UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරණාගමනයෙහි විපුල ඵල

සරණාගමනයෙහි විපුල ඵල

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භය තජ්ජිතා

නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සරණ මුත්තමං
නෙතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති

ශ්‍රද්ධාවන්ත සාධුනි,

සකල සතවෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්ගි දත්ත තම් පුරෝහිත බමුණාගේ තවුස්දම් පිරීම නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

දඹදිව සොළොස් මහ ජනපදයන් අතර කෝසළ රාජ්‍ය පාලක වූ කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්න තාවයෙන් ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසනය කළහ. මෙම රජතුමාගේ අනුශාසක හෙවත් පුරෝහිත අග්ගිදත්ත නම් බමුණා මහරජුගේ අභාවයෙන් පසුව පුත්‍ර රාජකුමාරයාටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කළේය. ක්‍රමයෙන් මහලුවයසට පැමිණි විට රජතුමාගෙන් අවසර ගෙන තාපස පැවිද්දෙක්ව සහපිරිවරින් ආශ්‍රමයක විසූහ. මගධ හා කූරුරට ආශි‍්‍රතව විශාල පිරිසක් මොහුගේ තවුස් පිළිවෙතට පැහැදී ශ්‍රාවක බවට පත්වූහ.

අග්ගිදත්ත තාපසතුමා තම ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ, යමෙකුට රාගාදී කෙලෙස් හැඟීමක් පහළවූවිට එය සිතින් බැහැර කිරීමට නියමිත ස්ථානයකට වැලිගොටුවක් දැමිය යුතුය යන සම්මතය නියම කළහ. තම තමන්ට බියක්, සැකයක්, ත්‍රාසයක් ඇති වූ විට ආරාම, වෘක්ෂ, පර්වත, චෛත්‍ය සරණ යන ලෙස ද දේශනා කළේය.

අප බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙත මහාකරුණාවෙන් බලා වදාරණසේක් මෙම අග්ගිදත්ත තවුසාණන් ඇතුළු පිරිසගේ අධිගම කුසලතාවය දැක ප්‍රථමයෙන් මුගලන් මහරහතන් වහන්සේ එහි යවා පසුව තමන් වහන්සේ වැඩිසේක. බොහෝ දෙනාගේ සැලකිල්ලට මෙන්ම භීතියට පාත්‍ර වූ නාගරාජයා දමනය කළ මුගලන් රහතන්වහන්සේ එම වැලිගොඩ මතම වැඩ සිට එම නාරජුගෙන් ගරු බුහුමන් ලැබූහ.

අනතුරුව අප බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමවා මෙම ගාථාධර්මය දේශනාකොට වදාළ සේක. බොහෝ මිනිස්සු බියෙන්, තැතිගැනීමෙන් ආරාම, වෘක්ෂ, පර්වත, චෛත්‍ය සරණ යති. එහෙත් එම සරණ යාමෙන් පිහිටක් නොලබති. යමෙක් බුදුන්, දහම්, සඟුන් සරණ යන්නේ නම්, එය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතුවන්නේ ය. සියලු දුකින් මිදෙන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර මානව සමාජයට ඒකායන සරණවූයේ සොබාදහමේ ප්‍රධානව පවතින භෞතික වස්තූන් හා එම බලය ආරෝපණය කළ ජීවාත්මයන්ට බව ප්‍රකටවන්නේ ය.

සත්‍ය මෝහාන්ධකාරයෙන් ආවරණය වූ ලෝකය තුළ ජීවත්වන සත්ත්වයන්ට එකම පිහිට අසත්‍ය ධර්මය හෙවත් මිථ්‍යා දෘෂ්ටියයි. සත්වයා මෙම මිථ්‍යාදෘෂ්ටිය හිස දරාගෙන පැමිණි ගමන් මාර්ගයේ කෙතරම් සම්බාධකවලට මුහුණ පාන්නට ඇද්ද? එහෙත් බුදු රජාණන් වහන්සේ නමක් ලොවට පහළ වී සත්‍ය ධර්මාලෝකය සත්වයන්ට ලැබෙනවිට ඇතිවන ශාන්තිය, සහනය අපමණ ය. අතීත බුදුවරුන්ගේ ගමන් මාර්ගය අවංකව, සත්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රඥාවෙන් හා පරමාර්ථකාමී මහා කරුණාවෙන් කල්ප ගණන් සසර සැරිසරා, පාරමීදම් පුරා බුදුකෙනෙක් ලොවට පහළවනසේක.

අප ගෞතම සර්වඥයන් වහන්සේ ලොව්තුරා බුදුබව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍රධර්ම දේශනාව පැවැත්වූ විට එම අවස්ථාවේ දී ම එය අවබෝධ කරගත් කොණ්ඩඤ්ඤ තවුසාණන්ගේ පටන් මේ දක්වා කෙතරම් කෙනෙක් තිසරණ සරණ ගතව සහනය ලබන්නට ඇත්දැයි සිතීමට පවා නොහැක. ඒ සියලු සත්වයෝ,

යෙ කේචි බුද්ධං සරණං ගතාසෙ
න තෙ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දෙහං
දෙව කායං පරිපූරෙස්සන්ති.

ආදී නයින් මහා සමය සූත්‍රාන්ත ධර්මදේශනාව අනුව සතර අපායාදී අතිභයංකාර ලෝකවල ආත්මය නොඉපිදී දේව මනුසිකාදී සැපසම්පත් ලබා ගනිති. එමෙන්ම බුද්ධාදී උතුම් තෙරුවන් පිළිබඳ අවංක ශ්‍රද්ධාවෙන් සරණයාම කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කර සදාකාලික නිවන් සුවයෙන් සැනසෙන්නට පුළුවන.

සංසාර සාගරයට ගෙනයන ප්‍රධානතම උපකාරකය වන තණ්හාවත්, ආත්ම දෘෂ්ටියත් සිතින් අයින් කර ගන්නට නම් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යායුතුම වන්නේ ය.

සරණ, සරණාගමන, සරණාගමනඵල, අනුස්සති භාවනාව යන කරුණු පිළිබඳව හොඳ අවබෝධයෙන් ම සරණාගමනය යන්නේ නම්, ඕනෑම කෙනෙකුට එකෙණෙහිම එයින් ලැබෙන විපුල ප්‍රයෝජන ලබාගත හැක.

යොච බුද්දංච ධම්මංච
සංඝංච සරණං ගතො
චත්තාරි අරියසච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති

යමෙක් බුදුන් දහම්, සඟුන් සරණ යන්නේ නම්, එයම පාදක කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ ය. බුද්ධාදී තෙරුවන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නේ සෝවාන් මාර්ගයට පැමිණි පසුබව බුද්ධ දේශනාවේ සඳහන් වන අතර එතෙක් ශ්‍රද්ධාවන්තයාගේ අනුමාන ඤාණය නිසා සතර අපායේ ඉපදීමක් සිදුවන්නේ නැත. පංචානන්තරියාදී මහා පාප කර්මයන්ගෙන් තොරව ශ්‍රද්ධා ප්‍රඥා දෙකින් තෙරුවන් ආශ්‍රය, නිශ්‍රය, භජනය, වන්දන මානන පූජා කිරීමෙන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති යන අනුස්සති භාවනාවෙන් කාමච්ඡන්දාදී නීවරණයන් තදංගවශයෙන් යටපත් කරමින් ක්‍රමයෙන් ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන සිත් උපදවා සමුච්ඡේද ප්‍රහාණයෙන් ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කොට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් උතුම් නිවන් සුවයෙන් සැනසීමට පුළුවන.

ඔබ සැමට තෙරුවන් සරණින් බව දුක් නිවේවා.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]