Print this Article


දුක හටගැනීමේහේතුව

දුක හටගැනීමේ හේතුව

ඇසළ පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ වූ දුක්ඛ ආර්ය සමුදය සත්‍යය ලිපිය හා සම්බන්ධයි.

"දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවසාන ලෙසින් තේරුම්ගත යුත්තේ, මේ ස්කන්ධ පංචකය මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි තණ්හා මද මාන දෘෂ්ඨි වශයෙන් ගැනීම නිසා දුක හටගැනීමට හෙවත් දුක් උත්පාදනයවීමට හේතුවන බව ය. ඒ නිසා සමුදය ආර්ය නිසි ලෙස හඳුනාගැනීමට පළමුව ඔබ දුක්ඛ ආර්ය සත්‍යයේ සඳහන් දුක පිළිබඳව ආර්ය සත්‍යයක් හැටියට තේරුම්ගත යුතු වෙනවා. "

අධ්‍යාත්මිකව හෙවත් අභ්‍යන්තරයෙහි කාමාදී තෘෂ්ණාව හටගන්නා බාහිර අරමුණුත් සමඟ සහ සම්බන්ධයක් පවතී. නමුත් ප්‍රධාන වශයෙන් තමාගේ අභ්‍යන්තරය තුළ, තමා මුල්කොටගෙන, සක්ඛාය දිට්ඨිය මුල්කොටගෙන ඇති කරගන්නා වූ ස්වභාවය අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා වූ තෘෂ්ණාව බවට පත්වේ.

ඒ වගේ ම බාහිර අරමුණු මුල්කොටගෙන ඒ බාහිර අරමුණුවල පැවැත්ම අනුව, ස්වභාවය අනුව, ඒ බාහිර අරමුණු පැවැතීමේ ස්වභාවය අනුව, ඇතිවන්නා වූ යම් ස්වභාවයක් වේ නම්, එලෙස ම බාහිර යම් යම් අරමුණු ප්‍රාර්ථනා කරමින් ඒ තුළින් යම් යම් තෘෂ්ණාවක්, කාමයන්ට ඇති හැඟීමක් ඇති කරගන්නේ නම් එය බාහිර ආරම්මණයන් කෙරෙහි දක්වන තෘෂ්ණාවක් හැටියට තේරුම්ගත හැකි යි.

තවදුරටත් ගැඹුරු ලෙස සඳහන් කරන්නේ නම් මෙසේය. චක්ඛු ධාතුව, සෝත ධාතුව, ඝාණ ධාතුව, ජිව්හා ධාතුව, කාය ධාතුව විස්තර වශයෙන් මෙසේ තේරුම් ගත යුතු ය. මෙහි දී ධාතු හැටියට දක්වන්නේ රූපස්කන්ධය දැක්වූ තන්හි චක්ඛු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය, හෘදය වස්තුව රූපය නම් වූ ධාතු හයයි. ඇස හැටියට මෙහි දී සලකනු ලබන්නේ චක්ඛු ප්‍රසාදය හෙවත් චක්ඛු ධාතුවයි. ඔබ සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ‘මගේ ඇස් දෙකින් දුටුවා’ මගේ ඇස් දෙකෙන් දුටු දේට මම කැමැතියි. එසේ නැතිනම් ඒ ඇස් දෙකෙන් දුටු දේට මම අකැමැතියි යන අදහසයි.

ඇස යැයි මෙහි දී සාමාන්‍ය වශයෙන් සලකන්නේ කළු ඉඟිරියාව හා සුදු මදය, ඇස් පිහාටු ආදී වශයෙනුයි. නමුත් මෙහි දී චක්ඛු ප්‍රසාදය චක්ඛු ධාතුව යන අදහසින් සිහිපත් කරන්නේ කළු ඉඟිරියාවේ මැද දිලිසෙන හෙවත් ඕබාස ස්වභාවයෙන් පවතින අරමුණ හඳුනාගැනීමේ ශක්තියක් පවතින ස්වභාවයමයි. මෙහි දී හෘදයවස්තුව ඇසුරු කරගෙන එය හඳුනාගැනීමේ ස්වභාවය චක්ඛු ප්‍රසාදයට ඇතිවී තිබෙනවා.

එවිට අජ්ජත්ථ වශයෙන් අභාවිත සිතක් පවතින්නේ නම් එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට නැති සිතක් පවතින්නේ නම් චක්ඛු ප්‍රසාදයට ගෝචර වන එය රූපය නම්වූ ආරම්මණය මගේ ය. මම වෙමි. මගේ වසඟයේ පවත්වනවා යන අදහස් පෙළක් ඇතිව මම කැමැතියි මට එය පවත්වා ගන්නට අවශ්‍යයැයි යන සිතිවිලි හටගන්නවා. ඒ ආකාරයට සෝත ප්‍රසාදයට ශබ්දයත්, ඝාණ ප්‍රසාදයට ගන්ධයත්, ජිව්හා ප්‍රසාදයට රසයත්, කාය ප්‍රසාදයට පොට්ඨභය හෙවත් ස්පර්ශයත් දැක්විය හැකියි.

මේ සියල්ල ම ප්‍රසාදවලට හෙවත් ධාතූන්ට සකස්වන විට අභාවිත සිතක් ඇති පුද්ගලයා ‘ඉටුවඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇළුම් කරන’ නම් වූ පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඒවා උපාදානය හෙවත් සිතින් දැඩිව අල්ලා ගැනීම නිසා දුක හටගැනීමේ පළමු අවස්ථාව අජ්ජත්ථ වශයෙන් ඇතිකරගන්නවා.

ඊළඟ අවස්ථාවේ දී නැවත නැවතත් අර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියල්ල කෙරෙහි ම නිමිති අනුනිමිති, ව්‍යංජන වශයෙන් ගෙන ඒවා අනාගතයටත් සකස් කර ගැනීමේ බලාපොරොත්තු ඇති කර ගැනීම නිසා ඒවා කෙරෙහි, තෘෂ්ණාවක් ඇති කර ගන්නවා.

මෙහි දී සිදුවන්නේ කුමක් ද? මේ චක්ඛු ප්‍රසාදය යැයි අප හඳුන්වන ඇසත් සෝත ප්‍රසාදය ලෙස හඳුන්වන මේ කනත් ආදී වශයෙන් මේ සියල්ල ම මේ ආයතන ධර්ම එනම් මේ අජ්ජත්ථ ධාතූන් අනිච්ච, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත්.

ඒ වගේ ම බහිද්ධ වශයෙන් දක්වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නම් වූ මේ සියල්ලත් අනිත්‍ය දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් ය. එවිට මේ සියල්ල ම අජ්ජත්ථ බහිද්ධ වශයෙන් සලකන්නා වූ සියලු ධාතූන් එහි සැබෑ ස්වභාවය අනුව හට අරගෙන බිඳී නැතිව යන විට අභාවිත සිතක් ඇති පුද්ගලයා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පරිළාහයන්ට මුහුණපානවා.

උපායාස නම් බලවත් වූ සිත් තැවුල් පරිළාහයන් නම් හඬා වැළපීම් මෙය තෘෂ්ණාව හැටියට දක්වනවා. ඒ කාම තෘෂ්ණාවය. ඇස, කන, ආදී ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ආදී ආරම්මණයන් ඔස්සේ අවිද්‍යාව නම් වූ මුලාවෙන් යුක්තව පිනවන්නට උත්සාහ ගැනීම කාම තෘෂ්ණාව උප්පාදනය වීම හෙවත් ඉපදීමට හේතුවක් වෙනවා. මෙතැනින් නොනවතින මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ මේ ජීවිතයේ පමණක් නොව මතු මත්තේ ඉපදෙමින් මේ ආකාරයට ස්කන්ධ පංචකයත් පවත්වාගෙන ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් සතුටු කරන්නට ප්‍රාර්ථනා කරනවා. ස්කන්ධ පංචකයක් පවත්වනවාය යන අදහසින් සාමාන්‍ය පුද්ගලයන් අදහස් කරන්නේ, මනුෂ්‍යයන් අතර ඉහළම සැප සම්පත් ලබා කාමභෝගී ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කිරීමයි. ඒ වගේ ම දෙවියන් අතර ඉහළම දිව්‍ය සම්පත් ලබා කාමභෝගී ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කිරීමයි.

මේ ආදී වශයෙන් භවය ප්‍රාර්ථනා කරන්නේ අනවබෝධය හෙවත් අවිජ්ජාවෙන් ඇතිකර ගත්තා වූ අදහස නිසා ය. එනම් අජ්ජත්ථ, බහිද්ධ ධාතු වශයෙන් ඒ සියල්ල ම මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි අවිජ්ජාවෙන් ඇති ගරගත්තා වූ අනවබෝධය නිසා ය. තවත් තැනක විභව තණ්හා යන අවස්ථාවේ දී මතු භවයක් ගැන නොසිතා හෝ විශ්වාසයකින් තොරව මේ ජීවිතයේ ම හැකිතාක් දුරට මේ අජ්ජත්ථ බහිද්ද වශයෙන් දක්වන්නා වූ ධාතූන් ඔස්සේ ප්‍රිය අරමුණු හැකිතාක්දුරට මමය, මගේ ය දෘෂ්ඨියෙන් භුක්තිවිඳිමින් කාමාදී අරමුණු ඔස්සේ ඉන්ද්‍රියයන් පිනවන්නට තිබෙන කැමැත්තයි.

මේ ආදී වශයෙන් කාම, භව, විභව ආදී වශයෙන් ඇති වන්නා වූ තෘෂ්ණාව දුකට හේතුව හෙවත් දුක උත්පාදනය කිරීමට හේතුවක් හැටියට දැක්විය හැකියි.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ සඳහන් තව කොටසක් මෙසේ සඳහන් කරමු. දුක්ඛ ආර්ය සමුදය සත්‍යයේ මෙතෙක් කෙටියෙන් සඳහන් කළ තෘෂ්ණාවේ ස්වභාවය කොටස් හතරකින් දක්වා තිබේ. එනම් ආයුහනට්ඨයථ, නිදානට්ඨයථ, සංයෝගට්ඨය, පළිබෝධට්ඨය යන්නයි.

ආයුහනට්ඨය

දුක් රැස්කරගැනීමයි. ඉහත සඳහන් කළ ආකාරයෙන් අජ්ජත්ථ බහිද්ධ වශයෙන් අනවබෝධයෙන් සක්කායදිට්ඨියෙන් යුක්තව පරිහරණය කිරීම නිසා දුක රැස්වෙනවා.

නිදානට්ඨය

ඉහත සඳහන් කරන ලද දුක් නැවත නැවත ගෙනදීමයි. අනවබෝධයෙන් කටයුතු කරන විට දුක් නැවත නැවත උප්පාදනයවීමට හේතුවක් වෙනවා.

සංයෝගට්ඨය

නම් දුකෙහි තදින් බැඳීමයි. අනවබෝධයෙන් දුකක් හැටියට, ආර්ය සත්‍යයක් හැටියට නොදැනීම නිසාත් ඒ දුකම සැපක් හැටියට දැක, පහනට ළංවන පළගැටියා සේ ළංකර ගැනීම නිසා තව තවත් දුකෙහි තදින් ම බැඳෙනවා. රූපයත්, ශබ්දයත් ආදී වශයෙන් එහි ඇති යථා ස්වභාවය නොදැන, එනම් එහි අනිත්‍ය ආදී ලක්ෂණ අවබෝධනොකර ගෙන එය මගේය, මම වෙමි, මගේ වසඟයේ පවත්වනවා යන අදහසින් නැවත නැවතත් ඒ වෙනස්වන වස්තූන් කෙරෙහි බැඳීමයි.

පළිබෝධට්ඨය

දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමේ ස්වභාවයයි. මොනතරම් දැනුමක් තිබුණත් ඒ වස්තූන් හි පවත්නා අනිත්‍ය ආදී ලක්ෂණ ස්වභාවය අවබෝධ කර ගන්නේ නැතිව නැවත නැවතත් දුක ඇති කරන්නා වූ ස්වභාවයට ම ළංවෙමින් දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමක් වනවා.

මෙසේ කෙටියෙන් සඳහන් කරන ලද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවසාන ලෙසින් තේරුම්ගත යුත්තේ, මේ ස්කන්ධ පංචකය මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි තණ්හා මද මාන දෘෂ්ඨි වශයෙන් ගැනීම නිසා දුක හටගැනීමට හෙවත් දුක් උත්පාදනයවීමට හේතුවන බව ය. ඒ නිසා සමුදය ආර්ය නිසි ලෙස හඳුනාගැනීමට පළමුව ඔබ දුක්ඛ ආර්ය සත්‍යයේ සඳහන් දුක පිළිබඳව ආර්ය සත්‍යයක් හැටියට තේරුම්ගත යුතු වෙනවා. එය තේරුම් ගන්නා විට එසේ නම් මේ දුක් හටගැනීමට හේතුව හෙවත් සමුදය සොයන්නට උත්සාහ කරනවා. අන්න ඒ සොයන ශ්‍රාවකයා දැකිය හැකි ආර්ය සත්‍යයේ ස්වභාවයයි මෙහි දී කෙටියෙන් තේරුම් ගනු ලැබේ. මේ හටගැනීම තේරුම් කර ගන්නා වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වන්නට කැමැති පුද්ගලයා විසින් මීළඟට සොයනු ලබන්නේ මේ දුක නැතිකිරීම පිළිබඳවයි. එය නිරෝධය නම් බවට පත්වෙනවා.