UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං
A_Strap

පිණිකහනේ අනෝම නා හිමි

පිණිකහනේ ශ්‍රී අනෝම නාහිමිපාණන් වහන්සේ 66 වන ජන්ම දිනයට පා තැබීම ජූලි 12 වන දිනට යෙදී තිබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිණිකහන ග්‍රාම සේවා වසමට අයත් තුංඅදේ නම් වූ කුඩා ගම් පියසෙහි ජීවත් වූ සැදැහැති බෞද්ධ උපාසක දෙපළක්වූ අකුරටිය ගමගේ ඇඩ්වින් මහතා හා බේබිනෝනා ගුරුසිංහ මහෝපාසිකා මාතාවට දාව 1953 ක් වූ ජූලි මස 12 වන දින නාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලදහ. තණබද්දේගම රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වයස අවුරුදු දහයේ දී තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ගාලු මාතර දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1963 දෙසැම්බර් 12 දින පැවිදි දිවියට ඇතුළත්වූහ. දකුණු පළාතේ ශ්‍රේෂ්ඨ පැවිදි පඬිවරයන් රැසක් බිහිකළ බද්දේගම ගණේගම ශ්‍රී රතනසාර පිරිවෙනට ඇතුළත්ව ගණේගම ශ්‍රී සරණංකර නා හිමියන්ගේ පා සෙවනේ උගතමනා බණ දහම් ඇතිව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූහ. කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර නාහිමි පනම්ගල ශ්‍රී ජිනරතන නා හිමි යටතේ උසස් අධ්‍යාපනය ලබාගන්නා ලදී. 1973 ජූනි 08 දින මහනුවර මල්වතු මහා විහාරයේ දී මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ.

1974 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්හ. 1978 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ලබාගත්හ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ අතර 1983 වසරේ උපාධිධාරී ගුරුවරයෙකු ලෙස ත්‍රිකුණාමල සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ සේවයට යොමු විය. වසර පහක ගුරු සේවයෙන් පසු 1989 දී විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ පත්වීමක් ලැබීමෙන් ත්‍රිකුණාමල සිංහල මධ්‍ය මහා විද්‍යාලයේම විදුහල්පති ධූරයට පත්විය.

1996 දී කළුතර අධ්‍යාපන කලාපයට අයත් අලුත්ගම දර්ගා නගරයේ මාලේවන ශ්‍රී ඤාණිස්සර රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස ද කොළඹ 12 ඒ ඊ ගුණසිංහ විද්‍යාලයේ විදුහල්පති ලෙස සුවිශේෂී සේවයක් කළහ. තම ගුරු දේව නාහිමිපාණන් වහන්සේ දැඩිසේ, රෝගී තත්ත්වයට පත්වීමෙන් පසු 2009 වසරේ සේවයෙන් විශ්‍රාම ලබා ගත්හ. ගුරුදේව නාහිමිපාණන් වහන්සේට ඇප උපස්ථාන කරමින් දායකකාරකාදීන්ගේ හා ප්‍රදේශයේ කුදු මහත් ආගමික හා ජාතික වශයෙන් සේවාවක් සිදුකරලීමට ඉඩ හසර ලබා ගත්හ. විහාරස්ථ ශ්‍රී ධර්මානන්ද ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා ලෙසත්, විචිත්‍රවත් ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසත් මහජනතාවගේ ප්‍රසාදය දිනා ගත්හ.

2011 දී ගුරුදේව පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය හා කහදණ්ඩාඇළ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරද්වයේ විහාරාධිපති පදවියට පත් නාහිමිපාණන් වහන්සේ වෙත මහනුවර මල්වතු විහාරීය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශවත් වර්ගික කාරක සංඝ සභාව විසින් 2011 ජූලි 29 දින ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ධර්ම කීර්ති ශ්‍රී රාහුල සද්ධාතිස්ස යන ගෞරව නාමය සහිතව පිරිනමා ඇත.

විහාරස්ථානය විවිධ විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කරවා ප්‍රදේශයේ රමණීය විහාරස්ථානයක් බවට පත්කර ඇත. තම දිවි මගේ හැටහයවන වියට පාතැබූ පූජනීය පිණිකහනේ ශ්‍රී අනෝම නාහිමිපාණන් වහන්සේට ආශීර්වාද පතා දායකකාරදීන් හා ශ්‍රී ධර්මානන්ද ධර්ම විද්‍යාලයේ ගුරු සිසු දෙපිරිස එක්ව විශේෂ ආගමික වැඩසටහන් රාශියක් ජූලි 12 වන දින තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගීව ශාසනික කටයුතු ඉදිරියට ගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.


වස්කඩුවේ මහින්දවංශ නා හිමි

බුදු දහමේ අනාගත චිරස්තිථිය උදෙසා අප්‍රමාණ වූ දායකත්වය දක්වන භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ශාස්ත්‍රපති පණ්ඩිත වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් සිහිපත් කළ හැකි ය.

උන්වහන්සේගේ මව්පියන් කළුතර වස්කඩුවේ පදිංචිව සිටි බෞද්ධ ශික්ෂණයෙන් මානව ජීවිතය හැඩ ගසා ගත් දම්පතීන් යුවළක් වූ එම්.එස්. කරුණාතිලක සහ කේ.ආර්.සී. සිල්වා දෙපළ වේ.

1953 ජූලි 21 වැනිදා පින්වත් පුත්‍ර රත්නයක් උපන්නහ. ඔහුට සරත් චන්ද්‍රසිරි යැයි නම් තැබුවේ ගමේ පන්සලේ වැඩ විසූ නාහිමියන් ය.

සුපතළ අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු, යතිවරයෙකු, වූ රාජගුරු ශ්‍රී සුභූති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වස්කඩුවේ මහින්ද වංශ නාහිමියන්ගේ මව් පාර්ශ්වයෙන් ඤාතිත්වයක් පැවතිණි. මහින්දවංශ මහා නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වන්නේ දෙමාපිය යුවළගේ ඒකමතික ආශීර්වාදයෙන් ය. ඒ 1965 පොසොන් මස 10 වෙනිදා වස්කඩුවේ ශ්‍රී සුභූති අභිනවාරාම මහ වෙහෙරේ එවකට විහාරාධිපතිත්වය ඉසිලූ වස්කඩුවේ සීලවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනේ රාජකීය පණ්ඩිත දේවානන්ද අධිකරණ සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ‘වස්කඩුවේ මහින්දවංශ’ යන නාමයෙනි.

අනතුරුව උන්වහන්සේ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ වැඩ වාසය කරමින් මූලික අධ්‍යාපනය ඇරඹී ය. ඉනික්බිති වැඩිදුර අධ්‍යාපනය සඳහා පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විද්‍යායතනයට ඇතුළත්ව පාලි, සංස්කෘත, ප්‍රාචීන ආදී භාෂාවන් මෙන්ම භික්ෂුවකට අවශ්‍ය ප්‍රාරම්භ, මධ්‍ය සහ අවසාන වශයෙන් 1974 වසරේ මූලික අධ්‍යාපන කටයුතු නිම කළේ ය.

1974 පොසොන් මස 10 වන දින උපසම්පදාවට වස්කඩුවේ මහින්දවංශ හිමියන් ඇතුළත් වන අතර එතැන්හි දී උන්වහන්සේ අධිෂ්ඨානය කොට ගන්නේ ‘හැම විටම කිසියම් වගකීමක් දරන්නට පෙර තමන් ඒ සඳහා සුදුස්සෙකු විය යුතු ය යන්නයි. ඒ අනුව යමින් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. ඉනික්බිති තව දුරටත් අධ්‍යාපනයේ නියැළෙමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, එම සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.

මේ වන විට උන්වහන්සේ ගරු බුහුමන් සම්මාන ප්‍රධානයන් ලබමින් වැඩ වාසය සිටියද ඒ සියල්ලටම වඩා ජනතාව වෙත සේවය කිරීම උන්වහන්සේගේ ප්‍රාර්ථනයයි.

එමෙන්ම 1993 වසරේ දී සුපතළ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ අධිපතිත්වය මහින්දවංශ නා හිමියන්ට පැවරිණ. එපමණක් නොව පානදුරේ පින්වත්තේ සද්ධර්මාකර පිරිවනේ ආචාර්යත්වයෙන් 1982 සිට 1991 දක්වා හික්කඩුවේ තලාගස්දෙනිය ශ්‍රී සෝරත පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර උන්වහන්සේ ඉන් ඉවත් වූයේ සිය ආචාර්යවරයෙකු වශයෙන් වස්කඩුවේ ශීලවංශ නාහිමියන් බලවත්ව රෝගාතුර වූ නිසාම ය.

1992 වසරේ දී රාජ්‍ය සේවයට එක් වෙමින් මහින්දවංශ හිමියන් කළුතර ශාන්ත ජෝන් විද්‍යාලය, පොතුපිටිය මහා විද්‍යාලය ආදියෙහි සේවය කිරීමෙන් අනතුරුව වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විද්‍යාලයට පත්වන්නේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ය. ශාස්ත්‍රපති පණ්ඩිත වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේට දීර්ඝායු ලැබේවා!

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]