Print this Article


තෙවළා බුදු වදන් අතරින්

තෙවළා බුදු වදන් අතරින්

තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දේශනා කරන ලද ධර්ම කොටස් පළමු සංගායනාවේදී ඇති කර ගත් එකඟතාව අනුව විධිමත් ක්‍රමවේදයකට අනුව සංරක්ෂණය හා සංස්කරණය කොට තිබේ. ඒ අනුව සමස්ත ධර්මය සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් පිටක තුනකින් සංගෘහිත ය.

සූත්‍ර හා අභිධර්ම පිටකයෙන් ධර්මයත්, විනයෙන් භික්ෂු - භික්ෂුණී දෙපිරිසෙහි සංවරය උදෙසා පනවන ලද ශික්ෂා පදත් අදහස් වේ. ලක්දිව දී පැවැත් වූ අළුලෙන සංගායනාවෙන් පසුව මුල් වරට ත්‍රිපිටකය හා අට්ඨකතා ග්‍රන්ථාරූඩ විය. එතැන් සිට වර්තමානය දක්වා ත්‍රිපිටකය එය ලියවී තිබෙන පාලි භාෂාවට අමතරව ලොව පිළිගත් වෙනත් භාෂාවලට ද පරිවර්තනය වෙමින් පවත්වාගෙන එනු ලැබේ. ථෙරවාද බුදුසමය ව්‍යාප්ත වූ රටවල ධර්මය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍රය පාලි ත්‍රිපිටකයයි. එය ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සතු මාහර්ඝතම වස්තුව වේ.

තෙවළා බුදුවදන් ඇතුළත් පිටක ග්‍රන්ථ මැනවින් හැදෑරීමෙන් තොරව ධර්මය පිළිබඳ අවබෝධයක් ලැබිය නොහැකි ය. අධ්‍යාත්මික ජීවිතය වඩාත් අර්ථවත් වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ය. ධර්මයෙන් තොරව ලැබෙන අධ්‍යාත්මික විමුක්තියක් බුදුසමයෙන් නොපිළිගැනේ. යම් යම් දෑ ලබා ගැනීම පිණිස ප්‍රාර්ථනා තබා ගැනීම වැදගත් වුවද ඒ දෑ සිහිනයක් නොවී අත්පත්කර ගැනීමට හැකි වන්නේ උත්සාහවත්ව කටයුතු කිරීමෙන්ය. නිවන සාක්ෂාත් කිරීම සෑම බෞද්ධයෙකුගේම ඒකායන පැතුම වේ. එහෙත් එය ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ලැබිය නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව සම්පූර්ණ කළ යුතු ය. නිවැරැදි ප්‍රතිපදාව කවරේද? යන අවබෝධය ලැබෙන්නේ ධර්මය හැදෑරීමෙන් ය. ධර්මය හැදෑරීමෙන් තොරව ප්‍රතිපදාව අර්ථවත් නොවේ. ධර්මය හැදෑරීම යනු ධර්මය ඇසීම, කියවීම හා සාකච්ඡා කිරීමයි.

වර්තමානයේ මෙම වැඩ පිළිවෙල විවිධ අයුරින් සිදු වේ. පාලි භාෂාවෙන් ලියවී තිබෙන සෑම සූත්‍රයක්ම කියවා තේරුම් ගැනීමට හැම කෙනෙකුටම කළ නොහැකි ය. පාලි භාෂාව දත් අයෙකුට මිස එහි මූලික අර්ථය එම භාෂාව නොදත් කෙනෙකුට පහසුවෙන් අත්පත් කර ගත නොහැකි ය. පාලි භාෂාව මැනවින් දත් ගිහි පැවිදි දෙපිරිසගේම වගකීම වියයුත්තේ තමන්ට වැටහෙන, අවබෝධ වන ධර්මය නොවලහා අන් අයට කියාදීම ය. පාලි භාෂාව මැනවින් දත් අය එම වගකීම මැනවින් ඉටු නොකළ විට ධර්මය පිළිබඳ වැරැදි අර්ථ කථන බිහි වේ. කාලයක් ගතවන විට එම වැරැදි අර්ථකථන සත්‍ය වූත්, නිවැරැදි වූත් එකකැයි සිතනු නො අනුමාන ය. මෙයින් ධර්මයේ මූලික හරය විනාශයට පත් වේ. පාලි භාෂාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති ඇතැම් පුද්ගලයන් ධර්මයේ ඇතැම් ඉගැන්වීම්වල මතු පිට අර්ථය පමණක් ගෙන තම සිතැඟි පරිද්දෙන් නිර්වචනය කිරීමට යාමෙන් වැරැදි සංකල්ප හා අදහස් සමාජ ගත වී තිබේ. මෙම පසු බිම යටතේ ආරාමික අධ්‍යාපනය හා එහි වගකීම් පිළිබඳ භික්ෂූන්ගේ කාර්යභාරය අතිශයින් වැදගත් වේ. ධර්මය ලියවී තිබෙන පාලි භාෂාවෙහි ප්‍රවීණතාව ඇතිකර ගැනීමත් ධර්මය ගැඹුරින් හැදෑරීමත් භික්ෂුවගේ වගකීම වේ. එය පසෙක ලා වෙනත් බාහිර දෑ ගැන අවධානය යොමු කිරීමෙන් වන්නේ විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන වැරැදි අර්ථ විවරණ හේතුවෙන් ධර්මයේ හරයට හානි වීමයි.

මෙය යුරෝපීය රටවලට වඩා ලංකාව වැනි රටක ඉතා පහසුවෙන් කළ හැකිය. යුරෝපීය අධ්‍යාපනයෙන් හික්මවනු ලැබූ පුද්ගලයන්ගේ මූලික ස්වභාවය නම් ගවේෂණය කිරීමෙන් හෝ විමර්ශනයෙන් තොරව යමක් නොපිළිගැනීම ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බුදුසමය දැන ගැනීම පිණිස පාලි භාෂාව මැනවින් හදාරති. ඉන් පසුව අන්‍යයන්ගේ සහායෙන් තොරව තමා විසින්ම ධර්මය ගැඹුරින් හදාරනු ලැබේ. මෙබඳු ශික්ෂණයක් ලාංකික බෞද්ධයන් අතර දක්නට ලැබෙන්නේ කලාතුරකින් ය.

ඔවුන්ගෙන් බහුතරයක් තම සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතියට අනුව කල්පනා කරනු විනා තෙවළා බුදු වදන ගැන ගැඹුරින් හැදෑරීමට උනන්දු නොවේ. මෙනිසා ධර්මය සම්බන්ධයෙන් ඔවුහු රැවටීමට ලක් වෙති. වැරැදි අර්ථ විවරණ පිළිගෙන මුලාවට පත් වෙති. එසේ ධර්මය විකෘති කරන්නන් පිළිබඳ සොයා බලා ඊට නිසි පිළියම් යෙදීම ගිහි පැවිදි කාගේත් වගකීම වේ. බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටකය හැදෑරීම අප සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ මහත් ඉවසීමකින් යුතුව ඉතා පරිස්සමින් කළ යුත්තකි. ඒ සඳහා මග පෙන්වන ගුරුවරයෙකුගේ සහාය අවශ්‍ය වේ. පැන නගින සෑම අපැහැදිලි තැනක්ම ඉවසීමෙන් යුක්තව කියවා, සොයා බලා නිරාකරණය කරගෙන ඉදිරියට යා යුතුයි. ඇතැම් විටෙක එක හා සමාන තැන් බහුලව හමු වීම නිසා මන්දෝත්සාහී බවක් ඇති විය හැකි ය.

බැලූ බැල්මට සමාන යැයි සිතෙන මුත් ඒ ඒ දේශනා කොටස් යෙදී ඇති සන්දර්භය හා ඒවා විවරණය කර ඇති ආකාරයේ සියුම් වෙනස්කම් දක්නට ලැබේ. භාෂාමය ගැටලු නිරාකරණය කරගැනීමේදී ශබ්ද කෝෂයක සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. මේ සඳහා සම්පාදිත සිංහල හා ඉංග්‍රිසි ශබ්දකෝෂ රැසක් තිබේ. කල්‍යාණමිත්‍ර ගුරුවරයෙකුගේ සහායත්, භාෂාමය අවබෝධයත් නිසා ත්‍රිපිටකය හැදෑරීම සැබැවින්ම එක්තරා ආකාරයක භාවනාවක් වේ. ධර්මය සම්බන්ධයෙන් මනසේ ඇතිවන විතර්ක නිසා වෙනත් අකුශල විතර්ක යම් පමණකට පාලනය වේ. එවැනි අකුශල විතර්ක ඇති වුවද ඒවාට දිගුකලක් මනසේ රැඳෙමින් අකුශල ක්‍රියාවලට පුද්ගලයා යොමු කළ නොහැකිය. මෙයට අමතරව ධර්මය ක්‍රමයෙන් වැටහීම හේතුවෙන් අභ්‍යන්තරයෙන් නිවුණු අයෙකු බවට පත් වේ. එවැන්නෙකුගේ බාහිර ඉරියව් සැබැවින්ම ශාන්ත ය. තැන්පත් ය. ධර්මාවබෝධයෙන් ලද පිරිපුන් බව අභ්‍යන්තර නිහඬ බව ඇති කිරීමට හේතු වී තිබේ. ගැටුමෙන් පිරි ලෝකයේ අභ්‍යන්තරයෙන් නිවුණු එවැනි උතුමෝ කාය විවේක, චිත්ත විවේක හා උපධි විවේක යන ත්‍රිවිධ විවේකයෙන් විවේකී සුවය විඳිති. එසේම පෙළ දහම ගැඹුරින් හදාරන පුද්ගලයාට අතිරේක වශයෙන් ලැබෙන තවත් විශාල ලාභයකි තමන් මෙතෙක් කල් සිතේ ගොඩගසාගෙන තිබුණු මිථ්‍යා විශ්වාස හා දෘෂ්ටි බැහැර වී සිත පාරිශූද්ධත්වයට පත් වීම. එවැනි සිතක තෙරුවන් පිළිබඳ නොසෙල්වන ශ්‍රද්ධාවේ බීජ ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගනී. එය දහම් ඇස පහළ වීමේ පූර්ව නිමිත්තකි. එසේම ධර්මය තුළින් බුදුරදුන් දැකීම එයින් සිදු වේ.මෙතැන් සිට ඉදිරියට අප බලාපොරොත්තු වන්නේ තෙවළා බුදු වදන ඇතුළත් තෝරාගත් සූත්‍ර දේශනා පිළිබඳ සාකච්ඡා කිරීමටය. එය සූත්‍ර පිටකයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. පොදු ජනයා අරමුණු කරගත් මෙම ලිපි මගින් ඒ ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගතය ඉතා සංක්‍ෂිප්තව සාකච්ඡා කෙරේ. පෙළ දහම ගැඹුරින් හැදෑරිය නොහැකි අයෙකුට එම මගපෙන්වීම ප්‍රමාණවත් වේය යන්න අපගේ විශ්වාසයයි. පළමු සංගායනාවේදී සංගීතිකාරක භික්ෂූන් වහන්සේලා විසින් සංඛ්‍යා විධි නියමය අනුව ධර්ම කොටස් සංග්‍රහ කරන ලද අංගුත්තර නිකායෙන් එය ආරම්භ කිරීම සුදුසු ය. සුත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකාය නිපාත එකොළසකින් සමන්විත වේ. එහි ධර්ම කරුණු අංක එකේ සිට එකොළොස දක්වා වර්ගීකරණය කොට තිබේ.

ධර්මයේ විවිධ මාතෘකා හඳුනා ගැනීමට එය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. වෙනත් සූත්‍රවල එන ධර්ම කරුණු මෙහි සංඛ්‍යාත්මකව වර්ගීකරණය ඇති හෙයින් ධර්ම දේශකයක්ට ද එම ධර්ම කරුණු බෙහෙවින් වැදගත් වේ. ඔවුන්ට ඒ ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් ධර්ම දේශනා පැවැත්විය හැකිය. මේ අනුව ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතා ප්‍රයෝජනවත් වන සූත්‍ර දේශනා සංක්‍ෂිප්තව සාකච්ඡා කිරීම ඉදිරි ලිපිවලින් අපේක්‍ෂිත ය.