Print this Article


බෝසත් දරුවන්ට: සසර තරණයට ශක්තිමත් යාත්‍රාවක්

සසර තරණයට ශක්තිමත් යාත්‍රාවක්

පින්වත් දුවේ පුතේ, අද අපි කතා කරන්නේ අප විනාශයට ගෙනයන, ඒ කියන්නේ සංසාරයට ඇදගෙන යන දෙවැනි සැඩ පහර ගැන.

‘අනමතග්ගෝයං සංසාරො පුබ්බා කෝටි න පඤ්ඤායති’ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාඨයට අනුව මේ සංසාර ගමන, එසේත් නැතිනම් සංසාර සාගරය කියන්නේ පරතෙරක් දකින්නට බැරි භයානක අතුරුඅන්තරාවලට මුහුණ දෙන්නට සිදුවෙන භයානක ගමනක්. මේ සංසාරය නමැති සසර තරණය කරන්නට නම් නෞකාවක් ඕනෑ. ඒ නෞකාව අබලන්වෙලා නම්, ජීවිතය පවා හානියට පත්වෙන්නට පුළුවන්. මහ සයුරේ සැඩ දියවැල්, දිය සුළි, ගල්පර මහා භයානක මත්ස්‍යයන් ගැන දන්නා අය නම් එහි භයානකකම ගැන දන්නවා. ඒ වගේ දරුවනේ ජීවිතය නමැති යාත්‍රාව ගුණ ධර්මයන්ගෙන් තොරව අබලන්ව තිබුණොත් මේ සංසාරය නම් වූ සාගරයේ කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියන සසර සැඬ පහරට හසුව නිතර දුක් විඳින්නට වෙනවා. එයයි භවෝගයේ තිබෙන භයානකකම.

“උපාදාන පච්චයා භවෝ’ උපාදානය හේතු කොටගෙන භවය හට ගන්නවා. එය දෙයාකාරයි. කර්ම භවය සහ උප්පත්ති භවය යනුවෙන්. මේ දෙකම ඇතිවෙන්නේ උපාදානය නිසයි. උපාදානය කියන්නේ ‘වේදනා පච්චයා උපාදානං’ විඳීම ඇතිවෙන කොට, ඒ විඳිම් සමඟ ඇති කරගන්නා අල්ලාගැනීමයි. විඳීම් වර්ග තුනක් තිබෙනවා. දුක් වේදනා, සැප වේදනා, සහ උපේක්ෂා වේදනා යනුවෙන්. මේ වේදනාවන් සමඟ ඇතිකර ගන්නා වූ ආශාවෙන් එනම් තෘෂ්ණාවෙන් ඒවා තමන්ගේ කර ගැනීම, මම, මගේ කියන හැඟීම ඇති කර ගැනීමට තමයි උපාදානය කර ගන්නවා කියන්නේ. ඉතින් දරුවනේ, මමත්වය තිබුණොත්, මගේ කියන හැඟීමක් තිබුණොත් භවයක් හට ගන්නවාමයි. ‘භවය’ කියන්නේ උපදින තැන් කියන අර්ථයයි. අපි මුලින්ම බලමු කම්ම භවය කියන්නේ කුමක්ද කියලා.

‘තද්ධ කතමො කම්ම භවො’

දරුවනේ, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාරවලට කර්ම භවය කියනවා. කර්ම කියන්නේ කරන දේවල් නේ. අප බොහෝ දේ කරනවිට ඒවා එක්රැස් වෙනවා. එකතු කරගන්නා ඒවාට කියන්නේ සංඛාර කියලයි. ඉතින්,

හොඳ දේ කරලා හොඳ දේ එකතු කර ගන්නවා. ඒවාට කියනවා පුඤ්ඤාභි සංඛාර. සමහර වෙලාවට නරක දේත් එකතු කර ගන්නවානේ. ඒවාට කියන්නේ අපුඤ්ඤාභි සංඛාර කියලා. ඊළඟට දුවේ, පුතේ භාවනායෝගීව ධ්‍යාන වඩන අය ළඟත් සංඛාර එකතු වෙනවා. ඒවාට ආනිජ්ජාභි සංඛාර කියනවා. ඉතින් මේ විදියට එකතු කරගන්නා දේවලට තමයි සංඛාර කියන්නේ. ඔය විදියට කර්ම භවය ගැන දැන ගන්න.

ඊළඟට, ‘තද්ධ කත මො උප්පත්ති භවො’ ඔය විදියට එකතු කරගන්නා කර්මවලට අනුව අප උපදින භවයන් තිබෙනවා. ඒ කියන්නේ උපදින තැන්කියලයි. ඒවා තමයි කාම භවය, රූප භවය, අරූප භවය, සඤ්ඤා භවය, නේවසඤ්ඤා නාසඤ්ඤා භවය, ඒකවෝකාර භවය, චතුවෝකාර භවය සහ පඤ්ච වෝකාර භවය. ටිකක් ගැඹුරුයි නේද දරුවනේ? ඒත් ඉතින් අප මේ ධර්ම කරුණු ඉගෙන ගන්නට ඕනෑ. ඉතින් මේවාට කියනවා උප්පත්ති භවය කියලා. මේ ගැන සඳහන් වෙන්නේ විභංග පාලියේ . දරුවනේ දැන් තේරෙන්නට ඕනෑ මේ භවයන් තුළ සත්ත්වයන් උපදින්නේ අකුසල් කරලා. එහි විපාක හැටියට බව. ඒ වගේම දානාදී කුසල් කරලා එහි විපාක හැටියට බව. ඒ කියන්නේ පින්, පව්, කුසල්, අකුසල්වල උපාදානය නිසා තමයි භවය හටගන්නේ. එය මෙලෙස තේරුම් ගන්න. දරුවනේ, අප කරන හැම ක්‍රියාවකම හොඳ හෝ නරක ප්‍රතිඵලයන් තියෙනවා. ඒවා විපාක දෙන්නට තමයි පෙර කී විවිධ භවවල උපදින්නේ.

‘කාම භවය’ කියන්නේ මොකක්ද? අපාය සතරයි, දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකයට යි. එතකොට කාම භව එකොළහක් තිබෙනවා. ඕවාට හය හතර තේරුම් ගන්නවා කියලත් කියනවා. මේ කාම භූමි එකොළහ හැර රූපාවචර භූමි 15 ක්, අරූප භූමි 03 ක් තිබෙනවා. ඒවා ‘සඤ්ඤා භවය’ ලෙස හැඳින්වෙනවා. භවයන්ගේ කෙළවර ලෙස හඳුන්වන අරූප භූමිවල උපදින අය නේවසඤ්ඤා නාසඤ්ඤා භවය ලෙස හඳුන්වනවා. කාම භූමිය හැරුණාම සංඥාවක් ඒ කියන්නේ සිතිවිලිවලින් පමණක් ජීවත්වන ලෝක තිබෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. ඒවාට අසඤ්ඤතල කියනවා.

‘සිත මිස කය නැති බඹලොව සතරකි’

ලෙස ලෝවැඩ සඟරාවේ ද සඳහන් කොට තිබෙනවා. දරුවන්ට මතක ඇතිනේ, බෝසතාණන් වහන්සේගේ ගුරුවරු ඉපදීලා සිටියේ දීර්ඝායුෂ තිබෙන බ්‍රහ්ම ලෝකවල. දරුවනේ, බොහෝ අරමුණු වෙනුවෙන්, සමහර වෙලාවට ආත්මාර්ථකාමී හැඟීම් වෙනුවෙන්, එසේත් නැතිනම් හිත මිතුරන් වෙනුවෙන් විවිධ අරමුණු වෙනුවෙන් අපි කර්ම රැස් කරගන්නා නිසා තමයි විවිධ භවයන්හි ඉපදෙන්නේ. සමහරු තමන්ගේ ගොවිතැන් පාළු කරන, තමන් ඇළුම් කරන වස්තූන් විනාශ කරන සතුන් විනාශ කර දමනවා. සමහරු තමන් කැමැති වස්තූන් ලබාගන්න, මිල මුදල් සොයා ගන්නට සත්ත්ව ඝාතනය කරනවා. එහෙම නැතිනම් කරවනවා. අඹුදරුවන් රකින්න ප්‍රාණඝාතාදිය සිදු කරනවා. මෙවැනි දේ වර්තමානයේ බොහෝවිට දකින්නට තිබෙනවා. මේ විදිහට ප්‍රාණඝාතාදී අකුසල් සිදුවෙන්නේ කාම උපාදානය නිසයි. සමහරු මිථ්‍යා දෘෂ්ඨික දෙවියන් සතුටු කරන්න දිව්‍ය ලෝකයේ යන බලාපොරොත්තුවෙන් දෙවියන්ට පූජා කරන්න සතුන් ඝාතනය කරනවා. දන්දීම සඳහා සතුන් මරනවා. සමහර වෙලාවට සතුන් ඉන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා කියන මිථ්‍යා මත පතුරුවා සතුන් ඝාතනය කරනවා. යාග පවත්වන්නට සත්ත්ව ඝාතනය කරනවා. එය සිදුවන්නේ දිට්ඨි උපාදානය නිසයි. ඒ වගේ ම දරුවනේ සමහර අය ආත්ම සුඛ විහරණයට ඒ කියන්නේ තමන් ගැන පමණක් සිතා, සමහරවිට නිරෝගී බව වෙනුවෙන් සතුන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. සත්ත්ව මාංශ ආහාරයට ගන්නවා. ආත්මාරක්ෂාව වෙනුවෙන් උකුණන්, මකුණන්, මැසි මදුරුවන් මරා දමනවා. ඒවා සිදු කරන්නේ අත්තවාදය උපාදානය නිසයි.

මේ වගේ උපාදානයන්ගේ මෙහෙය වීමෙන් මිනිසා ප්‍රාණඝාතාදී කර්ම සිදු කරගන්නවා. ඒ වගේම සොරකම, කාම මිථ්‍යාචාරය ආදී දස අකුසල් මිථ්‍යා දෘෂ්ඨිය දක්වාම සිදු කෙරෙන්නේ මේ ලෙසමයි. ඔය අකුසල් කිරීමෙන් උපදින්නට කර්ම සාදා ගන්නා සැටිනේ. දැන් අපි බලමු අනිත් පැත්ත.

ඇවිලෙන ගින්නට තෙල් වත් කරන විට බුර බුරා ගිනි දැල් නගිනහැටි දන්නවා නේද? ඒ වගේ තමයි කාමඋපාදානය නමැති ගින්න. බුර බුරා නගිනවා. රහසිගතව කාමෝපදානය මෙහෙයවන විට මිනිස්සු දිව්‍ය මිනිස් ලෝකයන්හි සැප සම්පත් සඳහා පින් කරනවා. සමහරවිට කෙත්වතු පූජා කරනවා. වෙහෙර විහාර දාගැබ් හදවනවා. පන්සිල්, අටසිල්, දසසිල් රකිනවා. කාම සුබඵල අපේක්ෂාවෙන්ම බණ භාවනාවන්හි නියැළෙනවා. ඉතින් දරුවනේ මේ විදියට කටයුතු කරන්නේ කාම උපාදානය, දිට්ඨි උපාදානය කියන කරුණු දෙක මෙහෙය වීමෙන් බව හොඳට මතක තබා ගන්න ඕනෑ.

මේ අනුව කුසල අකුසල කර්ම සිදු කරලා. භවය දිගු කර ගන්නට පාර හදාගන්නවා. දරුවනේ කුඹුරක හට ගන්නා වීවලින් කොටසක් බොල් වෙනවා. කොටසක් ඉතිරිවෙනවා. අන්න ඒ වගේ උපාදානය නිසා අපි කරන කර්මයන්ගෙන් කොටසක් මතු ආත්මය සඳහා ඉතිරි වෙනවා. මේ ආකාරයට කර්මභවය නැතිනම්, ආත්මයෙන් ආත්මයට අප උපදිනවා. මෙය ඕඝයක් අප එයට ගහගෙන යනවා. ඒකට මාර්ගයක් සොයන්න ඕනැ.

දරුවනේ කෙලෙස් කියන්නේ පිපාසයක් වගේ. සත්ත්වයන් දවන, තවන මහා නරක දෙයක්. පිපාසය නිවා ගන්න විවිධ පාන වර්ග ගන්නා සේ කෙලෙස් නිසා ඇතිවන දැවිල්ල තැවිල්ල නැති කරගන්නත් කෙලෙස් කොටසක් කියනවා. සතර ඕගයන් තරණය කිරීමේ ධර්මානුකූල මග බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දිනක් හේමවත නම් යක්ෂයා කවරෙක් සැඩ පහරින් එතෙර වෙයිද? කවරෙක් සසර සැඩ පහර තරණය කරයි ද කියල බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා.

යම් කෙනෙක් හැමදාම පිරිසුදුව, සිල්වත්ව ඉන්නවා නම්, මේ ලෝකයේ ඇත්ත දැන ගන්නා ප්‍රඥාවෙන් යුක්ත නම්, තමාට පාලනය කරගත හැකි ඉන්ද්‍රියයන් වලින් යුක්ත නම්, ඒ වගේම සිහි කල්පනාවෙන් ඉන්නවා නම් සසර සැඩ පහරින් එතෙර වන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දරුවනේ අධ්‍යාපන කටයුතු කරනවිට ඉන්ද්‍රිය පිනවීමට ගියොත්, විවිධ බැඳීම්වලට අසුවුණෙත්, අධ්‍යාපනය නැමති මහා සාගරයේ ගිලෙනවාමයි. ඒ නිසා අධ්‍යාපනය නමැති සාගරයෙනුත්, රැකී රක්ෂා නමැති සාගරයෙනුත්, අවසානයේ සංසාර සාගරයෙනුත් එතෙර වෙන්න ශක්ති සම්පන්න යාත්‍රාවක් හදාගන්න ඕන. ඒකට සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන්ගෙන් හික්මෙන්නට ඕනෑ.