Print this Article


බෝසත් දරුවන්ට: සසරේ බිය නුවණින් දකිමු

බෝසත් දරුවන්ට: සසරේ බිය නුවණින් දකිමු

පින්වත් දරුවනේ, අප සංසාරයට ගසාගෙන යන සැඩ පහර සතරක් ගැන කතා කළා මතකයි නේද? ඉන් පළමු සැඩ පහර කාම ඕඝය පිළිබඳ කෙටි විස්තරයක් කළා.

කාම ඕඝය පිළිබඳ තවත් බොහෝ කරුණු දැන ගන්නට තිබෙනවා. කාම ඕඝය තවත් කොටස් දෙකකට බෙදෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ, වස්තු කාමය සහ ක්ලේශ කාමය යි.

වස්තු කාමය කියන්නේ මිල මුදල්වලට තිබෙන ආශාව. ගේ දොර, ඉඩකඩම්, කෑම බීමවලට තිබෙන ආශාව. අපි ඒවාට කියන්නේ භෞතික සම්පත් කියලනේ. බොහෝ භෞතික සම්පත්වලට ඇළීම, දැඩි ආශාව ඇති කරගැනීමට යි වස්තු කාමය කියන්නේ. ඉතින් ඒ වස්තු කාමයන්ට ඇළුණා ම, බැඳුණා ම ඒවා කෙරේ ඇතිවන්නා වූ අයහපත් සිතිවිලිවලට, නරක සිතිවිලිවලට අප කියන්නේ ක්ලේශකාම කියල යි. රාගය ලෙස හැඳින්වෙන්නේත් මේ පංච කාමයන්ට ඇලීම යි. රාගය ඇති වුණාට පස්සේ, ඒ රාගික හැඟීමෙන් අප මිය ගියොත් අනිවාර්යයෙන් ම සසරට වැටෙනවා.

දරුවනේ, සංසාර ගමන හරිම භයානක යි. සංසාරය කියන්නේ නැවත නැවත ඉපදීමනේ.මිනිස් ලෝකයේ ඉපදී සිටියාට අප දන්නේ නෑ මේ මිනිස් ලෝකයට ඇවිත් ඉන්නේ කොතැන ඉඳලා ද කියා. ඒ තරම් මේ සංසාරය දිග යි. සංසාරය කියන්නේ දරුවනේ, හොඳ දෙයක් නම් නොවෙයි. නැවත දුක් විඳින්නට පටන් ගන්නා මහා නරක ගමනක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපට සංසාරයෙන් එතෙර වන ලෙස දේශනා කොට වදාළේ.

යම් හෙයකින් වස්තුවලට ආශාවෙන්, අප මහන්සියෙන් සාදාගත් ගෙදරට ආශාවෙන් මිය ගියොත් ප්‍රේතයෙක් ව උපදිනවා.

දරුවෝ දන්නවාද? ගෙදරට ආශාවෙන්, ඉඩ කඩම්වලට ආශාවෙන් මිය ගියාම ප්‍රේතයෙක්ව ඉපදී ඉන්නේ ගෙදර ප්‍රධානම උළුවස්ස මත. එහෙම නැතිනම්, වහලයේ මුදුන් ලී පරාලවල. මේ අය ගෙදර අය සැප විඳින ආකාරය බලාගෙන සිටිනවා. තව තවත් ඒවාට ආශා වෙනවා. ඉතින් ගෙදර ජීවත්වන අයට බාධා කරනවා. ලෙඩ කරවනවා. මේ ප්‍රේත ලෝකයේ එක පැත්තක් පමණයි. තවත් ප්‍රේත කොට්ඨාසයක් ඉන්නවා. ඒ අය අතර ඉපදුණොත් ඒ අයගේ උගුර හරියට ඉදිකටු තුඩක් වගේ. ඒ වුණාට විශාල උදරයක් තිබෙනවා. හරියට කළගෙඩියක් වගේ. ඉතින්, මොනතරම් වතුර දුන්නත් මේ අයගේ උගුර තෙමෙන්නේවත් නෑ. මේ මුළු ආකාශයම ගංගාවක් කරලා මුව තුළට දැම්මත් උගුරවත් තෙමෙන්නේ නෑ.

‘උගුරත් නො තෙමෙයි සුර ගඟ වැටුණත්’ ලෝවැඩ සඟරාවේ කියන්නේ එලෙස යි. තවත් ප්‍රේත ලෝකයක් තිබෙනවා. ඒ අය ආහාරයට ගන්නේ සෙම්, සොටු පමණ යි. ඒවාත් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. තවත් ප්‍රේත ලෝකයක් තිබෙනවා. එහි ප්‍රේතයන් හරිම පිපාසිත යි. වතුර තිබෙන ගංගා සොයාගෙන යනවා. ළිං සොයා ගෙන යනවා. ඒත් ඒවායේ වතුර ප්‍රේතයන්ට පෙනෙන්නේ රුධිරය පාටට. කවදාවත් බීමට ලැබෙන්නේ නෑ. සංසාරයට වැටුණොත් අපටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්නට ඕන.

දරුවනේ, තවත් ප්‍රේත ලෝකයක් තිබෙනවා. ඒ අය ජීවත්වන්නේ අප දෙන පින්වලින්. ඒ කියන්නේ පරදත්ථුපජීවීන්.

ඉතින් දරුවනේ මේ සඳහන් කළේ සංසාරයේ එක පැත්තක් ගැනයි. හිතන්න සංසාර ගමනේ ඇවිද යන විට යම් හෙයකින් තිරිසන් සතෙක් වී ඉපදුණොත් මොනතරම් දුක් විඳිනවා ද? තිරිසන් සතුන් වී ඉපදෙන්නේ සමහරවිට කේන්තියෙන්. තරහෙන් මිය ගියාම. දරුවනේ තිරිසන්ගත සතෙක් කවදාවත් සතුටින් ඉන්නේ නෑ. නිතරම ඉන්නේ බියෙන්. තැති ගැනීමෙන්, කලබලයෙන්. සැනසීමෙන් නිදා ගන්න ලැබෙන්නේ නෑ. ගෙදර සුරතලයට ඇති කරන සුනඛ පැටවා දෙස බලන්න. පුංචි ශබ්දයටත් ගැස්සිලා ඇහැරෙනවා.

සෑම සතෙක් ම ඒ වගෙයි. ලස්සනට, සුරතලයට සිටියත් ඉන්නේ බියෙන්. පුංචි දරුවන් සුරතල් මසුන් ඇති කරනවා නේද? එහෙට මෙහෙට පීනා යන මාළු පැටවුන් දෙස ආශාවෙන් බලාගෙන සිටියාට ඒ අය එහාට මෙහාට පීනා යන්නේ බිය නිසා. එහෙමත් නැතිනම් ආහාර සොයාගෙන, සමහරු කියන්නේ මාළු ටැංකියක් දෙස බලාගෙන සිටීම ඇස්වලට හොඳයි, රුධිර පීඩනයට හොඳයි කියලයි. ඒත් දරුවනේ සතුන් ඇති කිරීම පවක් කියලා මතක තියා ගන්න ඕනෑ.

මනුස්ස ලෝකයේ ඉපදෙන්නට නම්, පින් කරන්න ඕනෑ. ඒත් පව් පළ දෙන්නට පටන් ගත්තොත් බොහෝ දුක් විඳින්න වෙනවා. ඒ තමයි දරුවනේ මේ සංසාරයේ භයානකකම. මිනිස් ලෝකයේ ඉපදුණාට දෑස් නො පෙනෙන මිනිසුන් මිලියන ගණනක් සිටිනවා. ඇවිද ගන්නට නොහැකි, සිතා මතා වැඩ කරන්න බැරි අංගවිකල අය මොනතරම් ඉන්නවා ද? මේ සංසාරය භයානකයි නේද? ඉතින් ඒ සංසාරයට ඇද ගෙන යන සැඩ පහරක් වන ‘කාමය’ නම් වූ ඕඝයට අසු වෙන්න එපා.

අප තුළ සෑම දෙයකටම තිබෙන කැමැත්ත සුළු වේලාවක දී, දවස් කිහිපයක දී, ටික කාලයකදී වෙනස් වෙනවා. පුංචි දරුවන් කැමැති වුණ එක දෙයක් ගැන සිතන්න. සෙල්ලම් බඩුවක් ගැන සිතන්න. දකින මොහොතේ මොනතරම් ආශාවක් දැනෙනවා ද? ඒත් ටික දවසකින් එය වෙනස් වෙනවා. අනෙක් සෑම දෙයමත් එලෙස යි. ඉතින් අප කළයුතු වන්නේ කුමක් ද? හැකි ඉක්මනින් මේ සසරෙන් එතෙර වීමයි.

‘සබ්බදා ශීල සම්පන්නෝ
සංඥා වා සුසමා හිතෝ
අජ්ජත්ත කිංචි ඝභා
ඕසං පවති දුක්ඛරං”
යැයි ධම්ම පදයේ සඳහන් වෙනවා.

නිතර පිරිසුදු, සිල්වත් කෙනෙක් වෙන්න ඕනෑ. දරුවන්ට ආරක්ෂා කරන්න සිල්පද පහක් තිබෙනවා. එයට කියන්නේ පංච ශීලය කියල යි. ඉතින් හැමදාම සිල්වත් වුණොත්, ලෝකෝත්තර ප්‍රඥාවෙන් යුතු වුණොත්, ඒ කියන්නේ ලෝකය ගැන නිවැරැදි අවබෝධයෙන්, ප්‍රඥාවෙන් යුක්ත නම්, කලබලකාරී ඉන්ද්‍රියයන් දමනය කර ගන්නවා නම්, ඒ විතරක් නොවෙයි. සෑම තැනම දුවන සිත සංවර කර ගන්නවා නම්, සිහි කල්පනාවෙන් යුතුවෙනවා නම්, පමණයි අපට කාම ඕඝය නමැති මහා සැඩ පහරින් එතෙර වන්නට පුළුවන් වෙන්නේ.