Print this Article


මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ

මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ

මහණෙනි, කරුණු පසකින් කාන්තාව මරණින් පසු නිරයට පැමිණෙයි. කවර පසකින් ද යත්,

1. ප්‍රාණඝාතයෙන් යුක්ත වෙයි.

2. අදින්නාදානයෙන් යුක්ත වෙයි.

3. කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි.

4. මුසා බණින්නී වෙයි.

5. රහමෙර පානය කරන්නී වෙයි.

බුදුරජාණන් වහන්සේ විසින් පංචවේර සූත්‍රයෙහි මෙම දේශනාව කරනු ලබන්නේ අනුරුද්ධ තෙරණුවන්ගේ ඉල්ලීම මතයි. තමන් වහන්සේ මරණින් පසු කාන්තාවක් නරකයට යනු දිවැසින් දුටු බවත්, එසේ වීමට බලපාන හේතු මොනවාදැයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසති. දිවැස ඇත්තවුන් අතුරෙන් අගතනතුරු ලත් අනුුරුද්ධ තෙරණුවන් විමසා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරති.

කෝධන සූත්‍රයෙහි දී මරණින් පසු නිරයට යාම පිණිස බලපානු ලබන කරුණු පහක් දක්වා තිබේ. එම කරුණු පහ අදාළ වන්නේ ද කාන්තාවන්ට ය.(මාතුගාම) එනම්,

1.ශ්‍රද්ධා සම්පන්න බව අඩු කෙනෙක් වීම

2.පාපකාරී ක්‍රියාවන් කිරීම සඳහා ලජ්ජා නැති කෙනෙක් වීම.

3.පාපකාරී ක්‍රියාවන් කිරීම සඳහා බිය නැති කෙනෙක් වීම

4. නිතර නිතර කිපෙන සුළු කෙනෙක් බවට පත්වීම.

5. මොළේ නැති වැඩ නිතර නිතර කරන කෙනෙක් වීම.

'උපනාහී' යන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ බද්ධ වෛරය යන්නයි. බද්ධ වෛරය ඇති වෙන්නේ කෙනෙකුගේ මනස තුළය. එය බාහිර සමාජයට දෘශ්‍ය මාන ලක්ෂණයක් නොවේ. බද්ධ වෛරය නිසා කරනු ලබන ඇතැම් ක්‍රියා බාහිර සමාජයට පෙනුණ ද එකී අපරාධය හා බැඳුණු මූලික මානසික තත්ත්වය මනෝද්වාරය හා සම්බන්ධ එකකි. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ නොවේ. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ යයි කෙනෙක් කියනවා නම්, ඒ ඔහුගේ නොතේරුම්කම නිසාය.

කිසියම් කල්පනාවක් කෙනෙකුගේ මනසේ ඇති වන්නේ සාමාන්‍ය සිතිවිල්ලක් හැටියටය. එම සිතිවිල්ල මනසෙහි පවතින හා ක්‍රියාත්මක වන ආකාරය අනුව එහි වෙනත් ස්වභාවයන් ගනී. කෙනෙකුගේ මනසෙහි නොමනාපයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය සිතිවිල්ලකි. එය එතරම් ප්‍රබල එකක් නොවේ. නමුත් එම නොමනාප සිතිවිල්ල මනසින් ඉවත් කරගනු නොලැබුව හොත් මනසෙහි දීර්ඝ කාලීනව පැවතුණ හොත් එය තරහව බවට ද, පසුව කේන්තිය බවට ද, ක්‍රෝධය බවට ද වෛරය බවට ද ක්‍රමානුකූලව ගැඹුරට යයි. එහි අවසානය වන්නේ බද්ධ වෛරයයි.

බද්ධ වෛරය බරපතල මානසික අකුසලයකි. උපනාහී සූත්‍රයෙහි දී දක්වන්නේ බද්ධ වෛරය කිසියම් කාන්තාවකගේ මනසෙහි පැවතුණහොත් එම අකුසලය නිසා එම තැනැත්තිය අනිවාර්යයෙන්ම මරණින් පසු නිරයට පැමිණෙණ බවය. බද්ධ වෛරය මානසික වශයෙන් ජීවිතයේ සතුට නැති කරවන, ප්‍රබෝධය හා සැනසිල්ල නැති කරවන තම ජීවිතයේ සෑම දෙයක්ම අවුල් අපිළිවෙළ කරවන, මරණින් පසු අනිවාර්යයෙන්ම අපා දුක් විඳවන, මැරෙන තුරු ද නොවිඳිනා අපාදුක් විඳවන බරපතල අකුසලයකි.

කෙනෙකෙªගේ මනසෙහි එබඳු අකුසල සිතක් පහළ වන්නේ ද බරපතල අකුසලයකටය.

'ඉස්සා' යන පාලි වචනයෙහි සිංහල තේරුම ඊර්ෂ්‍යාව යන්නයි. ඉස්සුකී යනු ඊර්ෂ්‍යා ඇත්තා යනුයි. ඉස්සුකී සූත්‍රයෙහි දී දක්වන්නේ ඊර්ෂ්‍යා සහිත කෙනෙක් බවට පත්වූ කාන්තාව එය මනසින් ඉවත් කර නොගෙන දීර්ඝ කාලීනව තබාගනු ලැබුවහොත් මරණින් පසු අපායේ උප්පත්තිය ලබන බවය. තද මසුරු බවද එබඳුම අකුසලයකි. මච්ඡරී සූත්‍රයෙහි දී දක්වා ඇත්තේ තද මසුරු බව නමැති මානසික අකුසලය. දීර්ඝ කාලීනව තිබීම ඊළඟ භවයේ අපායේ උප්පත්තිය ලැබීම පිණිස හේතු වන බවයි. මෙහිදී අවධාරණය කර දක්වා ඇත්තේ මාගමකගේ මානසික තත්වය පිළිබඳවය.

අඹුසැමි ජීවිතයක් ගතකිරීම සඳහා නීත්‍යානුකූලව හෝ මානසිකව බැඳුණු දෙදෙනෙකු එකී බැම්මට එරෙහිව හෝ අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගෙන් කම්සැප සෙවීම නීතිමය ලෙස වරදක්, ධර්මානුකූලව බරපතල අකුසලයක් ද වේ. කිසියම් කාන්තාවක අවසරයකින් තොරව එසේ වරදෙහි බැෙඳන්නේ නම් අකුසල කර්මයේ විපාක වශයෙන් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායගාමී වන බව අලූචාරී සූත්‍රයෙහි දක්වා තිබේ. දුශ්චරිත බව ද ස්ත්‍රියට මළයක් බව දක්වා තිබේ. දුස්සීල බව ද දීර්ඝ කාලීන ලෙස පැවතීම කාන්තාවකගේ ඊළඟ භවය අපායගාමී කර වීමට සමත් වෙති.

අනුවණ කෙනෙකු ලෙස ජීවත්වීම සහ බුද්ධිමත් කෙනෙකු ලෙස ජීවත්වීම,අතින් සමාන වුවද, එහි බරපතල වෙනසක් තිබේ. අවබෝධය යනු කායික තත්ත්වයක් නොව මානසික තත්ත්වයකි. එම මානසික බව කායික ක්‍රියාවන්ට ද බලපානු ලබයි. කෙනෙකුට අවබෝධය හා අනවබෝධය ලැබෙන්නේ අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික වශයෙන් ලැබූ නුවණැති බවත් සමඟය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා වඩාත් සමීපවන්නේ අවබෝධ පූර්වක පක්ෂයටය. ඇසූ පිරූ තැන් නැති තැනැත්තා වඩාත් සමීප වන්නේ අනවබෝධයටයි. ඇසූ පිරූ යනු තේරුම් දෙකක් සහිත වචන දෙකකි. ඇසූ යනු දැනුමයි. පිරූ යනු චරිතවත් බවය. කාන්තාවකගේ ජීවිතය ලස්සන වන්නට නම්, මේ අංශ දෙකම මනාසේ පැවතිය යුතුය. කාන්තාවක වශයෙන් උපත ලැබීම පෙර සංසාරයේ අකුසල් නිසා සිදුවන්නකි යන අදහසක් ඇතැම්හු තුළ වෙති. බුදු දහමට අනුව එම අදහසෙහි සත්‍යතාවක් ඇත්තේ නැත. බමුණු දහමට හෙවත් බ්‍රාහ්මණ ආගම අනුව නම්,එහි සත්‍යතාවක් තිබේ. පෙර බොහෝ පව් කළෝ කාන්තාවක් වී උපත ලබන්නේ යැයි එම දහමෙහි බමුණා කීහ.

කාන්තාවක වී උපත ලැබීම අකුසලයක් හෝ පව්කාර කමක් ලෙස නොදකින බුදු දහම කාන්තාවට ආෙවිණික ලක්ෂණ කිහිපයක් පවතින බව දක්වයි. පිරිමින්ට නැති කාන්තාවකටම පමණක් පවතින ලක්ෂණ නිසා ඒවා ආවේණික ලක්ෂණ ලෙස දක්වා තිබේ. එනම්,

1.තම ඥාතීන් අතහැර පතිකුලයට යාමට සිදුවීම

2.මාසික වේදනා සහිත වෙයි

3.ගැබිනියක වශයෙන් සිටීමට සිදුවෙයි.

4.දරුවන් ප්‍රසූත කිරීමට සිදුවීම

5. පුරුෂයාට යටහත්ව ජීවත්වීමට සිදුවීම යනුවෙනි.