Print this Article


ඇසළ මහා පෙරහර

ඇසළ මහා පෙරහර

දහ නමවන සියවසේ මැද භාගයේ මෙතෙක් ඝන කැලෑවෙන් වැසීගොස් තිබූ බෙල්ලන්විල විහාරය ලෝකයා වෙත විවර වන්නේ දෛවෝපගත සිද්ධියකිනි.

බෙල්ලන්විල ඉතිහාසය අනුව අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ එවකට වැඩසිටි තෙන්ගොඩගෙදර හිමියන් කිසියම් කාර්යයකට බෙල්ලන්විල කටු ඇල ඔස්සේ ඔරුවකින් වැඩම කරනා ගමන අතරතුර වත්මන් බෙල්ලන්විල රාජමහා විහාරය ආසන්නයේදී ඇසුණු හේවිසි රාවය සොයා යෑමේ ප්‍රතිඵලය වූයේ වන රොදින් වැසී තිබූ බෙල්ලන්විල මහානුභාව සම්පන්න දෙතිස්ඵල බෝධීන්වහන්සේ සොයා ගැනීමයි.

එදා පටන් විහාරාධීපතීන්වහන්සේලා පස් නමක් යටතේ බෙල්ලන්විල විරාජමාන විය. 1946 දෙසැම්බර් 18 වන දා බෙල්ලන්විලට හිරු උදා වූයේ වෙනදාට වඩා වෙසෙසි බවක් සමගිනි. ඒ පුරා අවුරුදු දෙදහස් තුන්සියයකටත් අධික කාලයක් තිස්සේ නිරුපද්‍රිතව වැඩ හුන් බෙල්ලන්විල දෙතිස්ඵල බෝ සමිඳුන් විරාජමානව වැඩහිඳීන බෙල්ලන්විල රාජමහා විහාරයේ හයවන අධිපතීන්වහන්සේ ලෙස මෙතෙක් අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ වැඩ සිටි බෙල්ලන්විල ශ්‍රි සෝමරතන නාහිමියන් ගේ වැඩමවීම නිසාය. මේ පින්වන්ත ආගමනය පන්සලට මතු නොව ගමටත් කීර්තියක් අත්වන ඓතිහාසික එකක් වනු ඇතැයි එදා කවුරුත් නොසිතන්නට ඇත.

එහෙත් අද ලෝක ප්‍රසිද්ධ බෙල්ලන්විල රාජමහා විහාරය මේ තත්ත්වයට ඔසවා තැබූ නියමුවාණෝ උන්වහන්සේ ය. බෙල්ලන්විල විහාරය, රාජමහා විහාරයක් වුවත් එහි ශ්‍රි විභූතිය වල් වැදී තිබුණි. එය කළ එළි කිරීමේ වගකීම පසුදා පටන්ම ඇරඹූ සෝමරතන නාහිමියන්ට හතළිස් හතේ අවුරුද්දේ තවත් ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය.

මඩ ගොවිතැන් සරුවට කෙරුණු සුන්දර බෙල්ලන්විල ගමේ නොසිතූ ගව වසංගතයක් පැතිරෙන්නට විය. ගමේ ගව සම්පත ක්‍රමයෙන් අඩු විය. කුඹුරට කමතට හදවතින්ම පෙම් බැඳි සෝමරතන නාහිමියන්ට මෙය ඉහිලුම් නොදෙන්නක් විය. මේ සියල්ලෙන් පීඩා විඳීන ගමේ මිනිසුන්ගේ දුක කාටත් කලින් දැනෙන්නේ ගමේ පන්සලටය. මේ ව්‍යසනයෙන් ගැලවෙනු පිණිස තිසරණ සරණත් , දෙවිරැකවරණත් ගමට ලැබුණොත් මේ උවදුර දුරුකර ගැනීම එතරම් ලොකු දෙයක් නොවන බව සිතූ සෝමරතන නාහිමියෝ ගැමියන් කැඳවා කරුණු පහදා ධාතු කරඬුව ගම වටා වඩමවා ගමට සෙත් කරන පෙරහරක් කරමු. යි යෝජනා කළහ. යෝජනා ස්ථිර කළත් , නොකළත් සිතූ වැඩේ කිරීම නාහිමි සිරිත බැව් දන්නා ගැමියෝ එකහෙළා නාහිමියන් සමග සීරුවෙන් සිටගත්හ.

ඒ අනුව හතළිස් හතේ අවුරුද්දේ දුරුතු මහ ගෙවෙන්නට ආසන්නයේ බෙල්ලන්විල ගමට ආසිරි පතා දුරුතු පෙරහර වීදි සරන්නට විය. අසිරියකි. වසංගත දුරුවිය. කෙත්වතු සරු විය. මිනිසුන් සුඛිත විය. එහෙත් පෙරහර නම් නැවතුණේ නැත. හතළිස් අට, හතළිස් නමය අවුරුදු දෙකේත් දුරුතු පෙරහර පවත්වා පෙර පරිදිම ගමට ආශිර්වාද කළහ. එසේ ඇරඹි බෙල්ලන්විල පෙරහර විවිධ හේතූන් නිසා දුරුතු මහෙන් ඇසළ මහට මාරු වෙන්නේ 1950 දී ය. ශ්‍රි සෝමරතන නාහිමියෝ කල් යත්ම පෙරහරට විවිධාංග එක් කළහ. සති පිරිතක් පවත්වා පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම ඉන් එකකි. ඇතැම් අවුරුදුවල සති තුන හතර එකදිගට පිරිත් පින්කම් පවත්වා ඇති අතර මහ පෙරහරට අලි ඇතුන් සියයකටත් අධික සංඛ්‍යාවක් සහභාගී කරවූ බැව් පැරැණි ගැමියෝ අදත් සිහි කරති. මෙලෙස මෙම පෙරහර හුදු පෙරහරක් නොවී ඇසළ පින්කම් මාලාවක් බවට පත් කරන්නට නාහිමියන් ක්‍රියා කළහ. ඇසළ මංගල්‍යය තිස් තුනකට නායකත්වය දුන් සෝමරතන නාහිමියන් ඒ වන විට පසුවූයේ රෝගී තත්ත්වයෙනි.

එක්දාස් නමසිය අසූ හතරේ තිස් හතරවන ඇසළ පෙරහරටත් සියල්ල සූදානම් විය. ලෙඩ ඇඳේ හුන් නාහිමියෝ ද මේ සියල්ල බලා සතුටු විය. පෙරහර කරන්නට සති පිරිත් ආරම්භ විය. දවස දෙක ගතවිය. නාහිමි හදිසියේ ම රෝහල් ගත කෙරුණි. සති පිරිතේ හවස මහපිරිත අතරතුර බෙල්ලන්විල පන්සලට ලැබුණු පුවත වූයේ බෙල්ලන්විල යුග පුරුෂයාගේ නික්මයාම ගැනයි. පිරිත් නතර විය. තිස් හතර වන ඇසළ උළෙල ආදාහන උළෙලක් බවට පරිවර්තනය විය. අසූ පහේ අවුරුද්දේ පටන් නාහිමියන්ගේ බර කරට ගත්තේ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් විසිනි. පෙර සිරිත් සියල්ල නොකඩවා කරමුයි. දෙදෙනා වහන්සේ තිර අදිටනක පසුවූහ. සිය ගුරුදේවයන්ගේ ඇසුරින් ලත් අත්දැකීමෙන් පෙහණි වූ උන්වහන්සේලා අද දක්වාම ඇසළ මංගල්‍යයට නායකත්වය දෙති. එනිනුදු විහාරාධිපති නාහිමියන් විදෙස්ගතව කරන ධර්මදූත මෙහෙවරෙහි කාර්ය බාහුල්‍ය නිසා මේ සියලු කටයුතුවලට පසුගිය වසර දක්වාම නායකත්වය දුන්නේ අපේ ආචාර්යෝත්තම විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් වහන්සේය.

උන්වහන්සේ නොසිතූ නිමේෂයක නික්මයාම බෙල්ලන්විල පෙරහරට තදින්ම දැනෙයි. කතා බහ කරන හැමදෙනාගේම අදහස ඒ අඩුව බෙල්ලන්විලට පමණක් නොව රටට ලෝකයටම වූ පාඩුවක් බවයි. අනුනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ ජීවත්ව සිටිය දී විහාරයේ මෙන්ම පෙරහර මංගල්ලයේ සියලු කටයුතු උන්වහන්සේට පවරා අපේ ආචාර්යෝත්තම විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් පසුපසින් ධෛර්යය සැපයූහ. අනුනාහිමියන්ගේ අඩුව අප කිසිවෙකුටත් දැනෙන්නට නොදී උන්වහන්සේ අද බෙල්ලන්විල ඇසළ මංගල්ලයට තමන්වහන්සේම ස්වකැමැත්තෙන් අයින්කර තිබූ නායකත්වයට යළි පණ පෙවීම වාසනාවකි. වර්තමානය වන විට මෙහි වගකීම ඇසළ පෙරහර කොමිටියට පවරා විහාරාධිපති නාහිමියෝ ඒ සියල්ල මෙහයවති.

ඇසළ පෙරහර කොමිටියේ සංවිධායකත්වයෙන් විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ බෞද්ධ සංසදය, ශ්‍රී බෝධිරාජ කුළගන සමිතිය, හා දහම් පාසල, ආදී සංවිධානයන්හි සහයෝගයෙන් වර්තමානයේ මේ සියලු කාර්යයන් පෙළගැස්වෙයි. තවත් විදිහකට කිවහොත් ඇසළ පුණ්‍යඋත්සවයේ සාර්ථකත්වයට මේ සියලු සංවිධාන වගඋත්තර කරුවෝ ය. මේ සියල්ල මෙහෙයවීමේ දී අපේ සහෝදර විහාරාධිකාරී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගෙන් නාහිමියන්ට ලැබෙන සහාය අමිල ය. අගෝස්තු 11 වන සෙනසුරාදා දිනය බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් දිනයයි. සකලාංග සම්පූර්ණ පෙරහරක් වන රන්දෝලි මහ පෙරහර මෙදින රාත්‍රියේ වීදි සංචාරය කරනුයේ අති විශාල ජනතාවකට දැකබලා ආශිර්වාද ලබාගැනීමට ඉඩ හසර සලසමිනි.

සධාතුක කරඬුව රැගත් නැදුන්ගමුවේ ඇත් රජුන් පෙරටුව මාලිගාවේ පෙරහර මෙන්ම, විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, යන සතර දේවාලයන්හි පෙරහර ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායය ත්‍රිත්වයෙහිම නර්තනාංගයන්ගෙන් සමන්විතව මෙම පෙරහර වීදි සංචාරය කරයි. පෙරදා ගමන් මග වෙනස් කරමින් තරමක් දීර්ඝ ගමන් මාර්ගයක ගමන් කරන මෙම මහ පෙරහර අලුයමට හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී ගෙවදියි. පසුදිනය වෙන්වන්නේ සිරිත් පරිදි පෙරහරක අවසාන අංගය වන දියකැපීමේ මංගල්‍යයටයි. බොරලැස්ගමුව තොටුපලේ දී දිය කපාගෙන සැන්දෑවේ පැමිණෙන පෙරහර පැමිණීමෙන් පසු සැදැහැවතුන්ගේ හිස මතින් සධාතුක කරඬුව වඩා හිඳුවා නැගෙනහිර ට දොරටුවෙන් පිටත්ව දකුණු ට දොරටුවෙන් ගෙවදින්නේ පාවඩ මතිනි. හිරු බැසයන්නට පෙරාතුව පෙරහර ගෙවැදී ලබන වසරේ පෙරහර කරන තුරු ඇතුල් මාළිගයේ සධාතුක කරඬුව වඩා හිඳුවන්නේ පංචතූර්ය මධ්‍යයේ ය. එදින සැඳෑව වෙන්වන්නේ පෙරහර කරන්නට උරදුන් සියල්ලන්ගේම වස් දොස් දුරුකරවන ගරායක් ශාන්ති කර්මය සහ දේව දානය වෙනුවෙනි.

මේ දේව දානය අනුභව කිරීම සියලු දොස් දුරුවන බව ගැමි විශ්වාසයයි. අදටත් ගැබිණි මව්වරුන් ඒ සඳහා පෙළගැසී එන්නේ ඒ විශ්වාසය පෙරටුකොටගෙන ය. ගමට සෙත් පතන්නට ආරම්භ වූ මේ මහා ඇසළ පුණ්‍යඋත්සවය රටටම ආශිර්වාදයක් ලබාදෙමින් නිමාව දකින්නේ එලෙසිනි.