Print this Article


සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සාදු නද ගිගුම් දෙයි

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු තමන් වහන්සේ විසින් සොයා ගත් ගැඹුරු දහම දේශනා කරන්නේ කා හට දැයි සිතා ලොව දෙස බැලූහ. එවිට තම ගුරුවරු වූ ආලාරකාලාම, සහ උද්දකරාමපුත්ත ගුරුවරුන් මතකයට නැඟුණ ද, ඔවුන් මිය ගොස් සිටියෙන් තමන් වහන්සේට දුෂ්කර ක්‍රියා සමයෙහි උපස්ථාන කළ පස්වග තවුසන් සිහි විය. ඔවුන් බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටින බව දැන බරණැස ඉසිපතනාරාමයට වැඩම කළහ. බුද්ධත්වය ලබා ගැනීමට නො හැකිව නැවත පැමිණෙනවා යැයි සිතා බුදුරජාණන් වහන්සේට කළ යුතු යුතුකම් නො කිරීමට පස්වග මහණුන් කතිකා කළද, ඔවුන්ට එසේ කිරීමට නො හැකි විය. ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ලෙස දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක.


මැදුම් පිළිවෙත

සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝ දාක සියලු කෙලෙසුන් නසා සංස්කාර අත්හැරදා ලොව්තුරා උතුම් බුද්ධත්වයට පත්වූහ. බුද්ධත්වයට පත්ව දෙමස් පිරෙන විට එළඹුණ ඇසළ පුර පෝදා බුදුරදුන් විසින් ප්‍රථම ධර්ම දේශනාව සඳහා සූදානම් වූ සේක.තමා අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට පෘථග්ජන මිනිසාට හැකිවේදැයි යන කුකුසක් උන්වහන්සේගේ සිතෙහි උපන් සේක. නමුත් උන්වහන්සේ මහා කරුණාවෙන් ලොව දෙස බලන කල තමාට සත්‍යගවේෂී සමයේ හමු වූ බුද්ධිමතුන් පිළිබඳ දර්ශනය විය. නමුත් ඒ වන විටත් ආලාරකාලාම හා උද්දකරාමපුත්ත තවුසන් මෙලොව හැරදා ගොස් ය. දෙවනුව උන්වහන්සේගේ සිහියට නැඟුණේ තමන්ට ඇප උපස්ථාන කළ පස්වග මහණුන් ය. පස්වග තවුසෝ ඒ වන විට විසුයේ ඉසිපතනයේ ය.

ඉසිපතනයට වැඩම කළ බුදුරදුන් දහම් දෙසීමට සූදානම් වූ සේක. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට ඇතුළත් වූයේ පැවිද්දන් හා ගිහියන් විසින් අත්හළ යුතු අන්තදෙක පිළිබඳව යි. ඉන් එකක් වූයේ අත්තකිලමතානු යෝගය යි. පස්වග තවුසන්ට උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ දුෂ්කර ක්‍රියා ආදිය කරමින් අපගේ ශරීරයට අප්‍රමාණව දුක් දුන්න ද කිසිදාක සත්‍ය අවබෝධ කරගත නොහැකි බව ය. දෙවැන්න කාමසුඛල්ලිකානු යෝගය යි. එයින් පැහැදිලි කර දුන්නේ ශරීරයට අධික ලෙස සැප ලබා දෙමින්, කම්සැප විඳිමින් ගෙවන ලද ජීවිතයෙන් ද කිසිදා සත්‍ය අවබෝධ කර ගත නො හැකි බවයි.

පැවිද්දන් අනුගමනය කළ යුත්තේ මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව බව උන්වහන්සේ විසින් ලබා දුන් තෙවන උපදෙසයි. එය බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව යි. මෙය ධම්මචක්ක පවත්තන සූත්‍රය හෙවත් දම්සක් පැවතුම් සූත්‍රය ලෙස හඳුන්වයි. පළමු වරට එම දේශනා ඇසු කොණ්ඩඤ්ඤ තවුසාණෝ සෝවාන් ඵලයට පත් වූහ.


ඇසළ පෙරහර

ඇසළ මාසයේ අපේ රටේ බොහෝ පෙරහර පැවැත්වේ. පෙරහර අතර ශ්‍රී දළදා පෙරහර ප්‍රධාන ය. බෙල්ලන්විල, කැලණිය, දෙවිනුවර, කෝට්ටේ රජමහා විහාරයන්හිදී ද වාර්ෂිකව පෙරහර පැවැත්වේ. මහනුවර දළදා පෙරහර ආරම්භ වන්නේ කප් සිටුවීමෙනි. දළදා පෙරහරේ විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් සහභාගි කරගන්නා අතර, කසකරුවන්, ගිනි බෝලකරුවන්, මුතුකුඩ , සේසත් දරන්නන් උඩරට , පහතරට නැටුම් කණ්ඩායම් ද පෙරහර විචිත්‍රවත් කරයි. පෙරහර නැරඹීමට නන් දෙසින් සෙනඟ එක් රොක් වන අතර, එය අපට ආගමික වශයෙන් ඉතා වැදගත් ය. දේශීය, සංස්කෘතිය හා කලාව රැක ගැනීමට ඇසළ පෙරහර මහත් පිටුවහලක් වන්නේ ය. අපේ උරුමය රැක දෙන මහනුවර ශ්‍රී දළදා පෙරහර චිරාත් කාලයක් පවතීවා!


ප්‍රථම දම් දෙසුම

බුද්ධත්වයෙන් සති කීපයකට පසු, ඇසළ පුන් පෝ දාක සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවට අනුව තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සඳහා පස්වග තවුසන් තෝරා ගත් හ. එම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. අත්තකිලමතානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් අන්තවාදි දෘෂ්ටීන් ද මේ සූත්‍රයේ දී බුදුරදුන් ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට මධ්‍යම පතිපදා මාර්ගය ඉදිරිපත් කළහ. දුකත් ,දුකට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැතිකරන මාර්ගයත්, විස්තර කරමින් චතුරාර්ය සත්‍යය දේශනාව වදාළහ. ලොව සියල්ල හේතු ප්‍රත්‍ය අනුව හටගන්නා බවත්, හේතු නැතිවීමෙන් නැතිවී යන බවත් දේශනා කළහ. අනාත්ම ලක්ෂණ දේශනාවෙතින් සමකාලීන න්‍යෂ්ටික බලවේගය බවට පත්ව තිබු ආත්මවාදය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ද, දුක් වූ ද, අනාත්ම වු ද, පඤ්චස්ඛන්ධය හැර හැම කල්හි ම නො වෙනස්ව පවත්නා වු ආත්මයක් නැත යන අනාත්මවාදි සංකල්පය . එමගින් ලොවට හෙලි කළහ.


ලෝකය ඒකාලෝක විය

බුදුරජාණන් වහන්සේට ප්‍රථම ධර්ම දේශනාවට ආරාධනා කරන ලද්දේ සහම්පති මහා බ්‍රහ්මයා විසිනි. ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද්දේ ඇසළ පුන් පොහෝ දිනක බරණැස ඉසිපතනාරාමයේ දී ය. පස්වග මහණුන්හට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වු අතර මුලින්ම සෝවාන් ඵලය ලැබුවේ කොණ්ඩඤ්ඤ තවුසාණන් ය. ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය නමින් ද හැඳින්වේ.


බුදුරදුන්ගේ ඥාන

ඇසළ පුන් පොහෝදා බරණැස ඉසිපතනයේ දී පස්වග තවුසන්ට වදාළ ප්‍රථම දේශනය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවයි. අත්හළ යුතු අන්ත දෙක, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන කරුණු මෙහි ඇතුළත් ය. සිව්සස් දහමෙහි , සත්‍ය ඥන, කෘත්‍යඥාන, කෘතඥන යන ඥාන තුන සහිත චතුරාර්ය සත්‍ය පිළිබඳව දොළොස් වැදෑරුම් ඥාන බුදුරජාණන් වහන්සේ ලැබූ බව මෙම දේශනාවේ සඳහන්ව ඇත. මිනිස් ලොව මිනිසුන් පස් දෙනෙකු පමණක් ඇසූ ඒ දහම දෙව්ලොව කෝටි ගණනක් දෙවිවරු අසා ධර්මය අවබෝධ කළ බව සඳහන් ය.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජික , සාමාජිකාවනි, පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න

02). ඔබ කැමැති එක් බ්‍රහ්ම විහරණ ගුණයන් ගැන කෙටි විස්තරයක් ලියන්න.