Print this Article


සුගති ගමන -27: අඳුරෙන් ආලෝකයට ...

සුගති ගමන -27:

අඳුරෙන් ආලෝකයට ...

මුටසීව රජතුමාගෙන් පසුව දේවානම් පියතිස්ස රජතුමාට රජකම ලැබෙන තෙක් ගමන ප්‍රමාද කළා. අන්න ඒ ප්‍රමාද වූ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේ සාංචියෙහි වැඩ සිටියා. උන්වහන්සේ එහිදී භාෂාව ගැන අධ්‍යයනය කරලා, ත්‍රිපිටකය ආදී සියල්ල ගැන අධ්‍යයනය කරමින් කටයුතු කරද්දී ත්‍රිපිටකය කටපාඩමෙන් දරාගෙන සිටිය මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාගේ රජවීමත් සමඟ ලංකාවට වැඩම කරන්නේ පොසොන් පුන් පොහෝ දවසක.

දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ට ධර්මය ප්‍රචාරය කරන්න පෙර දඹදිව ධර්මාශෝක රජතුමා බොහොම යාළු මිත්‍රකමක් ගොඩ නඟා ගත්තා. ඒ අතර පළවෙනියටම අභිෂේක ලබන්නේ මුටසීව රජතුම යි. රජ්ජුරුවන්ගේ මරණයෙන් පසුව දේවානම් පියතිස්ස රජ්ජුරුවෝ පළමුවෙනියට අභිෂේක ලබන්නේ තිස්ස නමින්. අවසානයේ දඹදිව ධර්මාශෝක රජතුමා දෙවන අභිෂේකය පිණිස රාජ ආභරණ, අනොතප්ත විලෙන් පැන්, රාජකීය සළුපිළි පිරිනමා දෙවන වතාවේ අභිෂේකයට ගෞරව නාමයක් පිදුවා. ඒ දෙවියන්ට, පි‍්‍රිය වූ ‘දේවානම්පිය’ නම් ගෞරව නාමය යි. එය ධර්මාශෝක රජතුමාගෙන් ලැබුණු ගෞරව නාමයක් ලෙස සඳහන් වෙනවා. ඒ අනුව ලැබූ අභිෂේකය ‘දේවානම්පියතිස්ස’ ලෙස සඳහන් වෙනවා. මෙලෙස බොහොම යාළු මිත්‍ර කමක් ගොඩ නඟාගෙන කලින්ම පණිවුඩයකින් දැනුම් දී තිබුණා. ප්‍රිය නිරිදුනි, මා බුදුන් සරණ ගියා. මා ධර්මය සරණ ගියා. මා සඟුන් සරණ ගියා. මා බුදුරජාණන් ව හන්සේගේ උපාසකයෙක් බවට පත්වුණා. ඒ උතුම් ධර්ම දානය මොහොතක් ලබා දෙන්නම්, මේ රටවාසීන්ටත් ලබා දෙන්නැ’යි පෙර දැනුම් දී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදා පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පවුවට මිහිඳු මහ රහතන් වහන්සේ ඉත්ථිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමණ සාමණේරයන් වහන්සේ , භණ්ඩුක උපාසක තුමාත් පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පව්වට වැඩම කළා. දැන්, අප දන්නවා පොසොන් පුන් පොහෝ දවසේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කර, ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කළ බව අප අසා තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් ධර්මය ව්‍යාප්ත කළ ක්‍රමවේදය බොහොම ඥානාන්විත ක්‍රමවේදයක් තමයි උන්වහන්සේ අනුගමනය කළේ.

ඒකට හේතු වුණේ ඒ වෙද්දී ලංකාව බුදුරජාණන් වහන්සේ බුදුවී වැඩ සිටිය කාලයේ තුන්වතාවක් වැඩම කරලා මේ ලංකා භූමියේ සමාපත්තියෙන් වැඩ ඉඳලා පූජනීයත්වයට පත් කරලා, අනාගතයේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා ධර්මය ව්‍යාප්ත කරන භූමිය බුද්ධ ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කරලා තිබුණේ. හැබැයි, බෞද්ධයෝ ලෙස ඒ වෙනවිට සිව්වණක් ශ්‍රාවකයන් ලංකාවේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, බුදුන් සරණ ගිය, ධර්මය හැසිරෙන පිරිස, ඉඳලා නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරන්න පෙර නොයෙක් ඇදහිලි තිබී තියෙනවා. ගස්, ගල් වලට මිනිස්සු අදහා තියෙනවා. යකුන්, යක්ෂණියන්ට ගිනි පූජා තබමින් , ඒ වගේම චිත්‍ර රාජ, කාල වේල ආදී යක්ෂයන් අදහපු බව සඳහන් වෙනවා. මෙවැනි රටකට තමයි, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය පිණිස මුලින්ම පොසොන් පුන් පොහෝ දවසේ වඩින්නේ. ඒ වැඩම කරලා පළමුවෙනියට ම ඉලක්ක කළේ රජතුමායි.

රටක ධර්මය ව්‍යාප්ත කරනවිට ඒ රටේ පළවෙනිම පුරවැසියා. රටේ රජතුමා පහදවන්නට ඕනෑ. රජතුමාගේ අනුග්‍රහය නැති වුණොත් ඒ රටේ ධර්මය ව්‍යාප්ත කරන්න අපහසු යි. ඒ නිසා පළවෙනියට ඉලක්ක කළේ රජ්ජුරුවන්. රජ්ජුරුවන්ට තමයි, එදා මිස්සක පව්වේ දී චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවේ. එදා රජතුමා විසිදහසක් අමාත්‍යවරු පිරිවාරාගෙන දඩයමේ ගිය දවසක්. එදා රජතුමා ඇතුළු සියලු දෙනා ආයුධ බිම තබා, තෙරුවන් සරණ ගියා මිස්සක පව්වේදී. තෙරුවන් සරණ පිහිටලා ඇතෙකුගේ පියවර සටහන් උපමා කරගෙන චුල්ල හත්ථි පදෝපම සූත්‍රය ඇසුරෙන් ශාස්තෘන්වහන්සේ නමක් හඳුනාගෙන තෙරුවන් සරණ පිහිටන ආකාරය ගැන මිහිඳු මහ රහතන් වහන්සේ දහම් දෙසා රජ්ජුරුවන්ව පැහැදුවේ. දැන් පළමු දේශනාවේ ම රජතුමා ඇතුළු පිරිස තිසරණයෙහි පිහිටියා. රජතුමා ධර්මය ගැන පැහැදුණා. රාජකීය අමාත්‍යවරු පිරිසක්. රජ්ජුරුවෝ කියනවා ‘ස්වාමීනි, ඔබ වහන්සේ මේ වැඩම කරලා ඉන්නේ මහා කැළයේ, මිහින්තලා කැළයේ. අපේ රාජ්‍ය මාලිගා ගොඩනැඟිලි තියෙන්නේ අනුරාධපුරයේ. ඔබ වහන්සේ අපිත් සමඟ අනුරාධපුරයට වඩිමු කිව්වා. ඒ මොහොතේ මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ, රජතුමා යන්න. අපි හෙට එන්නම්, එසේනම්, ස්වාමීනි, මා ඔබ වහන්සේට මාළිගාවේ දානයක් සූදානම් කරනවා. ඔබ වහන්සේ දානයටම වඩින්නැ’යි පසුදා දානයටත් ආරාධනා කරලා රජ්ජුරුවෝ ඇතුළු පිරිස අනුරාධපුරයට ගියා.

දැන් මිහින්තලේ උන්වහන්සේලා එදා රාත්‍රියේ කැළයේම වැඩ සිටියා. දෙවන ඉලක්කය වුණේ පළමුව රජතුමා ඉලක්ක කරගෙන රජතුමා ඇතුළු පිරිස පැහැදුවා. දෙවනියට ඒ රටේ ධර්මය ව්‍යාප්ත කරගන්න නම්, ඒ රටේ කාලයක් අදහපු යකුන් යක්ෂණියන් අදහපු , ඒ ලංකාභූමිය ඇසුරු කරගත් භූමාටු දෙවියන්, වෘක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවුන්, ඒ වගේම මේ පොළොව ආශ්‍රිත දේවතාවරු , යක්ෂයන් ,අමනුෂ්‍යයන්, මේ සියලු දෙනාම ධර්මය ගැන පහදවා ගන්නට ඕනේ. තුනුරුවන්ගේ ආඥාව තුළ පහදවන්නට ඕනේ. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ රාත්‍රියේ එතැන වැඩ සිටියා. ඍද්ධිමත්ම තැනැත්තා සුමණ සාමණේරයන් වහන්සේ යි. උන් වහන්සේ බොහොම ඍද්ධි සම්පන්න යි. උන්වහන්සේට ආරාධනා කළා ඔබ වහන්සේ මේ ගල මුදුනට නැඟලා අභිඥාපාදක ධ්‍යානයකට සම වැදිලා ඉක්මනින්ම අගනිටා බඹ ලොව දක්වා දෙවි බඹුන්ටත්, මුලු ලංකා භූමිය පුරා සිටින යක්ෂයන් අමනුෂ්‍යයන් ආදී අයටත් බණ අසන්න මිස්සක පව්වට වඩින්නැ’යි ආරාධනාවක් කරන්න කිව්වා.

උන්වහන්සේ ධ්‍යානයකට සම වැදිලා ඍර්දියෙන් ඝෝෂාවක් පතුරවනවා. බණ අසන්න මිස්සක පව්වට එන්නැ’යි ඍද්ධියෙන් ආරාධනාවක් කළා. මේ ආරාධනාව මත මුලු මිස්සක පව්වම දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, යක්ෂයන්, අමනුෂ්‍යයන්, මේ ලංකා භූමිය පුරාම සිටිය දෙවි දේවතාවුරු වෘක්ෂ පර්වත විමාන කරගත් මේ පිරිසගෙන් මිස්සක පව්ව පිරී ගියා. ඒ නිසා අප ආරාධනා ගල කියන්නේ, උන්වහන්සේ ඒ මතට නැඟ ඍද්ධියෙන් ආරාධනා කළා. එදා රාත්‍රියේ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවියන්, අමනුෂ්‍යයන් පිරිසට සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවා. ලංකාවට වැඩම කරලා දෙවනියට දේශනා කළ සූත්‍රය වන්නේ සමචිත්ත පරියාය සූත්‍රය යි. ඒ දේශනාව අසා බොහෝ දෙවි දේවතාවරු ධර්මාවබෝධය ලබනවා. බොහෝ අය තුනුරුවන් ගැන සිත පහදවා ගත්තා.

පොසොන් පොහොයට පසුවදා මිහිඳු මහ රහතන් වහන්සේ මහ රහත් පිරිසක් සමඟ අහසින්ම අනුරාධපුර නගරයට වැඩම කළා. ඒ වෙද්දී රජතුමා කරත්ත පෙළක් මිහින්තලයට එවා තිබුණා. එහිදී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ, මේ භික්ෂූන් වහන්සේලා සතුන් බැඳි කරත්තවල වඩින්නේ නැහැ. ඒ නිසා නුඹලා යන්න. අප එන්නම් කියලා කරත්තවලටත් කලින් උන්වහන්සේ අහසින්ම මාලිගාවට වැඩම කළා.