිතා පී‍්‍රතිය හා ධ්‍යාන උපදවා අනාගාමී ඵලයෙහි පිහිටියේ තවත් වෑයම් කොට පටිසම්භිදාවන් සහිත උතුම් අරහත් ඵලයට පත්වූ සේක. පසුව උන්වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කළ සේක.

“මම තෙත පිදුරු පිඩක් හිසෙන් ගෙන සක්මන් කළෙමි. තෙවැනි තැනට ( ත්‍රිවිධ්‍යාවන්ගේ පරතෙරට) පැමිණියෙමි. මෙහිලා මට සැකයක් නැත.”

භාවිතය

පව්කමින් බාලයා අතිශය සතුටට පත්වෙයි. එහෙත් එහි විපාක විඳින කළ දැඩි සේ දුකට පත් වේ. ඔහු කළ පව්කමේ දරුණු බව ඔහුට වැටහෙන්නේ එවිට ය. එවිට කර කියාගත දෙයක් නො මැතිව අතිශය අසරණ තත්ත්වයට පත් වේ. යමෙක් නිවැරැදි මග පෙන්වීම ලැබෙන තෙක් වැරැදි මාර්ගයේ ගමන් කරයි. සත්පුරුෂයන්ගේ ඇසුරෙන් යහමගට පැමිණෙන ඒ අය නිර්වාණ ප්‍රතිලාභ කරගත් අයුරු අප ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වී ඇත. එමෙන් ම බුදුදහම යමෙක් සදාකාලික වැරැදිකරුවෙකු ලෙස නො පිළිගනියි.

යමෙක් තමා විසින් තම වරද දැක හෝ සත්පුරුෂයෙක් විසින් එය පෙන්වා දුන් පසුව හෝ එම වරදින් මිදී යහ මාර්ගයේ ගමන් කරන්නේ නම්, ඔහු එතැන් පටන් නිවැරැදිකරුවෙකු බවට පත්විය හැකි බව මෙම කතාවෙන් අපට පෙන්වා දෙයි.