Print this Article


අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වන අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර මෙම 26 - 27 යන දෙදන තුළ අනුරාධපුර ඓතිහාසික පින්බිමේ දී අත්‍යලංකාරයෙන් පැවැත්වේ.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි සහ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි අභයගිරි විහාරාධිකාරි කල්ලංචියේ රතනසිරි යන නායක හිමිවරුන් ඇතුළු අටමස්ථානයට අයත් නායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් මෙම මහා පෙරහර පැවැත් වේ. පළාත් ආණ්ඩුකාර කාර්යාලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව මහ නගර සභාව ඇතුළු රජය හා රාජ්‍ය නොවන ආයතන වලින් සැදුම්ලත් කමිටුවක් මගින් මෙහි සංවිධාන කටයුතු මෙහෙය වනු ඇත. කාලිංග දේශයේ රජවරු ගරු බුහුමන් පෙරදැරිව දළදා වහන්සේ ආරක්ෂා කළත්, බුදු දහමට එරෙහි වූවෝ ගුහසීව රජුගේ පාලන කාලයේ දී දළදා වහන්සේ විනාශකර දැමීමට උත්සාහ කළහ. ඒ නිසාම ගුහසීව රජු දළදා වහන්සේගේ ආරක්ෂාව පතා ලක්දිවට වැඩම කරවීමට කටයුතු කළේය.

එදා අනුරාධපුර රාජධානියේ මහසෙන් රජුගේ පුත්‍ර කිත්සිරි මෙවන් රජදවස (ක්‍රි.ව. 301- 308) දඹදිව කලිඟු රට රජකළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොලපටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.

අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සුදු අසුන් යෙදූ විශේෂ පූජනීය රථයකින් දළදා වහන්සේ ඇතුල් නුවරට වැඩම කර හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට භාරදී වාර්ෂිකව පෙරහර පැවැත් වූ’බව ජිනකාලමාලී, පූජාවලිය යන ග්‍රන්ථ වලින් මෙන්ම මහා වංශයෙන් ද පෙන්නුම් කරයි. ශ්‍රී දළදා පෙරහර වංශකතාවේ නව පිටුවක් සරසමින් අනුරාධපුර ඓතිහාසික ශුද්ධනගරයේ දී ප්‍රථම පෙරහර 1997 ජූලි 18 වන දා පැවැත්විණ. මෙම පෙරහර මුලදී එක්දින පෙරහරක් ලෙසට පූජා නගරයට සීමාවී තිබුණ ද පසුව දෙදින පෙරහරක් ලෙසට නව නගරයද එක් වූයේ ජනතා ඉල්ලීම මතය. පෞරාණික සම්ප්‍රදායන්ට අනුව, අලි ඇතුන් කොඩි සේසත් හේවිසි හොරණෑ පංචතූර්ය නාද හා උඩරට,පහතරට, සබරගමු සම්ප්‍රදායික නැටුම් ඇතුළු මෙම දෙදින තුළ නැටුම් කණ්ඩායම් සියයකට ආසන්න සංඛ්‍යාවක් පෙරහරෙහි ගමන් කරවනු ඇත. එසේම ඉතිහාසයේ පෙරහරේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූලක් ගෙනගිය අතර එයට සමගාමීව පිරිත් සජ්ඣායනා රථයක් ගමන් කරවනු ලබයි. එසේම එවකට පෙරහර මාර්ගයේ විවිධ ජාතක කථා රංගනයන් තැනින් තැන ප්‍රදර්ශනය කළ අතර අද ජාතක කථා චිත්‍රයට නගන ලද පෙතිකාච පෙරහරේ ගෙනයනු ලබයි. නැටුම් කණ්ඩායම් වලට අමතරව වෙස් නැටුම් කරුවන්, සවරන්, කසකරුවන්, රබන් කරකවන්නන්, ගිනි පන්දම් හා ගිනි බෝල කරුවන්, කෝල් මුර බොරුකකුල් කරුවන් ඇතුළු විචිත්‍රාංග මධ්‍යයේ ඉතා අලංකාරව සරසන ලද රන්සිවි ගෙයක තැන්පත් කළ කරඬුව රැගත් හස්තිරාජයා ගමන් කරවනු ඇත. එසේම නිලමේවරුන්, පෙරමුණේ රාළ ඇතුළු පෙරහරක තිබිය යුතු සියලුම සම්ප්‍රදායික අංගවලින් මෙම පෙරහර අංග සම්පූර්ණ වේ.

තව ද විශේෂයෙන් දේවාල පෙරහර ද ගමන්කරවනු ඇත. මහ බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අභියස දී මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සධාතුක කරඬුව හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් පසුව ප්‍රථම දින :26 පෙරහර ගමන් ආරම්භ කරයි. මහ බෝ සමිඳු වටා ඇති නව පෙරහර මාර්ගයේ ගමන් කර රුවන්මැලි මහ සෑ රදුන් අභියස පෙත්මග ඔස්සේ ගමන් කර පැරැණි රෝහල් මංසන්දියට පැමිණෙන පෙරහර වමට හරවා අනුලා මාවත කරා ගමන් කරනු ඇත. ඒ අතර තුර අදාළ සංවිධායක පිරිස් සංඝමිත්තා මාවතේ පිහිටි ප්‍රථම දළදා මාලිගාව වෙතට ගොස් අභයගිරි විහාරාධිකාරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පුද පූජා පවත්වනු ලබයි. අනතුරුව පෙරහර අනුලා මාවත ඔස්සේ ගමන් කර වයි හන්දියෙන් අභයගිරි ව්‍යාපෘති කාර්යාලය අභියස මාර්ගය ඔස්සේ අවසානයේ අභයගිරි විහාරයට ගෙවැදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ. දෙවන දිනයේ ද 27 පස්වරු 8.00 සුපුරුදු මහබෝධීන් වහන්සේගේ නැගෙනහිර වාහල්කඩ දොරටුවෙන් ආරම්භ කරන පෙරහර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහ කණුව වට රවුම, දුම්රිය නගරය, මාර්කට් පෙදෙසින් දකුණට හරවා මහවීදිය ඔස්සේ ගමන් කර ලේක්හවුස් ගොඩනැගිල්ල අභියසින් මැදි විදුහල් හන්දියෙන් දකුණට හරවා ජයන්ති මාවත ඔස්සේ ගමන් කර සිංහ කණුව වට රවුමෙන් වමට හරවා යළිත් ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ මහ විහාරයට ගෙවැදීමෙන් පෙරහර නිමාවට පත්වනු ඇත. දින දෙකේ ම පෙරහර ආරම්භක අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රධාන පළාත් ආණ්ඩුකාර ඇම්.ජී. ජයසිංහ ප්‍රධාන ලේකම් එච්.එම්.ජී. බණ්ඩාර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් සහභාගි වන අතර ත්‍රිවිධ හමුදා පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වනු ඇත.