Print this Article


පහන් සිතක කවි

අසිරිමත් පොහොය

ගඟ අහසින් තරණය කර දැකුමට අඹතලගිරි පිමි
සඟ පිරිසක් සමඟ වැඩිය පොසොන් දිනේ අනුබුදු හිමි
මඟ පවසා තිස්ස රජුට අඹ පැනයෙන් කරමින් නිමි
මග ඇසුරිණි පොහෝ දිනේ මහ රජුගේ දඩ කෙළි බැමි

බුදුහිමි මෙහි වැඩිය දිනේ දස අත බුදුරැස් දිලුණා
බොදු හෙළ රටකට මෙහෙවර ඇති වූ කරුණය කුළුණා
පිදූ මෙත් ගුණ මිහිඳු සමිඳු දෙසූ දහමට සැම ඇළුණා
සිදුවූ අසිරියට පොහෝ දින බොදු කොඩි සැළුණා

කැස්බෑව
මුණසිංහ නිශ්ශංක


නිවන් දොර

තුන් දොරින් නික්මෙන
පස් පව් කෙලෙස් දැන ගෙන
යහපත් ගුණ වඩවන
දැහැමි පිළිවෙත් පිළිපදිනු මැන

පිරිසුදුව තුන්දොර
කෙලෙස් සිතිවිලි මඟ හැර
කල් ගෙවන පිරිවර
ළඟට පිවිසී ඇත නිවන් දොර


නිවමු සිත

අනිත දුක අනත යන අකුරු අට
ජනිත කළ කිරුම මත්තෙහි දුටු දනට
විනිත වූ සිතක පවතින බලය පිට
දිනති දනෝ පිළිවෙත් මඟ ගමන් කොට

පහනක් එළිය දෙයිදෝ තෙල් තිර නැතිව
දහමක් බැබළේ ද පිළිවෙත් මඟ නැතිව
එහෙමත් තිබේනම් මැදි මාවත දෙසුව
කොහොමත් යා යුතුය දෙසූ මාවත අනුව


පිනි බිඳකි මේ ජීවිතේ

සෙම්, සොටු ද , ඩා බිඳු ද
නව දොරින් විටින් විට
ඇද හැලී
දෙතිස් කුණපය රැඳුණ
නිසරු කය සතපවා
වෛර මද මානයෙන්
කපටි කෛරාටික කමින්
මිනිස්කම පසෙකලා
මුදල් මත දිවි ගෙවන
හිමිදිරියෙ තණ අගෙහි
දිදුලමින් පතිත වන
පිණි බිඳක් නොවෙද මේ
නිසරු කුණු කය නිබඳ
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ


දැහැමි සිතිවිලි

සුසිරිත් දම් පුරමි
දුසිරිත දුරින් දුර ලමි
පිවිතුරු සිතිනි දැමි
දිවිය යහ මඟෙහි යොමු කර ලමි


ආශා නිරාශා

බුද්ධ මාතා පදවි ලද ඇය
බුදු පුතුට චීවරය පිදුවා
බුද්ධ මාතා පදවි ලබනට
මමද පාරමී දහම් පුරනවා
මගේ බුදු පුත් පුංචි හිමියනි
මසිත මාගෙන් අයැද සිටිනවා
මගේ දෑතින් මසා නිම කළ
සිවුර බුදු පුත ඔබට පුදනවා


ජීවිතය

සසර සැරිසරා මවුකුස වෙත පැමිණ
නියමිත දිනෙන් පසු බිළිඳෙකු වී සිටින
කාලය ඉක්ම වූ පසු ළදරුවකු වන
යෞවන බවින් පසු වැඩිහිටි වියට යන

මහලු බවින් මරණය වෙත පිය නඟන
මරුවා ආ විටදි එහි යන බව හැඳින
පින්කම් කරයි රැස් කරවා සියලු දෙන
එනමුත් නොමැත පැහැදෙන්නේ කුසල් මන


හිමි සඳු ලබත්වා සියවස් ආයු බල

සසරේ පුරුදු ලෙස පැවිදිව කුඩා කල
සසරේ හිනි මඟෙහි පඬි රුවනක් ය දුල
තිදොරේ සංවරය ගැන සිත් උදා කළ
පැතිරේ හිමි සඳුගෙ නම දම් අමා විල

දහමට ඔබින මෙත් කරුණා වදන් පෙළ
සවනට මී බඳු ය අසනා දනන් තුළ
මිහිපිට වසන සැදැහැතියන් පුබුදු කළ
හිමි සඳු ලබත්වා සියවස් ආයු බල

දහමේ සංඛ නාදය ගුවනින් ඇසෙන
හැම හදවත්ම සනසයි මෙත් සිසිල දෙන
ඉහළම කුසල බලයයි දම් දෙසන පින
වඳින්නෙමි බැතින් විජිත නාහිමි මාරපන


මගෙ ගුරු සමිඳු වෙත

පොසොන් සඳ මෝරා
එනවිට ජුනි 25දා
අපවත් වී වදාළ
නාහිමි සඳ
පොසොන් මස අවසන් දින,
මාතර බෝ සමිඳු අබියස
බණට වැඩි මා නෙත දුටු
පුවත තුළ දැක්කේ
ආදාහන සිදු කරන නිමේෂයේ දී
කිසිවක් කර කියා ගත නොහැක
ඇඟ පත දෑත ද වෙව්ලයි
සිත කෙසේ වාවම් ද?
හැඬූ කඳුළු සමුදාය
තෙමී ගිය ධර්මාසනය
මත මම දැක්කේ
සඤ්ඤා, විඤ්ඤා, පඤ්ඤා
දිනෙක මම ඇතුළු
සිසු දරුවන්ට ඉගැන්වූ
සුපුන් සඳක් වූ යථාර්ථවාදී
දැක්ම මගේ ගුරු පියාණෙනි
අධ්‍යාපන දර්ශනපති
අරත්තන ඤාණිස්සර නා සමිඳු
ජීවිතය කෙටි ආයුෂ විඳ
ජීවිතයේ යථාර්ථය දේහයෙන් පෙන්වා
සමුගත්ත ගුරු පියාණන්ට,
නිවන් සුව පතමු


හිමි සඳ

බුදු බව පතන බවක්
ලොවට නොපවසා
මියැදෙමින් සිටි ප්‍රාණයකට
වකුගඩුවක් දන් දී
පාරමී දම් සපුරන
මහා පින්වතාණෙනි

ඉතා සරල බසකින්
උතුම් දහම් කරුණු
මධුර මනෝහර ලෙස
දේශනා කරමින්
සිත් පහන් කරවන
අපමණ පොත පතින්
නිර්මල බුදු දහම
මැනවින් පෙන්වා දෙන
ඤාණානන්ද හිමියනි
චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා

වික්‍රමසිංහ පුර
වි.ජ. මු. ජයතිලක බණ්ඩාර