UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාලපණ්ඩිත සූත්‍රය: සක්විති රජු ලද සතර සෘද්ධි

බාලපණ්ඩිත සූත්‍රය:

සක්විති රජු ලද සතර සෘද්ධි

මේ රජුට අශ්ව රත්නයකුත් ලැබෙනවා. ඒ අශ්වයාත් මුළුමනින්ම සුදු පාටයි. හිස කළු පාටයි. මෘදු තණ කොළ බඳු කෙස් තිබෙන්නේ.ඍද්ධිමත්. අහසින් යන්න පුළුවන්. එයා වලාහක වර්ගයේ අශ්ව රාජයෙක්. ඒ වගේම අජානීය අශ්වයෙක් .ඒ අශ්වයා දුටුසැනින් රජුගේ හිත පැහැදිලා මේ අශ්වයා දමනය කරගන්න තියෙනවානම් බොහොම හොඳයි කියල හිතෙනවා . ඒ සිතූ ආකාරයටම එයා දමනය වෙනවා.

ඊළඟට මේ රජුට මාණික්‍ය රත්නයක් ලැබෙනවා. ඒ මැණික වෛරෝඩියක්. හරිම ලස්සනයි. හොඳට ඔපමට්ටම් කර තිබෙනවා. අටසකින් යුක්තයි. එය වටේට යොදුනක් ඈතට ( කිලෝ මීටර් 10 ක්) එළිය විහිදුවනවා. සක්විති රජු මේ මාණික්‍ය රත්නයේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා චතුරංග සේනාව සන්නද්ධ කරගෙන ඒ මාණික්‍ය රත්නය කොඩිය මුදුනේ රඳවාගෙන ඝන අඳුරේම නික්ම යනවා. ඒ අවට ගම්වල මිනිස්සු ඒ ආලෝකය දුටු පසු දහවල පැමිණ ඇතැයි සිතා අවදි වී වැඩ කටයුතු පටන් ගන්නවා.

ඊළඟට මේ සක්විති රජුට ස්ත්‍රී රත්නයක් ලැබෙනවා. ඇය හරිම රූපසම්පන්නයි. උසත් නැහැ. මිටිත් නැහැ. කෙට්ටුත් නැහැ. මහතත් නැහැ. කළුත් නැහැ. සුදුත් නැහැ. මිනිස් පැහැය ඉක්මවා ගිහිල්ලත් නැහැ. දිව්‍ය වර්ණයට ඇවිල්ලත් නැහැ. මේ ස්ත්‍රී රත්නයේ කායික පහස මෙන්න මේ වගේ කියනවා. හොඳින් පොලන ලද හිඹුල් පුළුන් වගේ කියනවා. ඒ ස්ත්‍රී රත්නයේ පාද සීතල වෙලාවට උණුසුම් වෙනවා. උණුසුම් වෙලාවට සීතල වෙනවා. ශරීරයෙන් සුවඳ හමනවා. මුඛයෙන් හමන්නේ මානෙල් සුවඳයි. ඒ වගේම ස්ත්‍රී රත්නය සක්විති රජු නැගිටින්නට පෙර නැගිටිනවා. එතුමා නින්දට ගිය පසුවයි නින්දට යන්නේ. කුමක් කළ යුතුද කියලා නිතර විමසනවා. සතුටු වෙන දෙයක්මයි කරන්නේ. පි‍්‍රයමනාප වදන් පවසනවා. ඒ ස්ත්‍රී රත්නය සිහිනෙකින්වත් රජතුමා ඉක්මවා යන්නේ නැහැ. ඉතින් කයින් ඉක්මවීම ගැන කවර කතාද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා.

වර්තමානය දෙස බැලීමේ දී ස්ත්‍රියකගේ ස්වරූපය, ස්වාමි දියණියකගේ කාර්යභාරය මෙහි දී ලස්සනට විග්‍රහ කෙරෙනවා.

මේ සක්විති රජුට ගෘහපති රත්නයක් ලැබෙනවා. ඔහුට දිවැස් තියෙනවා. හේ අයිතිකාරයෙක් නැති අයිතිකරුවන් සිටින නිධන් වස්තු සොයාගන්නවා. ඉන්පසු රජු ළඟට ඇවිත් කියනවා ‘දේවයන් වහන්ස ඔබ වහන්සේ මහන්සි වෙන්න එපා ධනයෙන් කුමක් හෝ වුවමනාවක් තියෙනවානම් මම එය ඉටු කර දෙන්නම්” කියනවා. සක්විති රජ්ජුරුවෝ ගෘහපති රත්නයට කියන ආකාරයටම කටයුතු කරනවාදැයි පරික්ෂා කර බැලීම සඳහා නැවකට නැග ගඟ මැදට ගිහින් ගෘහපති රත්නයට කියනවා ‘මට දැන් රන් රිදීවල අවශ්‍යතාවක් තියෙනවා” කියලා. එවිට එතුමා කියනවා “එසේ නම් රජතුමනි නැව ඉවුරකට අයින් කරන්න” කියලා .

එවිට කියනවා “නැව ඉවුරකට අයින් කරන්න අවශ්‍ය නැහැ මට දැන් මෙතැනදී ම රිදී අවශ්‍යයි” කියලා. එවිට ගෘහපති රත්නය අත්දෙකෙන් ජලය ස්පර්ශ කරලා රත්තරන් පිරුණු කළයක් රජුට ගෙනැවිත් දෙනවා. ගෙනැවිත් දීල අහනවා” “මෙය ප්‍රමාණවත් ද?” මෙපමණකින් මම ඔබ තුමාට කරන සේවය ප්‍රමාණවත් ද? මම ඔබතුමාට කරන පිදීම ප්‍රමාණවත්ද? “ කියලා. ඔව් ඔව් මෙපමණකින් ප්‍රමාණවත්. මෙපමණකින් පිදුවා වෙනවා කියලා සක්විති රජු කියනවා.

සක්විති රජුට පුත්‍ර රත්නයක් ලැබෙනවා. බොහෝ ප්‍රඥාවන්තයි. දක්ෂයි. සක්විති රජු ළඟට එවිය යුත්තේ කවුද? එවීමට සුදුසු නැත්තේ කවුද කියලා හොඳින් දන්නවා.තනතුරේ තිබිය යුත්තේ කවුද? ඉවත් කළ යුත්තේ කවුද? යන්න පිළිබඳවත් ඔහුට මනා වැටහීමක් තියෙනවා.

ඊළඟට සක්විති රජුට ඍද්ධි හතරක් ලැබෙනවා. එයින් පළමු වැන්න වන්නේ රජු ඉතාමත් දැකුම්කළුයි.

දෙවැනි ඍද්ධිය වන්නේ සක්විති රජු දීර්ඝායු සම්පත්තියෙන් යුක්තයි. අනෙක් මිනිසුන්ට වඩා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ඊළඟට තුන්වැනි ඍද්ධිය එතුමා අල්පාබාධයෙන් යුක්තයි. රෝග පීඩා නැහැ. අනෙක්

කරුණ සක්විති රජු බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට හරිම පි‍්‍රය මනාපයි.

මෙය තමයි සිව්වැනි ඍද්ධිය.

බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි, මේ සප්ත රත්නයෙන් හා සතර ඍද්ධියෙන් යුක්ත වීම නිසා සක්විති රජු යම් සැපක් සොම්නසක් විඳීනවාද? මේ පිළිබඳව ඔබ කුමක් සිතන්නේද? කියලා. අනේ ස්වාමීනි මේ එක රත්නයක් තිබුණත් සක්විති රජු බොහෝ සැප සොම්නස් විඳිනවා. එහෙමනම් සප්ත රත්නයක් තිබෙනා විට මොනතරම් සැපයක්, සොම්නසක් විඳිනවද? ඒ ගැන කවර කතාද?” කියලා අහනවා. එවිට බුදුරජාණන් වහන්සේ අතින් මිට මොළවා ගත හැකි ප්‍රමාණයේ කුඩා ගලක් අරගෙන අහනවා. “පින්වත් මහණෙනි මේ ගැන මොකද හිතන්නේ” කියලා. මා ළඟ තියෙන මේ පොඩි ගලද විශාල ? නැතිනම් හිමාල පර්වත රාජයාද? විශාල” කියලා අහනවා. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතින් මිට මොළවාගෙන ඉන්න ගල් කැබැල්ල හරිම කුඩායි. හිමාල පර්වත රාජයා සමඟ සසඳා බැලීමේ දී ගණන් කරලා කියන්න බැහැ කියනවා. එහෙමනම් සක්විති රජු සප්ත රත්නයකින් සහ ඍද්ධි සතරකින් යම් සැපයක් සොම්නසක් විඳිනවා නම් එය දිව්‍ය සැප සමඟ සසඳා බැලීමේ දී ගණනකට ගන්න බැහැ කියනවා. කොපමණ ප්‍රමාණයක්ද කියලා කියන්න බැහැ කියනවා.

සත්පුරුෂ නුවණැත්තා බොහෝ කාලයක් දෙව්ලොව සැප විඳීමෙන් අනතුරුව මනුෂ්‍ය ආත්ම භාවයකට පැමිණෙන අවස්ථාවක් ඇතිවෙන්න පුළුවන් කියනවා. ඒ අවස්ථාවේදී ඔහු උපදින්නේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ , මහාසාර කුලවල, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය බොහෝ සැප සම්පත් ඇතිවයි. ජීවත් වෙන්නේ. බොහෝ රූප සම්පත්තියෙන් යුක්තයි. ආහාර පාන, වස්ත්‍රාභරණ, යානවාහන, සුවඳ විලවුන් ගෙවල් දොරවල් උතුම් විදිහට එයාට ලැබෙනවා.

ඔහු මනුෂ්‍ය ආත්මයේදීත් කයෙන්, වචනයෙන් , මනසින් යහපතෙහි හැසිරිලා කය බිඳිලා මැරුණට පස්සේ සුගති සංඛ්‍යාත දෙව්ලොවක උපත ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ දෙයක් කියලා. “සූදුකාරයෙක් පළමු ජයග්‍රහණයෙන්ම මහත් වූ භෝගස්කන්ධයක් ලබාගන්නවා නම් ඒක අල්ප වූ ජයග්‍රහණයක් කියනවා. යම්කිසි විදියකින් සත්පුරුෂ නුවණැත්තා කයෙන් ,වචනයෙන් , මනසින් යහපතෙහි හැසිර කය බිඳී මරණයට පත්වුණාට පසුව සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා නම්, ඒක තමයි කියනවා අර ජයග්‍රහණයන්ට වඩා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය කියලා.

බුදුරජාණන් වහන්සේ විසින් එදා සිදු කළ මේ දේශනාව මිහිඳු හිමියන් දේශනා කළ මුල් දේශනාවලට ඇතුළත් වෙනවා.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]