Print this Article


සෙංකඩගලපුර සිරි දළදා වරුණ:  අලුත් අවුරුදු මංගල්ලය

සෙංකඩගලපුර සිරි දළදා වරුණ: 

අලුත් අවුරුදු මංගල්ලය

භාග්‍යවත් මාසයක් ලෙස හඳුන්වන බක් මාසය ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින් ම වැදගත් මාසයකි. තව ද අටුකොටු පිරී සශ්‍රීකත්වය මෙන් ම සෞභාග්‍ය වර්ධනය වන මාසයකි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහි ලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින් ම වැදගත් කොට සලකනු ලබන මාසය බක් මාසයයි.

මුළු රටක් ම එකම සුබ මොහොතකින් වැඩ අරඹන, ආහාර අනුභව කරන, ගනුදෙනු කරන, නැදෑ හිතමිතුරුකම් සිහිකරවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ ද බක් මාසයේ ය.

ඈත අතීතයේ සිට මානව සමාජය තුළ පවතින සිරිත් විරිත් විශ්වාස හෙළා නොදුටු බුදු දහම තුළ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින් ද ඉස්මතු කොට දැක්වේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන රටාවක් හා බැඳී ඈත අතීතයේට සිට වර්ධනය වෙමින්, ආරක්ෂා වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහොමයක් ශ්‍රී දළදා මාලිගාව තුළ දන්ත ධාතූන් වහන්සේ කේන්ද්‍රකොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙසින් රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් අඛණ්ඩව පවත්වා ගෙනැවිත් ඇත.

මේ ආකාරයෙන් සිංහල අලුත් අවුරුදු දිනය මුල්කොට පැවැත්වෙන 'අලුත් අවුරුදු මංගල්ලය' ශ්‍රී දළදා මාලිගාව මුල්කොට පැවැත්වෙන වාර්ෂික සතර මංගල්ලයන් ගෙන් එක් මංගල සම්මත මංගල්ලයකි.

අලුත් අවුරුදු උත්සවයේ මූලික කාර්යය වන්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල විසින් ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට සියලු විහාර දේවාලයන්හි ඉටු කළ යුතු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ සුබ නැකැත් සම්පාදනය කර ප්‍රකාශ කිරීමය. එම නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු උදාව, කණ්ඨස්නානය, කිරි ඉතිරවීම, මුළුතැන් පිළියෙල කිරීම හා පූජා කිරීම, නානුමුර මංගල්ලය යන අවස්ථාවන් සඳහා නැකැත් සම්පාදනය කරනු ලැබේ.

අවුරුදු දිනයට පෙර විදානේවරු ලවා දළදා මාලිගාව පවිත්‍ර කරවා සැරසීම සිදු කරනු ඇත. කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීම සඳහා අලුත් වළං ගෙනැවිත් දිය යුතුවේ.

අලුත් අවුරුදු උදාවට පෙර ඉටු කරනු ලබන වැදගත් චාරිත්‍රයකි පෙන්නුම් ගමන් චාරිත්‍රය. නියමිත දිනයක දී මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා දළදා මාලිගාවේ සියලු නිලකරුවන් එක්වනු ඇත.

මේ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දැක්වීමට කාරිය කරවන කෝරාළ ඇතුළු සෙසු නිල පංගුකරුවන් ද, අවශේෂ නිලධාරීන් ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යාමේ සිරිත පෙනුම් ගමන් යාම වශයෙන් සැලකේ.

තම නිලයට අදාළ නිල ඇඳුමින් සැරසී නිලකරුවන් අදාළ තෑගි බෝග කද තැන්පත් කොට පිළිවෙලින් ගොස් බුලත් හුරුළු දී වඳිති. එවිට දියවඩන නිලමේතුමා අදාළ රාජකාරීකරුවන්ට තෑගි බෝග සංග්‍රහයක් ද පවත්වයි. මෙම අවස්ථාවේ දී පෙර වැරැදි ක්ෂමා කර ගැනීමත් ලබන්නා වූ නව වසරට ආශිර්වාදය ලබා ගැනීමත් සිදුවේ.

අලුත් අවුරුදු නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන්, මේෂ රාශියට පැමිණීමෙහි සුබ පල වර්ධනය සඳහා නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදුකෙරේ.

කණ්ඨස්නානය බදාදා දිනයන්හි දී සිදුකරන සප්තාභික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේ දී අනුගමනය කරනු ලබන චාරිත්‍රයක ට සමාන ලෙසින් සිදු කරනු ලැබේ.

කණ්ඨස්නානය කිරීම යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ උඩකොටස පමණක් පවිත්‍ර ජලයෙන් ස්නානය කරවීම සංකේතවත් කිරිම සිදුවේ. කණ්ඨස්නානයේ දී වට්ටෝරුරාළ විසින් අල්ලාගෙන සිටිනු ලබන කැඩපතෙහි ඡායාව මත තේවාභාර නා හිමිපාණන් වහන්සේ සුවඳැති නානු සමඟ තෙල් භාජනයට රන්මල හෝ මැදඟිල්ල බහා තෙවරක් තවරා පිරිසුදු ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කිරීම සිදුවේ.

දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව, අබියස දොරටුව හා පල්ලේමාලේ දොරටුව යන තුන් ස්ථානයන්හි දී තේවා භාර හිමිවරුන් ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවන් ද සහභාගිත්වයෙන් ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීමේ චාරිත්‍රය රටට, ජනතාවට සෞභාග්‍ය, සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිදුවේ.

මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්ලය සිදු කරති.

අලුත් අවුරුදු දිනට පසු එළඹෙන ආසන්න ම බදාදා දිනයේ දී නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදු හඳුන්, රත්හඳුන්, කුංකුම, ගෝරෝචන, කුංකුමප්පු විෂ්ණු ක්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස්නාරං මුල්, බෙලිමුල්, නෙළුම් දඬු, වෙනිවැල්ගැට, ඊතණ, ඉඹුල්මැලියම්, දිවුලප් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම ලෙස ගෙන සකසන නානු, කුඩා මුට්ටිවල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් ව ඇති විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදාදීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානු ගෙන ගොස් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාලයන්හි දී නානුමුර මංගල්ලයන් සිදුවේ.

නව වසර සෞභාග්‍යමත්, නීරෝගිමත් එකක් බවට පත්කර ගැනීම සඳහාත් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් පුණ්‍ය කාලය තුළ මෙන් ම අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් මහ පිරිසකගෙන් ශ්‍රී දළදා මාලිගාව පිරී ඉතිරී යයි.