UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්තී රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමිපාණන් වහන්සේ අපවත්වී අගෝස්තු 01 දිනට වසර 37 ක් සපිරිණි.

දිවුලපිටිය හේන්පිටගෙදර දොන් බස්තියන් පෙරේරා සකලසූරිය හා දෝන ඇලිස් ජයසිංහ දෙමාපියන්ට තම තෙවනි පුත්‍ර රත්නය ලෙස 1909 දෙසැම්බර් 18 දින සමරවීර සකලසූරිය නමින් පුත්රුවනක් ලැබීය. එම කුමරා හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනය ලැබීය. බෙන්නැම් ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ එකම ශිෂ්‍යයා ද විය.

බලගල්ල සරස්වතී පරිවේණාධිපති හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මා හිමියන් වෙතින් 1019 ජනවාරි 16 දින හේන්පිටගෙදර ඤාණසීහ නමින් පැවිදි දිවියට එක්විය. 1930 ජූනි 04 දින උපසම්පදාවට පත්විය . ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම පරීක්ෂණවලදී විශිෂ්ටතා පළකරමින් 1939 අවසාන විභාගයේ දී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත විභාගය සමත් විය. බලගල්ල සරස්වතී පිරිවෙනේ දී සමාජයේ හා ශාසනයේ දියුණුවට ඉමහත් සේවයක් කරමින් සිටියදී තිරිවානකැටිය මූලමහා විහාරාධිපති එලමල්දෙණියේ සුමේධාලංකාර නාහිමියන්ගේ බලවත් ඉල්ලීම පරිදි 1934 දී රත්නපුරයට වැඩමවන ලදී.

එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩාබිම් තීරුව 1934 අගෝස්තු 26 දින ශ්‍රී සමුන පිරිවෙන බවට පත්විය. එදා ආරම්භ කළ අධ්‍යාපන සේවාව ක්‍රමයෙන් දියුණු කරමින් රත්නපුර ශ්‍රී සුමන විදුහල, සුමනා බාලිකා විද්‍යාලය, බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන, තෙප්පනාව ශ්‍රී සුමන තුම්මෝදර ශ්‍රී සුමන ඉඟිරියාගල විද්‍යාර්ථ, පාතකඩ බෞද්ධ විද්‍යාලය හා තවත් පිරිවෙන් හා විද්‍යාල කිහිපයක් බිහිකිරීමට නා හිමියෝ සමත් වූහ. සුමනා බාලිකා විද්‍යාලය මෙරට ජනපි‍්‍රය ජාතික පාසලකි. පැල්මඩුල්ල පාතකඩ ආරම්භ කළ භික්ෂු පුහුණු ආයතනය තුළින් නාහිමියන් වෙතින් පාඨමාලා හැදෑරූ තරුණ භික්ෂූන් වහන්සේලා දේශීය මෙන්ම විදේශීය වශයෙන් විශාල ආගමික සේවාවන්හි නිරතව සිටී. ජාතික ප්‍රශ්නවලදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුකාලයේ දී සිරගතවී සිටින්නට සිදුවූවත් එම කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගත් නාහිමියෝ එහිදී ග්‍රන්ථකරණය තුළින් වටිනා ග්‍රන්ථ රාශියක් රටට දායාද කළහ. එම ග්‍රන්ථ කිහිපයකටම රාජ්‍ය සම්මාන ද හිමි විය. මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ අත්පිටපත් රාශියක් ඇත.

නාහිමියන් ඉටුකළ සේවාවන් අගය කරමින් අගෝ. 01 සිට 04 දින දක්වා ගුණ සමරු පින්කම් මාලාවක් රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනේ දී පැවැත්වීමට විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය කොන්ගස්තැන්නේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථ දායක සභාව බෞද්ධ කාන්තා සමිතිය හා තරුණ බෞද්ධ සමිතිය රොහාන් මුනිපේම මහතා සමඟ එක්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමි

බදුල්ල දිස්ත්‍රික්කයේ මාදෝවිට ගම් පියසේ විසූ නවරත්න මුදියන්සේලාගේ කිරිබණ්ඩා පියාණන්ට සහ නවරත්න මුදියන්සේලාගේ බංඩාර මැණිකේ මාතාවට දාව උපන් දරුවන් පස්දෙනෙකු අතරින් කණිටු පුතණුවන් ලෙස 1941 ජූලි 03 වන දින මෙලොව එළිය ලැබී ය. කුඩා කල අධ්‍යාපනය ලැබීම සඳහා කලබුලුලන්ද මහ විදුහලට ඇතුළත් විය. මව් දෙමව්පිය ආශිර්වාද මැද 1952 බිබිලිගමුවේ ගුණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා මාදෝවිට පේමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාදෝවිට විජයාරාම විහාරස්ථානයේ දී ප්‍රව්‍යජ්‍යා භූමියට පත් විය.

සාමණේර අවධියේ සිටම ශාසනික වත පිළිවෙත මැනවින් සම්පූර්ණ කරමින් ආචාර්යයන් වහන්සේලාට ඉමහත් ගෞරවයෙන් කටයුතු කළ අතර පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට දියතලාව සුධර්මාලංකාර පිරිවෙනටත් , වැඩිදුර අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටත් ඇතුළත් විය. ප්‍රාචීන භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති කරගත් උන්වහන්සේ 1964 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට තේරීපත් වූයේ තෘතීයික අධ්‍යාපනය ලැබීම සඳහා ය.

මාගම්මන ශ්‍රී සීලවිමල හිමියන්ගේත් , මාගම්මන ශ්‍රී සීලාලංකාර හිමියන්ගේත් , බිබිලිගමුවේ ගුණරතන හිමියන්ගේත් , ඌව නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක රත්කරැව්වේ මේධානන්ද නා හිමියන්ගේත් ශිෂ්‍යවරයකු ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දී උපසම්පදා වූහ. කලටුවාවත්ත පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී පොරේ සුමනසිරි හිමිපාණන් වහන්සේත්, ඌව නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පිරිවෙන් පරීක්ෂක ශාස්ත්‍රපති මාදෝවිට පඤ්ඤාරාම නා හිමිපාණන් වහන්සේත්, වෛද්‍ය රත්කැරැව්වේ අමරවංශ හිමිපාණන් වහන්සේත් උන්වහන්සේගේ පැවිදි සහෝදර හිමිවරු වූහ.

එවකට කුඩා පොල් අතු කුටියක් පමණක් ව තිබූ පන්සල හෙවත් හෝමාගම පුරාණ විහාරයට 1968 දී නා හිමියෝ වැඩම කළහ. තම ආචාර්යවරුන්ගේ ආශිර්වාදය මැද එම විහාරයෙහි අධිපතිත්වයට පත්ව ආගමික සාමාජික සේවාව අරඹා සියලුම විහාරාංගයන්ගෙන් සමන්විත කොට ආගමික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් ද ප්‍රදේශයේත් රටේත් කීර්තිමත් විහාරස්ථානයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියා කළහ. නාහිමියන්ගේ නිවැරැදි මාර්ගෝපදේශකත්වය මත හතරපේරුවේ දායක පින්වතුන් ක්‍රියාකාරී ලෙස විහාරස්ථානය වටා සංවිධාන ගත වූහ. ඒ අතර තරුණ බෞද්ධ සමිතිය, විශාඛා කුළඟන සමිතිය වැනි සංවිධාන ශාසනික සාමාජික සේවය සිදු කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙමින් බෝසත් පරපුරක් බිහිකිරීමට කටයුතු කරයි. සිරිසීවලී දහම් පාසල ද ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් දක්වා ගුණාත්මකව වැඩිදියුණු කිරීමට උන්වහන්සේට සහජ හැකියාවක් පැවතුණි. පුරා අඩසියවසකටත් එහා සිට අඛණ්ඩව වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහා පෙරහර උන්වහන්සේගේ අනුශාසකත්වය මත පවත්වාගෙන එනු ලබයි.

චතුර කථිකත්වය නිසා ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ කාගේත් ප්‍රසාදයට හා ගෞරවයට පත්වූහ. ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ද අප්‍රමාණ ප්‍රසාදයට පත්ව සිටි නාහිමියෝ 28 වසරක්ම නිතරගයෙන් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයට පත්වූහ. එමඟින් තම දහම් පාසල පමණක් නොව ප්‍රදේශයේ අනෙකුත් දහම් පාසල් ද නඟා සිටුවූහ.

පරපටිබද්ධා මේ ජීවිකාති යන ධර්ම පාඨය අනුව පරාර්ථ චර්යාව භික්ෂු ජීවිතයේ නිරතුරුව සිහිපත් කළ යුත්තකි. ඒ බැවි මැනවින් දත් නා හිමියෝ හෝමාගම පුරාණ විහාරස්ථ සමාජ සංවර්ධන පදනම පිහිටුවා දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය හා සුබසාධනය මෙන්ම විශ්‍රාමිකයින් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කරයි.

හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනට ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූ උන්වහන්සේ 1975 වසරෙහි දී ම එම පිරිවෙනේ පරිවේනාධිපති ධූරයට පත්වූහ. 1976 දී පාසල් ගුරුවරයකු ලෙස ගුරු සේවයට එක්ව බ/ කළුපහන මහා විද්‍යාලය, ඕපනායක විද්‍යාකර විද්‍යාලය හා හෝමාගම මහ විද්‍යාලය වැනි විද්‍යාලවල සේවය කළහ. ගුරු වෘත්තියේ තිබූ කුසලතා පූර්ණ බව නිසාම 1988 සිට විශ්‍රාම යනතෙක් ම බුද්ධ ධර්මය ගුරු උපදේශක තනතුරක් ද හෙබවූහ.

විදේශීය ධර්මචාරිකාවෙහි ද නිරත වූ අතර භාරත දේශය, තායිලන්තය වැනි රටවල දිගු කලක් ද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට ද වැඩම කොට ධර්ම ප්‍රචාරයෙහි නිරත වූහ.

ශාසනික සේවාවක් සිදු කළ නා හිමියන් ඇගයීම සඳහා 1993 දී කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් “ශ්‍රී සද්ධර්ම වාගීශ්වර” යන ගෞරව නාමයෙන් පුදනු ලැබූහ. 1998 දී පාමංකඩ ගංගාරාමස්ථ ධර්ම ගවේශන පර්ෂදය මඟින් “ධර්ම කීර්ති ශ්‍රී ශාසන ජෝති” යන ගෞරව නාමයෙන් පුදනු ලැබීය. හෝමාගම ගලවිල ශ්‍රී ගෞතම ශාසන වර්ධන සමිතිය “රත්න විභූෂණ” යන ගෞරව නාමයෙන් පුදනු ලැබීය. 2001 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් සීනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුදනු ලැබීය. එමෙන්ම හෝමාගම සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස 1994 දී තේරීපත් වූ නා හිමියෝ මුළුදිවයිනටම සාමවිනිසුරු වරයෙක් ලෙස ද ක්‍රියා කළහ.

මෙවන් උතුම් ගුණාංගවලින් පරිපූර්ණව ශාසන ශෝභන ගුණයෙන් යුතුව වසර 77 ක් ආයු වින්දනය කළ උන්වහන්සේ 2018 ජූලි 22 වන දින අපවත්වී වදාළහ. දේහය පිළිබඳ ආදාහන කටයුතු 2018.07.25 සවස 2.00 ට හෝමාගම විල්ප්‍රඩ් ක්‍රීඩාංගණයේ විශේෂයන් සැකසූ ආදාහන මළුවේ දී සිදු කෙරිණි. උන්වහන්සේට උතුම් වූ අජරාමර නිවනෙන් සැනසීම ලැබේවා.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]