Print this Article


කුරුණෑගල රිදීගම රිදී විහාරය

කුරුණෑගල රිදීගම රිදී විහාරය

කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය මහ රහතන් වහන්සේලා වැඩ සිටි වන්දනීය පූජනීය පුණ්‍ය භූමියකි. උන්වහන්සේලා වැඩ සිටි ලෙන්වල බ්‍රාහ්මී අකුරෙන් ලියන ලද ලිපි රැසක් රිදී විහාර කන්දේ පිහිටි ලෙන්වලින් හමුවේ. රිදී විහාරය අනුරාධපුර යුගයේ සිට ලාංකේය ඉතිහාසයට එක්වන පුදබිමකි. පොළොන්නරුව යුගයේදී ද ප්‍රකටව තිබූ පුණ්‍ය භූමියකි.

කුරුණෑගල කැප්පිටිගල මාර්ගයේ සැතපුම් පහළොවක පමණ දුර ගෙවා රිදීගමට ළගා විය හැකි ය. එතැන් සිට රිදී විහාර පුදබිමට යා හැකි මාර්ග දෙකක් වේ. ඒ පෞරාණික පිය ගැට පෙළ මග ඔස්සේ ය. නැතහොත් නව මාර්ගය ඔස්සේ ය.

රිදී විහාර භූමියෙහි පිහිටි ප්‍රධාන විහාරය වන මහා විහාරය හෙවත් පාත විහාරය උස ශෛලමය ලෙනක්තුළ පිහිටා ඇත. එම විහාරය තුළ සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර තිබේ. ඒ අතර රනින් නිමවා වීදුරු අල්මාරියක් තුළ තැම්පත් කර තිබෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුගැමුණු රජු දවස එතුමා දඹදිවෙන් කරවා අනුරපුරයට වැඩමවා එහි සිට පෙරහරකින් ද, අනතුරුව ඉන්ද්‍රගුප්ත රහතන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ද එම ස්ථානයට වැඩම කරවා ඇති බව කියැවේ.

දහ අට රියන් දිග සැතපෙන ඉරියව්වෙන් නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වේ. එම ප්‍රතිමා වහන්සේ පාමුල තවත් ප්‍රතිමා වහන්සේ කීප නමක් නිර්මාණය කර තිබෙන අතර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ගේ සහ මෛත්‍රිය බෝධි සත්වයන් වහන්සේගේ ප්‍රතිමා ද නිර්මාණය කර තිබේ. දේව ප්‍රතිමා වහන්සේ ද ඒ අතර වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි ප්‍රතිමා වහන්සේ පස්නමක් පමණ එක පෙළට නිර්මාණය කර තිබේ. මෙහි ශෛලමය වහළයේ මාර යුද්ධය, මල්කම් ආදිය සිතුවම් කර ඇත.

සැතපෙන පිළිම වහන්සේ අබියස මල් ආසනයෙහි උඩ පිඟන් ගඩොල්කැට ඔබ්බවා තිබෙන අතර ඉන් සමහර ගඩොල්වල විවිධ චිත්‍ර ද වේ. එය ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් ලද තෑග්ගක් බව කියැවේ.

ලක්දිව වෙහෙර විහාරවල ඇති උළුවහු අතර ඇත් දතින් අලංකාර කළ උළුවහු හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ අතර රිදී විහාරයෙහි ඇත් දත් කැටයමින් යුත් උළුවස්සට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

මහා විහාරයට උඩු අතින් ඇති උඩ විහාරයට පිවිසීමට ඇත්තේ පියගැට පෙළකි. එහි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන් ම බිතු සිතුවම් ද වේ. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ දොළොස් රියන් හිඳි පිළිම වහන්සේ ය. එම පිළිම වහන්සේට පිටුපසින් මකර තොරණක් නිර්මාණය කර ඇත. කලා විචාරකයන්ගේ අදහස නම් මෙය මෙරට ප්‍රකටම මකර තොරණ යන්න ය. විහාරය තුළ ඇති බිතු සිතුවම් අතර සත් සතිය, සූවිසි විවරණ, සොළොස්මස්ථාන ආදි සිතුවම් රැසක් වේ.

රිදී විහාරයේ සිතුවම් නිර්මාණයෙහි ගෞරවය සිත්තර පරම්පරා කීපයකට හිමිවන අතර මුල්ම සිතුවම් ඇඳීමේ ගෞරවය දෙවරගම්පළ සිල්වත් තැන නමැති සිතුවම් ශිල්පියාටත්, අනතුරුව එම කාරිය පැවරී තිබූ නිලගම පරම්පරාවේ සිතුවම් ශිල්පීන්ටත් හිමි වේ.

සෑ රදුන් වහන්සේලා දෙනමක් රිදී විහාරයෙහි වැඩ හිඳින අතර විහාරයට පිටුපසින් එක් දාගැබක් ද, සැරසුම්ගල කඳු මුදුනෙහි අනෙක් දාගැබ ද පිහිටා ඇත. දොළු කන්ද, රිටිගල කන්ද, ඇටිපොළකන්ද වැනි කඳු කීපයකින් රිදී විහාර කන්ද වට වී ඇත.

වට වන්දනාවේ යෙදෙන හෙළ ගැමියා රිදී විහාරය වන්දනා කිරීමට නිරතුරුව පෙළඹේ. කුරුණෑගල දිසාවෙහි රිදී විහාරය පිහිටා තිබෙන අතර රිදී විහාරයට මෙන්ම රිදීගමටත් රිදී සම්බන්ධ වනුයේ දුටුගැමුණු මහ රජු දවස සිට යැයි රසවත් කතාන්දරයක් ද වේ. රිදී විහාරය භූමියෙහි පිහිටි ගොඩනැගිලි අතරින් අනෙක් සියල්ලට වඩා වෙනස් ගොඩනැගිල්ලක් වේ. එය හැඳින්වෙන්නේ වරකා වැළඳූ විහාරය නමිනි.

රිදී විහාරය වඩා වර්ධනයට යොමුව ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රිදී විහාරය ප්‍රතිසංස්කරණය කරවූ ආකාරය පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංශයෙහි දැක්වේ. රිදී විහාරයෙහි වැඩ වසන මහ සඟ පරපුර රාජසිංහ රජු දවස සිට පැවත එයි. එහි මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නේ තිබ්බටුවාවේ මහ සඟ පරපුර විසිනි. එම රිදී විහාරයේ නායක පදවිය වත්මන්හි හොබවනු ලබන්නේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි.

තිබ්බටුවාවේ මහ සඟ පරපුරෙහි ආරම්භය වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර මාහිමියන් දවස සිදු වූවකි. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වූ තිබ්බටුවාවේ ශි‍්‍ර සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ රිදී විහාරයෙහි පළමුනායක පදවිය මෙන්ම මල්වතු මහා විහාර පාර්ශ්වයෙහි පළමුවන මහානායක පදවිය ද හෙබවූහ. ශාසනික හා ශාස්ත්‍රීය වශයෙන් ද උන්වහන්සේගෙන් මහඟු මෙහෙවරක් සිදුවුණි. රිදී විහාරයෙහි නායක පදවිය දැරූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහා නායක මා හිමිපාණන් වහන්සේ, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේ ද මල්වතු මහා විහාර පාර්ශ්වයෙහි මහානායක පදවිය දැරූ අතිසම්භාවනීය සංඝපීතෘන් වහන්සේලා වන අතර වත්මන් රිදී විහාර නායක පදවිය හොබවන තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ වත්මන් මහානායක මාහිමිපාණන් වහන්සේ වෙති.

දෙස් විදෙස්හි සැදැහැවතුන් සඳහා සියලු පහසුකම් සහිතව නොමිලයේ විශ්‍රාම ශාලා පහසුකම් ද රිදී විහාරය මගින් සපයා ඇත.