Print this Article


සම්බුදුහිමි ගුණ දැන බුදුන් සරණ යමු

සම්බුදුහිමි ගුණ දැන බුදුන් සරණ යමු

" බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කෙනෙක් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට ප්‍රථම තිසරණයේ පිහිටවූවා. ඒකට කියන්නේ සරණ ශීලය කියලා."

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් චතුරාර්ය සත්‍යය යේ තුන්වන මාර්ගය වන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවයි. බුදු කෙනෙක් කල්ප ලක්ෂ ගණනකට පසුව ලෝකයට පහළ වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කිරීමටයි. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පූරණය කර එදා දඹදිව ගයාවේ බෝධි මූලයේදී දස මාර සේනා පරාජය කර උතුම් සම්බුද්ධත්වයට පත්වුණා.

එදා උන්වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යය ය දුක ඇතිවීමට හේතුව නම් වූ ආර්ය සත්‍යය ය, දුක නැතිකිරීම නම් වූ ආර්ය සත්‍යය , දුක නැති කිරීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය හෙවත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තා.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ පංච වග්ගිය භික්ෂූන් වහන්සේට ප්‍රථම ධර්ම දේශනාව කරන අවස්ථාවේ දී ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දෙව් මිනිසුන් සහිත ලෝකයට දේශනා කළා. එහි දී උන්වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව දේශනා කරන්නේ මීට පෙර නොඇසූ විරූ ධර්මයන් නිමිති කරගෙනයි. චක්ඛුං උදපාදි දහම් ඇස පහළ වුණා. ඒ වාගේම තත්ත්වාකාරයෙන්, දැනගැනීමේ ඥානය පහළ වුණා. 'ඤාණං උදපාදි', එමෙන්ම ඒ පිළිබඳව දැනගන්නා වූ ජානාර්ථ සමාහිත ප්‍රඥාව පහළ වුණා. 'පඤ්ඤා උදපාදි'. ඒ වගේම ක්ලේශයන් දුරු කර දමන විද්‍යාව පහළ වුණා. විජ්ජා උදපාදි, ඒ මෝහාංධකාරය විද්වංසනය කරන ආලෝකය පහළ වුණා. 'ආලෝකෝ උදපාදි'. පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳව දහම් ඇස පහළ වුණා. ඒ වගේම ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.

ඒ වගේම පෙර නොඇසූ විරු ධර්මයන් නිමිති කරගෙන දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව මෙය සාක්ෂාත් කළ යුතුයි කියන දහම් ඇස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. මේ විදියට තුන් ආකාරයකින් දැක්විය හැකියි. ඒකට කියනවා 'තිපරිවට්ඨං' කියලා.

සත්‍යය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන්, මේ පෙර නොඇසූ විරූ දහම් ඇස ඒ වගේම ඥානය, ප්‍රඥාව, විද්‍යාව ආලෝකය බුදුරජාණන් වහන්සේට පහළ වුණා.

එතකොට පින්වත්නි ‘වාන” කියන්නේ තෘෂ්ණාවට. එය නැති කිරීමට කියනවා නිර්වාණ කියලා. තෘෂ්ණාව නැති කිරීම නිර්වාණයයි. දුක්ඛ නිරෝධ කියන්නේ නිර්වාණයට පත්වීමයි. මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී දේශනා කර තිබෙනවා. එවැනි අවස්ථාවක් අපට හමුවන්නේ සච්ච විභංග සූත්‍රයේ දී. එහ ිදී උන්වහන්සේ සඳහන් කරනවා, බරණැස ඉසිපතන මිගදායේ දී මේ ලෝකයේ කිසිම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ වෙනත් කිසිවකුට ආපසු කරකැවිය නොහැකි ආපත්තිවත්තියා ඒ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරනවා , ඒ වගේම සච්ච විභංග සූත්‍රයේදී උන්වහන්සේ විවරණය කරනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යනු කුමක්ද? කියලා. එහිදී උන්වහන්සේ මෙසේ විග්‍රහ කරනවා. “යේ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ ඉධං මුච්චතාවුසෝ දුක්ඛ නිරෝධං අරිය සච්චං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති. අනාලයෝ ඉ ධං මුච්ච තාවුසෝ දුක්ඛ නිරෝධං අරියසච්චං”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඉතාමත් ලස්සනට බුද්ධ වචනයෙන් පැහැදිලි කරනවා. යෝ තස්සායේව තණ්හාය , තණ්හාව කොටස් තුනකින් යුක්තයි. කාම තණ්හා, (පංචකාමයන් පිළිබඳ තිබෙන ආසාව) භව තණ්හාව (භවයේ නැවත නැවත ඉපදීමට තිබෙන ආසාව, විභව තණ්හාව (උච්ඡේදවාදී වශයෙන් මේ ජීවිතයෙන් පසු ජීවිතයක් නෑ. ජීවත්වනතුරු විනෝදයෙන් ඉන්න ඕනෑ.) යෝ ආසේස විරාග නිරෝධෝ – ඒ තණ්හාව පිළිබඳව කිසිම ඉතිරු කිරීමක් නැතිව නොඇලීමක් වෙනව නම්, ඒ වගේම ප්‍රහාණයෙන් නිරුද්ධ කරනව නම්, චාගෝ යම්කිසි ආකාරයක ආලය අතහැරීමක් වෙනව නම්, පටිනිස්සන්ගෝ – සර්ව ප්‍රකාරයෙන්ම ඒ ආලයේ දුරුකිරීමක් වෙනව නම්, මූත්ති – ඒ ආලයෙන් ගැලවීමක් වෙනව නම්, අනාලයෝ – ඒ ආලය නැතිවීමක් වෙනව නම්, මහණෙනි මේ තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය . නැතිනම් දුක නැති කිරීම නම්, වූ ආර්ය සත්‍යය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපට පැහැදිලිව පෙනෙනවා දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. මෙය දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංස්කාර දුක්ඛ වශයෙන් කොටස් තුනකින් විග්‍රහ කෙරෙනවා. දුක නැතිවීමට හේතුව විග්‍රහ වෙනවා චතුරාර්ය සත්‍යය යේදී කාම තණ්හා , භව තණ්හා, විභව තණ්හා වශයෙන්. ඊළගට දුක නැති කිරීම විග්‍රහ වෙන්නේ මේ ආකාරයට. ඒ තුන් ආකර වු තණ්හාව සම්පූර්ණයෙන් ම ඉතිරි නැතිව නිරුද්ධ කිරීම, ආලය අතහැරීම, ආලය දුරුකිරීම, ඒ ආලයෙන් මිදීම. ඒ තණ්හාව සම්පූර්ණ වශයෙන් කිසිදු ඉතිරි කිරීමක් නැතිවම නැති කිරීමට තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියලා කියන්නේ.

ඒ තත්ත්වයට පත්වීම සඳහායි. අපි මේ වෙර වීරිය කරන්නේ. කෙනෙකුට එක් වරම මේ මාවතට එන්න බැහැ. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ. චතුරාර්ය සත්‍යය ධර්මය පිළිගන්න නම් ඒ ධර්මය දේශනා කළ උතුමන්වහන්සේ අප පළමුවෙන්ම සරණ යා යුතුයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය නැතිනම් මේ සර්වඥතා ඥානය පිළිගන්න ඕනෑ. සම්බුද්ධත්වය පිළිගැනීමට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං, බෝධියට පත්වුණා කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමයි. මේ ලෝකයේ සිටිනවා ‘මෝඝ” කියලා අඥාන හිස් පුද්ගලයන් පිරිසක්. ඔවුන් අර්ථ දක්වන ආකාරයට “බෝධි” යනු බුද්ධියයි. බුදුරජාණන් වහන්සේ සරණ යෑම බුද්ධියේ සරණ යාමක්, බෝධින් වහන්සේට පූජා කිරීම බුද්ධියට පූජා කිරීමක් ලෙසයි. ඔවුන් දකින්නේ. මේ මතය දරන මිත්‍යා දෘෂ්ඨිකයෝ පිරිසක් දැන් මේ රටේ පහළ වෙලා ඉන්නවා. නමුත් පැහැදිලිව දැනගන්න ඕනෑ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමයි. සම්බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍යය ය අවබෝධය පිළිගැනීමයි. සමස්ථයක් වශයෙන් ඒ සර්වඥතා ඥානය, එනම් සියල්ලම දන්නා නුවණ ඒ සම්බෝධිය ඒ අවබෝධය පිළිගන්න ඕනේ පළමුවෙන්ම. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ අවබෝධය පිළිගන්න කෙනා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන සරණ යනවා. ආර්ය මහා සංඝ රත්නය ගුණ වශයෙන් දැනගෙන සරණ යනවා. අන්න ඒ විදියට ත්‍රිවිධ රත්නය සරණයාම තමයි මේ චතුරාර්ය සත්‍යය ධර්මයේ පදනම වෙන්නේ.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කෙනෙක් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට ප්‍රථම තිසරණයේ පිහිටවූවා. ඒකට කියන්නේ සරණ ශීලය කියලා. සරණ ශීලයෙහි පිහිටු වූ පසුවයි පියවරෙන් පියවර ඉදිරියට යාමට අවස්ථාව සලසා දුන්නේ.තුන්සරණය පිහිටන්නේ නැති කිසි කෙනෙකුට දුක අවබෝධ කරන්න බැහැ. දුකට හේතුව අවබෝධ කරන්න බැහැ. දුක නැති කිරීම අවබෝධ කරන්න බැහැ. දුක නැති කිරීමේ ප්‍රතිපදාවේ ගමන් කරන්න බැහැ. මේ බුද්ධ දේශනාවෙන් පරිබාහිරව වැරැදි විදිහේ අර්ථකතන ලබාදෙන පිරිසක් අද බිහිවෙලා ඉන්නවා.

ඒ අතර තමන් රහත් යැයි පවසන ගිහි, පැවිදි පිරිසක් සිටිනවා. මේ ක්‍රමයට ගිහිල්ලා කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න බැහැ. ඒ නිසා මේ ලිපිය කියවන පින්වතුන් පළමුව බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිකර ගන්න. ඒ ශ්‍රී සද්ධර්මය ගැන ශ්‍රද්ධාව ඇතිකර ගන්න. ඒ ආර්ය මහා සංඝරත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ උතුම් තිසරණයේ පිහිටා සීලය දියුණු කරගෙන ඊළඟට සමාධිය දියුණු කරගන්නට ඕනෑ. ඊට පසුවයි ප්‍රඥාව දියුණු කරගන්නට ලැබෙන්නේ. ප්‍රඥාව පහළවීම යනු චතුරාර්ය සත්‍යය අවබෝධයයි. එය සත්‍යය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් අවබෝධ කරගත යුතු බව උන්වහන්සේ ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී දේශනා කළා. තණ්හාව නිරුද්ධ කරගැනීම පහසු කාර්යයක් නොවෙයි. .ඒ සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනිවාර්යයෙන් අනුගමනය කරන්නට ඕනෑ. මේ ආකාරයට කටයුතු කිරීමෙන් “සම්මා ඤාණ” කියන තත්ත්වයට පත්වෙනවා. සැබෑම වූ ඥානය ඒ තැනැත්තාට පහළ වෙනවා. මේ කරුණු එක සූත්‍රයකින් නොවෙයි විග්‍රහ වෙන්නේ. මහා චත්තාරිසික වගේ සූත්‍රවලදී ඒ කරුණු විග්‍රහ වෙනවා.

අපේ බෞද්ධයන්ගේ මුවින් නිතරම පිටවන්නේ “නිවන් සැප ලැබේවා” කියලයි. අපේ පින්වත් බෞද්ධයන්ගේ ප්‍රධාන ඉලක්කයත් එයයි. එසේ බලාපොරොත්තු වෙන්නේ මේ තුන්වැනි ආර්ය සත්‍යය යයි.

ඒ සඳහා අප සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කරගත යුතුයි. මේ ජීවිතයේ දී මෙය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් සුගතියකට යාම සඳහා ඊළඟ විකල්පය ලෙස ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥා කියන සේඛ බල දියුණු කරගන්නට ඕනෑ. එසේ කිරීමෙන් මේ උතුම් නිවන නැතිනම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කරගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඔබ සැමට වාසනාව උදාවේවා. තෙරුවන් සරණයි.