Print this Article


දස බල ඥාන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 38

දස බල ඥාන

කම්ම විපාක ඥානය

එය විශේෂ අපට නෙමෙයි. අතීතයේ පහළ වූ බුදුරජාණන් වහන්සේටයි. උන් වහන්සේලා අතීතයේ කර්ම රැස්කළා. නමුත් එහි විපාක සම්පූර්ණයෙන් වින්දෙ නෑ. අහෝසි වෙලා ගියා. අපේ බුදුරජාණන් වහන්සේ බලන්න. උන් වහන්සේගේ ප්‍රතිසන්ධි ශක්තියට පුළුවන්කම ලැබෙනවා, ප්‍රතිසන්ධි සිතේ බලයට අවුරුදු අසංඛ්‍යෙය ජීවත් කරන්න. ඒ තරම් ප්‍රතිසන්ධි සිත බලවත්. නමුත් උන්වහන්සේ ජීවත් වුණේ අවුරුදු අසූවයි නේ. දැන් හිතල බලන්න. අවුරුදු අසංඛෙය්‍ය ජීවත් වෙන්නේ නෑ බුදු කෙනෙක් සාමාන්‍යයෙන් උපරිම ලක්ෂයයි. එතකොට ලක්ෂයක් ජීවත්වෙන කාලයේ අපේ බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් හිටියා නම්, මොන තරම් සැප විඳිනවාද.නමුත් උන්වහන්සේගේ ජීවිතේ කෙටි වුණා අවුරුදු අසූවට එහෙනම් අර අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන කාලයේ සියලු සැප අවුරුදු අසූවේ දී ලැබුණේ නෑනේ. අහෝසි වෙලා ගියා නේ. අන්න ඒකයි කියන්නේ අතීත කර්මය රැස් කළා.

සෑම ප්‍රතිසන්ධි සිතක දී ම බෝසතාණන් වහන්සේ කෙනෙකුට අසංඛ්‍යෙයක් ආයුෂ තිබෙනවා. නමුත් ඒක ඍතු භේදයෙන් වෙනස් වෙනවා. අතීතයේ කර්ම රැස් කළා. වර්තමානයේ විපාක ලැබෙනවා. මේ දැන් අපට විපාක දෙන්නෙ. අතීතයේ කර්ම රැස් කළා ඒ වායේ විපාක අපට තවම නෑ. ඒවා මතු අනාගතයේ ලැබෙයි. අතීතයේ කර්ම රැස් කළා. ඒවායේ විපාක මතු අනාගතයේ දි නොලැබෙන්න පුළුවන්. මොකද මේ ජීවිතයේ දී අපි නිවන් දැක්කා නම්, රහත් වුණා නම් මොකද වෙන්නේ. කර්මය ඉවරයි. උප්පත්තියක් නෑ. අපි කර්මය රැස් කරනවා. ඒකේ විපාක දිට්ඨ ධම්ම වේදනීය ලෙස හම්බ වෙනවා. අපි දැන් වර්තමානයේ කර්මය රැස් කරනවා. ඒකේ විපාක දැන් ලැබෙන්නේ නෑ මතුවට ලැබෙනවා. වර්තමානයේ කර්ම රැස් කරනවා. ඒ වායේ විපාක මතු අනාගතයේ නොලැබී යන්න පුළුවන්. මොක ද මේ ජීවිතේ අපි නිවන් දැක්කොත් ඔක්කොම නොලැබෙනවා. මේ ජීවිතයේ නිවන් දැක්කෙ නැත්නම් මොකද වෙන්නේ? මතු අනාගතයේ අපි කර්ම රැස් කරනවා. ඒකේ විපාකත් මතුවට අපිට ලැබෙනවා. අනාගතයේ කර්මය රැස් කරනවා ඒ වායේ විපාක අනාගතයේ නොලැබෙන්නත් පුළුවන්. ඉතිං මේ කර්මය බෙද බෙදා විස්තර කරන්න පුළුවන් විශේෂිත ඥානයක් තියෙනවා. කාටද? ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට.

සබ්බත්ථ ගාමිණී පටිපදා ඥානය

සබ්බත්ථ ගාමිණී පටිපදා ඥානය කියලා කියන්නේ සියලු තැන්වලට යා යුතු මාර්ගය උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ, නිවනට මග දන්නවා. සුගතියට මග දන්නවා. අපායට වන මඟ දන්නවා. කෙනෙක් තිරිසන් අපායට ගියානම් ඒකට හේතුව දන්නවා,පේ‍්‍රත අපායට ගියා නම් ඒකට හේතුව දන්නවා, මේ හැම දෙයක්ම බුදුපියාණන් වහන්සේ දන්නවා. උදාහරණයක් මතක් වෙනවා. ගෝරක්ඛත්තිය කියන පිරිවැජියා ගියානේ කාලකංචි කියන අසුර අපායට. ඒක බුදුරජාණන් වහන්සේ කල් මත්තෙන් දැනගත්තනෙ. ගෝරක්ඛත්ති පිරිවැජියා හරියට ඇඳුම් අදින්නේ නෑ. සුනඛයෙක් කන විදියට තමයි බත් එහෙම කන්නේ . අමුතු ප්‍රතිපත්තියක් තියෙන්නේ. මේක දකිනවා ලිච්ඡවීන් දැකලා පැහැදෙනවා. “ අපේ ශාසනයට වඩා වෙනස් නේ . ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ, සුනක්ඛත්ත, වැරදි මිත්‍යාවන්ට ඇයි ඔබ පැහැදෙන්නේ කියල ඇසුවා. ඒ වේලාවේ සුනක්ඛත්ත කියනවා ඒක හොඳයි කියලා. ඒ වේලාවේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සුනක්ඛත්ත මේ කියන කතාව බොරු ද, ඇත්තද කියලා බලන්න තව දින හතකින් ඔය කියන ගෝරක්ඛත්තිය මැරිලා කාලකන්ජික කියන අසුර අපායට යනවා . ඊට කලින් මෘත ශරීරය වේරම්භක කියන සොහොන් කොතට ගිහින් දාන්න කියා කියනවා. ඒ වේලාවේ දී සුනක්ඛත්තගේ කල්පනාව බුදුරජාණන් වහන්සේගේ වචනය වෙනස් කරන්න ඕනේ කොහොම හරි කියලා. මොන තරම් අසත්පුරුෂ ද බලන්න. තථාගතයන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නෑ. මේ සුනක්ඛත්ත ගිහිල්ලා ගෝරක්ඛත්තියට කියනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ වචනය වෙනස් කරන්නට ඕනේ. ඔය කන එක අඩු කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අවසානයේ අජීර්ණයක් හැදිලයි මියයන්නේ කියා කියනවා. ඊට පස්සේ මේ ඇත්තා දවස් හතක් කන්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ වචනය වෙනස් කරන්න ඕන නිසා. දවස් හතක් ආහාර නොගෙන ඉන්නකොට මිනිස්සු බලනවා ගෝරක්ඛත්තිය ආවේ නෑ හිඟමනේ. මිනිස්සු ඌරු මස් එහෙම ලෑස්ති කරගෙන ගියා ගොරක්ඛත්තිය හොයාගෙන. ගිහිල්ලා ඉන්නකොට ගොරක්ඛත්තිය හාමතේ ඉන්නවා. ඇයි දින හතක් ආහාර ගන්නේ නෑනේ. කමක් නෑ මියයන්න හරි කමක් නෑ කන්න කියලා හිතනවා. හොඳට ආහාර ගත්තා. දින හතෙන් ආහාර නැතුව ඉන්න නිසා දිරව ගන්න බැරි වුණා. අන්න අජීර්ණ වුණා. මරණයට පත් වුණා. ඒ වාගේම මිනිසුන් මළකඳ සොහොනට ගිහින් දැම්මා. කාලකංජි කියන අසුර අපායේ ඉපදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුනක්ඛත්තට මෘත ශරීරයට කතා කරලා අහන්න කියනවා. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා අසුරේන්ද්‍රයාව මෘත ශරීරයට දමවනවා . මෘත ශරීරය කතා කරලා කියනවා මෙහෙම ගියා කියලා. බලන්න එහෙනම් තථාගතයන් වහන්සේ දන්නවා අහවල් පුද්ගලයා මරණයෙන් මත්තේ යන්නේ කොහේද කියලා. මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දන්නවා. දේවදත්ත භික්ෂුව මරණයෙන් මත්තෙ යන්නෙ අවීචි මහ නරකයට. ඔහුගේ අනුගාමික පිරිස යන්නෙ අවීචි මහා නරකයට. ඒ වාගේම අජාසත්ත රජ්ජුරුවෝ බිම්බිසාර රජ්ජුරුවෝ යන්නේ කොහේටද,? මේ හැම කෙනෙක්ම බුදුපියාණන් වහන්සේ දන්නවා. ඒකයි සබ්බත්ථ ගාමිණී පටිපදා කියා දස බල ඥානයෙන් සමන්වාගතයි කියා කියන්නෙ.

අනේක ධාතු නානා ධාතු ඥානය

අනේක ධාතු නානා ධාතු ඥානය කියා කියන්නේ පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා ධාතු ස්වභාවය ගැන. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු, නාම රූප ධාතුන් ගැන ගැඹුරු තීක්ෂණ අවබෝධයක් බුදුපියාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා කියනවා අනේක ධාතු නානා ධාතු ඥානයෙන් සමන්වාගතයි කියා.

නානාධිමුත්තිකත ඥානය

හීනාධි මුත්තිකත පණිතාධිමුත්තිකත කියා කොටස් දෙකකට බුදුපියාණන් වහන්සේ මේ ලෝකය බෙදනවා. සත්වයෝ, පහත්, නීච, ලාමක, අදහස් තියන අයට කියන්නෙ හීනාධිමුත්තිකත කියා. උසස් ප්‍රණීත සම්භාවණීය ගරු කටයුතු අදහස් තියන අයට කියන්නේ පණීතාධිමුත්තිකත කියා. දැන් ඒ ඒ ගති ලක්ෂණවලට අනුව තමයි කවුරුත් යහළු මිත්‍රයෝ වෙන්නේ, එකතු වෙන්නෙ. සමහර අය අතර ගජ මිතුරුකම් තියෙන්නේ හොඳ, මිතුරුකම් තියෙන්නේ එක අදහස් තියෙන අය ඒ ඒ අදහස් තියෙන අය එකට එකතු වෙනවා. උදාහරණයක් අසූචි මල මුත්‍ර වගේ දේවල් එකට එකතු වෙනවා. උදාහරණයක් අසූචි මළ මුත්‍ර වගේ දේ් එකට එකතු වෙනකොට මොකද වෙන්නේ, දුගඳ වහනය වෙනවා. ඒ වාගේ තමයි පහත් අදහස් තියන අය එකතු වෙන්නෙ එකතු වෙන්න එතන වෙන්නේ දුෂ්චරිතමයි. ගිතෙල් ,මී පැණි ,හකුරු වාගේ එකතු වෙන්න, එකතු වෙන්න රසවත් වෙනවා. මිහිරි වෙනවා. ඒ වාගේ තමයි උසස් පුද්ගලයෝ එකතු වෙන්න එකතු වෙන්න බොහෝම ලස්සනයි සුන්දරයි. දවසක් බුදුපියාණන් වහන්සේ ගිජ්ඣකූට පාමුල සක්මන් කරනවා සංඝ පිරිස දැකලා ළඟ ඉන්න භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. බලන්න සැරියුත් ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. උන්වහන්සේ සමඟ සක්මන් කරන 500 දෙනාම ප්‍රඥාවන්තයි.මුගලන් මහ රහතන් වහන්සේ මහා ඍද්ධි ඇති කෙනෙක්. උන්වහන්සේ සමඟ සක්මන් කරන 500 ක් දෙනාම ඒ හා සමාන ගති ලක්ෂණ. ඔය අතර දේවදත්ත භික්ෂුව කියන්නෙ පව් අදහස් තියෙන කෙනෙක්. ඒ ඇත්තන් එක්ක ඉන්න 500 දෙනාම පාප අදහස් තියෙන අය. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ඒ අදහස්.

ත්‍රිපිටකධාරි ස්වාමීන් වහන්සේ නමක් බොහෝ සංඝ පිරිසක් වඩමවාගෙන නාගදීප වන්දනාවට යන අතරතුර දායක පවුලක ගමකින් ආරාධනා කළා දානයට. දානයට වඩිනකොට ඒ නගරයේ භික්ෂූන් වහන්සේලාත් ඒ දානයට වැඩලා හිටියා. මේ දෙපිරිසේම හිටියා මහා අල්ලාප සල්ලාප කියන භික්ෂූන් දෙනමක්. මේ දෙන්න දැක්කෙත් එක දවසේ. ඒ දෙන්නා එකතුවෙලා මහා කාල ගෝට්ටියක් . ඒ වාගේම මහා ශබ්දගොඩක් නංවමින් කෑ ගහගහ හිටියා. ත්‍රිපිටකධාරි ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ඒක චරිත තියන ඇත්තෝ කොහේ ගියත් එකතු වෙනවා කියලයි. ඒක නිසා ඔය අධිමුක්තිය කියන දස බල ඥානය බුදුපියාණන් වහන්සේට තියෙනවා.