Print this Article


විශ්වය ඒකාලෝක කළ සේක

විශ්වය ඒකාලෝක කළ සේක

භාග්‍යවතුන් වහන්සේ විසින් සකල ලෝකවාසී සත්ත්වයාට ම දුකින් නිදහස්වීම සඳහා උතුම් ධර්ම මාර්ගය පළමුවෙන් ම දේශනා කරනු ලැබුවේ ඇසළ පුර පසළොස්වක පෝ දිනෙක යැයි ශාසන ඉතිහාසයෙහි සඳහන් ය.

උන්වහන්සේ ඒ උතුම් ධර්මය තමන් වහන්සේ විසින් ම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව තමන් වහන්සේ සමඟ අවබෝධය ලබා ගැනීම සඳහා වීර්යවන්ත වූ කොණ්ඩඤ්ඤ, භද්ධිය, වප්ප, මහානාම, අස්සජි යන තාපසවරු පස්දෙනා සම්මුඛයෙහි මෙම ප්‍රථම මඟ පෙන්වීම සිදුකරනු ලැබූහ.

එහි දී උන්වහන්සේ විසින් පළමුවෙන් ම අවධාරණය කරනු ලැබුවේ අවබෝධය සොයා යන පුද්ගලයා විසින් අන්ත දෙකකින් බැහැර විය යුතු බවයි. එනම් කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානු යෝගය යි. ක්‍රි.පූ. 06 වන සියවසේ භාරතය දුකින් නිදහස් වන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු සොයන්නවුන්ගෙන් පිරී පැවතුණි. ප්‍රධාන දාර්ශනික ගුරුකුල හැට දෙකක් පමණ එකල භාරතය තුළ බලවත් ව තිබුණි. ඔවුන් එල්බ සිටි මතවාද ශාස්වත හෝ උච්ඡේද දෘෂ්ඨිය නියෝජනය කිරීම දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයකි. එනම් මරණින් පසු සදාකාලික ආත්මයක් ඇත. (ශාස්වත) මරණින් පසු කිසිම ආත්මයක් නැත (උච්ඡේතු) යන අන්තයන් දෙක යි. දාර්ශනිකව මෙකී අන්තයන්ට ඇද වැටුණු තැනැත්තා ආන්තික ප්‍රතිපදා දෙකක් ඔස්සේ ගමන් කරනු ලැබී ය. එනම් උච්ඡේදවාදීන් විසින් කාම සුඛල්ලිකානු යෝගය සහ ශාස්වතවාදීන් විසින් අත්ථකිලමතානු යෝගී ප්‍රතිපදාවට නැඹුරුව තම ජීවිත ගත කිරීම යි. භාග්‍යවතුන් වහන්සේ දාර්ශනිකව සහ ප්‍රතිපත්තිමය වශයෙන් මෙම අන්ත දෙකෙහි ස්වභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම අවබෝධ කර ගත්හ. එම ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් කිසිසේත් ම දුකින් නිදහස් වීමක් සිදු නොවන බව තම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කර ගත්හ. එබැවින් පංච වග්ගීය භික්ෂූන් අමතා උන්වහන්සේ පළමුවෙන් ම අවධාරණය කළේ “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේ වි තබ්බා.....” යනුවෙනි. එහි දී උන්වහන්සේ විසින් කාමසුඛල්ලිකානු යෝගය විවරණය කරන්නේ ‘හීනො ගම්මො පෝතුජ්ජනිකො අනරියො අනත්තසංහිතො’ යනුවෙනි.

එනම්, කාමසුඛල්ලිකානු යෝගය මහත් ග්‍රාම්‍ය, පෘථග්ජන, අනාර්ය, අනර්ථවත් ප්‍රතිපදාවක් බවද, අත්තඛිලමතානු යෝගය දුක්ඛිත, අනාර්ය, අර්ථ විරහිත ප්‍රතිපදාවක් බව ද අවධාරණය කරමින් අවබෝධය කරා යන ගමනේ දී එකී නිරර්ථක අන්තයන්ගෙන් නිදහස් වීමේ අත්‍යවශ්‍ය බව අවධාරණය කළහ. ඉක්බිතිව උන්වහන්සේ විසින් සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස උපකාරවත් වන ප්‍රතිපත්තිය ලෙස මධ්‍යම ප්‍රතිපදාව පෙන්වා දුන්හ. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංගයන් ය. මෙම මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් උතුම් නිවන පිණිස හේතුවන බව අවධාරණය කළ අතර, ඉක්බිතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, එනම් මෙම ප්‍රතිපදාව අනුගමනය කිරීම නිසා උන්වහන්සේ අවබෝධ කරගත් උතුම් සත්‍ය පැහැදිලි කළහ. මෙහි දී පළමුවෙන් ම දුක්ඛ ආර්ය සත්‍යය විග්‍රහ කරන භාග්‍යවතුන් වහන්සේ ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නො ලැබීම දුක ලෙස අවධාරණය කළහ.

විස්තර වශයෙන් ඉහත දැක් වූ දුක් සියල්ල ම සංක්ෂිප්ත වශයෙන් පැහැදිලි කරමින් ‘සංඛිත්තෙන පංචුප්පාදානක්ඛන්දා දුක්ඛා’ යනුවෙන් කෙටියෙන් ම දුක නම් පංච උපාදානස්ඛන්ඳය ම බව අවධාරණය කළහ. ආර්ය සත්‍යයක් වන්නේ දුක පිළිබඳව මෙකී සත්‍ය දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ වෙනත් කිසිදු සත්ත්වයෙකුට එසේ නොවේ යැයි අභියෝග කළ නො හැකි උතුම් ම සත්‍යයක් වීම යි. ඉක්බිතිව දුක නම් වූ පළවෙනි හේතුව ලෙස භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනු ලැබුවේ තෘෂ්ණාව යි. කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව යන අංග තුනෙන් අප සසර දුකට පත්ව ඇති ප්‍රධාන හේතුව උන්වහන්සේ ස්වකීය ප්‍රථම දේශනාවෙන් ම පෙන්වා දුන්හ. ඉක්බිතිව එම දුකින් නිදහස් වීම හෙවත් සත්ත්වයාගේ දුකට පිළියම භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනු ලැබුවේ,

“ යෝ තත්ථා යේව තණ්හාය අසේස විරාග නිරෝධො” යන තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වීම යි. ඉහත විග්‍රහ කරනු ලැබූ සියලු දුක් තෘෂ්ණාව හේතුවෙන් ම ඇති වූ ඵලයන් ය. එකී ඵලය නැති කිරීමට නම් හේතුව නැති කළ යුතුම ය. දුක උපදවන හේතුව නම් වූ තෘෂ්ණාවෙන් නිදහස් වීම නිර්වාණය බව භාග්‍යවතුන් වහන්සේ මෙහි දී දේශනා කළහ. එහෙත් එම උතුම් ඵලය අහඹුවක් ලෙස ලැබෙන්නක් නොවේ. දුක්ඛ නිරෝධය කරා ගමන් කරන්නා වූ ප්‍රතිපදාවට ප්‍රවිෂ්ට වීමෙන් ම, එම මාර්ගය වැඩීමෙන් ම සත්ත්වයා දුකින් නිදහස් වේ. එම මඟ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයම යි. දම්සක් පැවතුම් සූත්‍රයෙහි එය පෙන්වා දෙන්නේ ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං’ ලෙස ය. මෙලෙස භාග්‍යවතුන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අප වෙත තම පළමු දේශනාවේ දී ම අවධාරණය කළ අතර බුද්ධත්වයෙන් හතළිස් පස් වසක් පුරා සිදු කළ සියලු දේශනාවන් හි මූලික හරය වූයේ ද මෙම ආර්ය සත්‍යය යි. හේතුඵල දහමයි. සෑම ඵලයක් ම හේතු නිසා හට ගන්නා බව ද, එම හේතු නැති කිරීමෙන් මෙකී ඵලයද නැති වී යන බවට භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ධර්මයතුළ අවධාරණය කළහ. මේ ලෝක සහ සංසාරික දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විඳින අප ද ඒ සියල්ලෙන් ම නිදහස් වීමට අදම අවබෝධ කරගත යුතු එක ම ධර්මය උතුම් චතුරාර්ය සත්‍යය යි. ගමන් කළයුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.