Print this Article


අධිෂ්ඨාන පූජාවක් 11 වන දා

අධිෂ්ඨාන පූජාවක් 11 වන දා

ලක්ෂ ගණනින් රහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා. යන ප්‍රාර්ථනාව මත පැවැත්වෙන අසදෘෂ්‍ය මහා අධිෂ්ඨාන බල පූජෝත්සවය අනුරාධපුර ඓතිහාසික රත්නමාලි මහ සෑ රදුන් අභියසදී මෙම මස 11 වන දින පැවැත්වේ. ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ගේ ආශිර්වාදයෙන් කලගෙඩිහේන තිරිවානේගම නිසල විල පදනම සංවිධානය කරන එම මහා පුණ්‍යෙීත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගිවීමට නියමිත ය.

ලක්ෂයේ පහන් පූජාව, දස ලක්ෂයක විදුලි බුබුළු, ලක්ෂයක නෙළුම්මල්, ලක්ෂයක දහස්පෙතියා මල්, රුවන්මැලි මහ සෑ රදුන් වටා පළඳවන මහා අධිෂ්ඨාන බල වටතිර පූජාව, චතුමධුර, ස්වර්ණ සංඛ, ලක්ෂයක හඳුන්කූරු, ලක්ෂයක බොදු කොඩි, රන් අට පිරිකර, ඖෂධ වර්ග සියයකින් සමන්විත පූජාව, පලතුරු, කැවිලි, ලක්ෂයක පිච්චමල්, කිරිපැණි, විළඳ මී පැණි, දැහැත් ගුවනින් පුෂ්පෝපහාර යන පූජාවන් සහ මුතුකුඩ, සේසත්, උඩුවියන් පාවාඩ හේවිසි ඇතුළු පූජාවන්ගෙන් එම මහා පින්කම සමන්විත වනු ඇත. එම පූජාවන් රැගත් පෙරහර පහක් අලි ඇතුන් සහිතව එදින පැවැත්වේ. එදින පස්වරු 4.30 ට සාරානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ සිට ජංගම බුදු මැදුර මඟින් අටවිසි බුද්ධ ප්‍රතිමාවහන්සේලා රුවන්වැලි මහා සෑ දොරටුවේ සිට විශේෂ පාවාඩමතින් උඩුවියන් යටින් වැඩමවා මහ සෑ රදුන් වටා තනවනු ලබන විශේෂ මණ්ඩප තුළ තැන්පත් කරනු ඇත.

දෙවන පෙරහර ලෙස රුවන්වැලි මහ සෑ රදුන් හා පරිවාර චෛත්‍ය හතර වටා පැළඳවීමට අත්යන්ත්‍ර භාවිත කර පඬුපොවා සකසන ලද චීවර පැළඳවීම පස්වරු 5.30 ට සිදු කෙරේ.

තුන්වන පෙරහර ලෙස පිච්චමල් සැරසු අනුරූ සියය (100) ක් අධිෂ්ඨාන පූජාව හා චතුමධුර පූජාවන් රැගත් පෙරහර පස්වරු 6.00 ට වැඩම කරවීම, පිච්චමලින් සැකසූ චෛත්‍යයේ අනුරූ සියය මහ සෑ රදුන්ගේ පේසා වළලුමත තැන්පත් කරනු ඇත. පසුව පහන් සහ හඳුන්කූරු පූජාවන් අක්කර 08 ප්‍රදේශයේ ඉදිකළ කූඩාරම් 28 ක් තුළ වත් පිළිවෙත්වලට අනුව ආරම්භ කරනු ලබයි.

හතරවන පෙරහර ලෙස නෙළුම් මල් දෝලා පනස් හයක් උඩුවියන් යටින් වැඩම කරවීම රාත්‍රී 9.00 සිදු වේ. පස්වන පෙරහර පවත්වනුයේ පසුදින (12) අලුයම 5.00 ට ය. ධාතු කරඬුව වැඩම කරවීමේදී අලියකු මත පූජාව සඳහන් පතාකයක් ගෙන යන අතර අලුයම පැවැත්වෙන බව සඳහන් කරයි.