Print this Article


අටුවා රසකතා- 08: අල්පේච්ඡ ගුණයෙන් පිරි දහර භික්ෂුව

අල්පේච්ඡ ගුණයෙන් පිරි දහර භික්ෂුව

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ස්වකීය නිවසින් තෙමසක් දන් වැළඳූව ද, තමා කවුදැයි තම දෙමාපියන්ට පවා හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් අල්පේච්ඡ ගුණයෙන් තම දෙමාපියන් පිළිබඳව හෝ පළිබෝධයක් නො වන අයුරින් කටයුතු කළ දහර භික්ෂුවක් පිළිබඳ කියවෙන කතා ප්‍රවෘත්තිය යි.

පෙර ලක්දිව කොරණක නම් මහා විහාරයක් විය. එහි වැසි මහ තෙරණමක් ස්වකීය සහෝදරියගේ පුතණු වූ බෑණනු කෙනෙක් පැවිදි කළහ. එම දහර භික්ෂුව ත්‍රිපිටකය පුහුණු කරනු සඳහා කෙටි කලකින්ම තෙරුන් වහන්සේ විසින් රුහුණු ජනපදයට යවන ලදී. තෙරුන් වහන්සේ දකින හැම විට ම සහෝදරිය තම පුතණුවන් පිළිබඳ තොරතුරු තෙරුන් වහන්සේගෙන් විමසන්නී ය. දහර සාමණේරයන් වහන්සේ රුහුණට වැඩ වර්ෂ කිහිපයක් ගතව තිබීම නිසාත්, බොහෝ කාලයකින් සිය මෑණියන් නො දැක තිබූ නිසාත්. සාමණේරයන් වහන්සේ සිය මෑණියන්ට මුණ ගැස්වීම සුදුසුයැයි සිතා එක් දවසක් මහ තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ වඩමවා ගනු පිණිස රුහුණු ජනපදය බලා වැඩියහ.

එම දහර සාමණේරයන් වහන්සේ ද සුදුසු වයස් එළිඹීමෙන් උපසම්පදාවට පත් වූයේ, මාගේ ආචාර්යන් වහන්සේ ද, මෑණියන් ද බොහෝ කලකින් නො දක්නා ලද්දේ ය. එබැවින් එහි වැඩම කිරීම සුදුසු යැයි සිතා රුහුණේ සිට ස්වකීය ජාත භූමිය බලා පිටත් වූහ. දෙදෙනා වහන්සේම මහවැලි ගංතෙර දී මුණගැසී මහා තෙරුන් වහන්සේගෙන් “කොහි වඩින්නේ” දැයි විචාළේ ය. තෙරුන් වහන්සේ සියලු පුවත් සැළකර සිටියහ. දහර භික්ෂූන් වහන්සේ ද ‘එසේ නම් ස්වාමීනි, මම මෑණියන් දැක බලා වඩින්නෙමි යි” පැවසූහ. තෙරුන් වහන්සේ ද එය අනුමත කොට දහර භික්ෂූන් වහන්සේ ආපසු වඩින තෙක් තමන් වහන්සේ රුහුණෙහි වැඩසිටින බවද පැවසූහ.

දහර භික්ෂූන් වහන්සේද වස් එළඹෙන දවසෙහි ම කොරණක විහාරයට සම්ප්‍රාප්ත වූහ. උන්වහන්සේට වස් එළඹීමට ලැබුණේ සිය පියාණන් විසින් කරන ලද කුටිය යි. එම දහර භික්ෂූන් වහන්සේ එහි වස් එළිඹියහ. එම භික්ෂූන් වහන්සේගේ පියා තමා විසින් පුදන ලද කුටියෙහි වස් විසුයේ කවුදැයි සොයන විට එක් නවක උපසම්පදා වූ භික්ෂුවක් යැයි දැන (පුතා යැයි නො දැන) එම භික්ෂූන් වහන්සේට, එම කුටියෙහි වස් වසන භික්ෂුව විසින් පිළිපැදිය යුතු වත් දක්වන ලදී. එනම් වස් කාලය තමාගේ නිවසින් පිණ්ඩපාතය වැළඳිය යුතු බව යි. භික්ෂූන් වහන්සේ ද එය පිළිගත්හ.

නිවසට පැමිණි ඔහු සිය බිරිය අමතා අපගේ කුටියෙහි එක් ආගන්තුක භික්ෂු නමක් වස් එළඹ ඇති බවත් වහා පිණ්ඩපාතය සූදානම් කරන ලෙසද පැවසීය. උපාසිකාව ද ඉතා සතුටුව වස් හාර මාසය ම එම භික්ෂුව ස්වකීය පුත්‍රයා යැයි නො හැඳිනම උපස්ථාන කළා ය. එම භික්ෂූන් වහන්සේ ද තමා කවුදැයි නොහඟවාම වස් හාරමාසයම එම නිවසින් පිණ්ඩපාතය වැළදූහ.

වස් අවසානයෙහි එම භික්ෂූන් වහන්සේද තමන් වහන්සේ ආපසු වඩින බව පැවසූහ. උපාසිකාව ද අවසන් දවසෙහි මනා ලෙස දානය සකස්කොට එම භික්ෂූන් වහන්සේ නිවසෙහි ම වළඳවන ලදී. තෙල් නළ ද පුරවා, සකුරු මුලක්ද, නවරියන් වස්ත්‍ර ද භික්ෂූන් වහන්සේට පුදන ලදී. ඒවා පිළිගත් තෙරුන් වහන්සේ එදින ම ආපසු රුහුණ බලා වැඩියහ.

පෙර පරිදිම රුහුණේ වස් වසා ආපසු වඩින මහ තෙරුන් වහන්සේ ද, මේ දහර භික්ෂූන් වහන්සේ ද මහවැලි ගංතෙර දීම මුණ ගැසී ‘කිම ඇවැත්නි, මෑණියන් දුටුවේ දැයි’ විචාළේ ය. එවිට එම භික්ෂූන් වහන්සේ ‘එසේය, ස්වාමීනි’ යනුවෙන් පිළිතුරු දුන්හ. දහර භික්ෂූන් වහන්සේ සිය ආචාර්යවරයන් වහන්සේට සකුරු පානයද, තමන් වහන්සේට ලැබුණ නවරියන් වස්ත්‍රය ද පූජා කළහ.

ඉන් පසු මහා තෙරුන් වහන්සේ ද පිණ්ඩපාතය සඳහා පසු දින කොරණක ගමට වැඩි සේක.තෙරුන් වහන්සේ වැඩම කළ බව ඇසූ උපාසිකාව ද ස්වකීය පුත්‍රයා දැක ගැනීමේ ආශාවෙන් මග බලා හුන්නා ය. හුදකලාව වඩින තෙරුන් වහන්සේ දැක දුකට පත් උපාසිකාව ‘කිම ස්වාමීනි, මා පුත් මළේදැයි’ අසා තෙරුන් වහන්සේ පා මුල වැටී හඬන්නට විය. කරුණු අවබෝධ කොටගත් මහා තෙරුන් වහන්සේ ‘ඒකාන්තයෙන් මේ දහර භික්ෂුව ස්වකීය අල්පේච්ඡතාව හේතුකොට තමා කවුදැයි නො දන්වා ම වැඩමකොට ඇතැයි’ සිතා උපාසිකාවට සියලු පුවත් දැන්වූහ. තමන් වහන්සේට දුන් නව රියන් වස්ත්‍රය ද පෙන්වූහ.

අතිශය සතුටට පත් උපාසිකාව ‘අහෝ මාගේ පුතණුවන්ගේ ගුණ කදම්බයක මහත. තෙමසක් වැදූ මැණියන්ගේ ගෙයි දන් වැළඳුව ද තමා කවුදැයි නො කීය. ඒකාන්ත වශයෙන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ රථවිනීන, තුවටක, නාලක වැනි සූත්‍රයන්හි දී වදාළ ආර්ය ප්‍රතිපදාවට එළඹි භික්ෂුවක යැයි හඬ නඟා කීවාය.