Print this Article


රැයෙහි දුම් දමන තුඹස

වම්මික සූත්‍රය

රැයෙහි දුම් දමන තුඹස

" අභාවිත සිතක් තිබෙන අප ‘මම’, මගේ කය’, මට අයිති අය, කියා තමන්ගේ කයටත්, අන් අයගේ කයටත් බැඳී වෙනස් නොවන සිතකින් එය උපාදානය කරගෙන ජීවිත පවත්වන්න උත්සාහ කරනවා. ඔබට වැටහෙන ආකාරයට නම් මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන් ඔවුනොවුන් කෙරෙහි ඇස් දෙකින් ඇති කරගන්නා වූ ප්‍රියභාවයත්, කන් දෙකින් ඇති කරගන්නා වූ ප්‍රියභාවයත් ආදී වශයෙන් මේවා දැක්විය හැකියි. "

මනුෂ්‍ය සිරුරට උපමා කළ තුඹසේ කතාව අප තවදුරටත් මේ ආකාරයෙන් විස්තර කර ගනිමු.

එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ පන්සියයක් නමකට විදර්ශනා වැඩීම පිණිස දේශනා කළ දහම් කතාවේ දී මේ ශරීරය හෙවත් ස්කන්ධ පංචකය උපමා කළේ බිඳෙන මැටි කළයකට ය. “කුම්භූපමං කාය මිමං විදිත්වා” මේ කය බිඳෙන මැටිකළයක් බඳු උපමා කොට සිතන්නට යැයි දැක්වූවා. ලෝහිත සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ බඹයක් පමණ වූ මේ ශරීරය තුළ සංඥාව පවතිනවා. බඹයක් පමණ වූ සංඥා සහිත මේ ශරීරයෙන් ම භයානක වූ, ගෝර වූ සසර දුකින් අත්මිදීම පිණිස දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමත්, මිදීමේ මාර්ගයත් මේ ස්කන්ධ පංචකය හෙවත් කයෙන් ම දැකගන්නට පුළුවනි යන අදහසයි.

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි දී තුඹස යන වචනයෙන් මේ කය උපමාකොට පැහැදිලි කරනු ලැබුවා. මවුපියන් නිසා කලලය වැඩුණා, අම්මාගේ කුසේ පටන් ම දස මාසයකට ආසන්න කාලයක් පුරා කලලය, පේශීය ආදී වශයෙන් වැඩෙන්නට වෙනවා. මෙලොව ඉපදුණු ඒ සත්ත්වයා මනුෂ්‍යයෙක් හැටියට තමා ම ආහාර පාන අරගෙන වැඩෙනවා. එහෙත් එහි ඇති යථා ස්වභාවය කුමක් ද? “උප්පාද, ඨිති, භංග” යන අවස්ථා තුනයි. එනම් සෑම මෙහොතක් පාසා ම මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත කය හට ගනිමින්, බිඳෙමින්, නැතිවී යන ස්වභාවයමයි.

මොනතරම් කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් පවත්වාගන්නට උත්සාහ කළත් සම්මතයේ තාවකාලිකව පවතිනවා යැයි පෙනුණත්, දැනුණත් යථා ස්වභාවය නම් “ ක්ෂණභංගු රත්නයට” පත්වීමයි. ක්ෂණභංගු රත්නයට පත්වීම නම් ක්ෂණයක්, ක්ෂණයක් පාසා බිඳී යෑමයි. සම්මතය තුළ මොනතරම් “මම” “මගේ” කියා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් විදර්ශනා නුවණින් මෙනෙහි කරනවිට එහි පැවැත්මක් හෝ නැවත්මක් නැතිබවත්, ඇත්තේ බිඳී යෑමක් ම බව නුවණින් දැකගත හැකි යි.

මේ මොහොතෙහි පවතින ආරම්මණය ඊළඟ මොහොතට සකස් වන්නේ මේ මොහොතේ පැවතුණ ආරම්මණයන්ගෙන් හටගත් චිත්ත ශක්තිය ඊළඟ ආරම්මණයට අවස්ථාව සලසාදීමෙනුයි. ‘භංග‘ නම් වූ බිඳී යෑමේ දී ඒ අතීත සංඥාවෙන් සකස් වූ ආරම්මණයේ පවතින්නේ අතීත සංඥාවක් විනා සැබෑම ආරම්මණය නොවේ. එය බිඳී අවසන්ව පවතින්නේ. විදර්ශනාවේ දී සම්මතය තුළ පවතිනවා යැයි සම්මත වචනවලින් හා සිතිවිලිවලින් පැවසුවත්, සිතා ගත්තත්, හැබෑවට ම දකින්නේ හැම ආරම්මණයක් කෙරෙහි ම සිතින් ඇති කර ගන්නා වූ සිතිවිලි කර්ම හට අරගෙන බිඳී යන ස්වභාවයයි.

පළමු අවස්ථාවට අනුරූපව දෙවැනි අවස්ථාව ඊළඟ ආරම්මණය සකස් වෙනවා. නමුත් පළමු ආරම්මණයට සකස් වූ ශක්තිය එතැනින් අවසන්වී අවසන්. නමුත් අභාවිත සිතක් තිබෙන අප ‘මම’, මගේ කය’, මට අයිති අය, කියා තමන්ගේ කයටත්, අන් අයගේ කයටත් බැඳී වෙනස් නොවන සිතකින් එය උපාදානය කරගෙන ජීවිත පවත්වන්න උත්සාහ කරනවා. ඔබට වැටහෙන ආකාරයට නම් මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන් ඔවුනොවුන් කෙරෙහි ඇස් දෙකින් ඇති කරගන්නා වූ ප්‍රියභාවයත්, කන් දෙකින් ඇති කරගන්නා වූ ප්‍රියභාවයත් ආදී වශයෙන් මේවා දැක්විය හැකියි.

තමාගේ ශරීරය තමන්ට ඕනෑ ආකාරයෙන් පවතින්නට නොහැකිව තවත් අයකුගේ කයක් කෙරෙහි එසේ පාලනයක් ඇති කරගත නොහැකි බව විදර්ශනා නුවණින් මෙනෙහි කරන විට සිතට පැහැදිලි විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙහි දී මේ තුඹස කියා සඳහන් කළේ මෙන්න මේ බිඳීයන ස්වභාවය ඇති ස්ථිර බවක් නැති මේ ශරීරයටයි.

මීළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුව රාත්‍රියේ හිත හිත ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. දවල් කාලයේ කරන්න ඕනෑ දේ ගැනයි. ඒකටයි රෑ කාලයේ දුම් දමනවා කියා කියන්නේ. මේ කතාවත් නුවණින් පැහැදිලිකර ගත යුතුයි.

අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා රාත්‍රිය කාලයේ ම හිත හිතා, කල්පනා කරමින් සිටින්නේ මොනවා ද? අතීත වශයෙන් කළ කී දෑ ගැන මෙනෙහි කරනවා. මම කළේ මොනවා ද? නොකළේ මොනවා ද? අභාවිත සිත් පවතින අය එනම්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් කොට මේ ස්කන්ධ පංචකය, එනම් ශරීරය දෙස දහම් ඇසින් දකින්න සිත පුරුදු නොකළ අයෙක් බොහෝ විට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව කළ දේ සිතූ දේ මෙනෙහි කරන්න පුළුවන්.

ලෝභයෙන් ඇළුණු දේ, ද්වේශයෙන් ගැටුණු දේ, මෝහයම මුල් කොට සිතමින් සමහර දේ පිළිබඳව ඇළෙනවා. සමහර දේ කෙරෙහි ගැටෙමින් නැවත නැවත තරහව, වෛරය ඇති කරගන්න පුළුවනි. එය මේ වගෙයි. “මට අද මුණගැසුණු අයට සමහර විට මම ඇළුණා, බැඳුණා, මා සතු කරගතයුතුයි කියා ඉදිරියටත් ලෝභයම, ආසාවම ඒ ආරම්මණ හෙවත් වස්තුව කෙරෙහි ම පවත්වා ගන්න සිතන්න පුළුවනි”. ඒ කෙරෙහි නිමිති ඇති කරගන්න පුළුවනි. තමාගේ මුළු ජීවිතය ම බාරදෙන්න හදන්න පුළුවනි. ඒ ගැන සිත සිතා නින්ද යන්නෙ නෑ කියා කියන්න පුළුවනි. සමහර විටෙක නිදාගන්න උත්සාහ කළත් නින්දෙ දී යම් වූ ද සිහින පෙනෙන්නටත් පුළුවනි. සිහිනෙන් බිය වෙන්නත් පුළුවනි. සතුටු වෙන්නත් පුළුවනි. කෑගසන්නත් පුළුවනි. එසේ ම දවල් කාලයේ අකැමැති දේ සිදු වූවා නම්, ඒ දේ ගැන තරහවෙන්, වෛරයෙන්, අමනාපයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. ඒ ගැන සිතා තවදුරටත් තරහ දිගටම පවත්වාගෙන යන්න පුළුවනි.

කල්පනා කර බලන්න. බොහෝ අය රාත්‍රියට දවල් කාලයේ වූ දේ ගැන සිතමින් ආසාවෙන් බැඳෙන්නේ, තරහවෙන් තවදුරටත් වෛරය, ක්‍රෝධය සිතෙහි තැන්පත් කරගන්න උත්සාහ කරන්නෙත් රාත්‍රී කාලයටය. ඊළඟ දවසටත් ඒවා රැගෙන ඒ දහවල් කාලයත් ඒ ආකාරයෙන් ම පවත්වා, ඊළඟ දවසෙ රාත්‍රියත් ඒ ආකාරයෙන් ම පවත්වා ගන්නවා. මේ ආකාරයෙන් දිගින් දිගට ම ලෝභයෙන් හා ද්වේෂයෙන් ගැටෙමින් පවත්වන ගමනක් මෙතැන තිබෙන්නෙ. එපමණක් නොවෙයි, මීළඟට කල්පනා කරනවා හෙට දවසෙ දහවල් කාලයේ කරන්න ඕනෑ මොනවා ද? කියා. අද දවසෙ සිදු වූ දේ ගැන සිතා හෙට දවසට ඒවා තවදුරටත් රැගෙන යනවා වගේ ම හෙට දවසටත් සැලසුම් කරනවා.

ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් රූප, ශබ්ද ආදී අරමුණු තමන් කැමැති ආකාරයෙන් ලබන්නත් තමන් කැමැති ආකාරයෙන් පරිහරණය කර මගේ සිත සතුටු කරන්න ඕන කියා, මගේ ලෝකය දිනන්න ඕන කියා බොහෝ කෙනෙක් සිතනවා. කල්පනා කරනවා. සමහර දේ කල්පනා කරන විට ඒවා කරගන්න පුළුවනි කියා සිතා පස්පව් දස අකුසල් සමඟ සැලැසුම් කරන්න පුළුවනි. තවත් අය සමහර දේ කරගන්න බෑ කියා ඒ ගැන සුසුම්ලමින්, දුකටපත්වෙමින්, හඬමින්, නොනිදා කාලය ගත කරන්නත් පුළුවනි. සාමාන්‍ය ලෝකයා කියන ආකාරයට සුසුම් ලමින්, හූල්ලමින් රාත්‍රියේ වැඩි කාලයක් ගත කරන්නත් පුළුවනි. මේ දේ ගැන සිතලම මට නින්ද ගියේ නෑ කියා සාමාන්‍ය මනුෂ්‍යයෝ කියන්නේ මේ කතාවයි. එහෙම නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් රෑ කාලයේ හිත හිතා ඉන්නවා. කල්පනා කරමින් ඉන්නවා. දවල් කාලයේ කරන්න ඕන දේ ගැන, ඒකටයි රෑ කාලයේ දුම් දමනවා යැයි කීවේ.

ඔබටත් දැන් සිතෙන්න ඕනෙ, කුමක් ද? අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයේ බොහොමයක් මනුෂ්‍යයෝ රාත්‍රියට ධර්ම කතාවට අනුව නම් බොහෝම දුම් දමනවා කියා. මේ දුම, දුමක් පමණක් නොවෙයි. මහා ගින්දරකට වඩා රස්නෙ බවත් අමතක කළ යුතු නැහැ. සමහර අයගෙ රාත්‍රිය ගත වන්නෙ මේ ආකාරයෙන් කල්පනා කරමින්, මහා දුකකින් සමහර විට ආශාවකින්, තරහවකින්, වෛරයකින්, කියා ගන්න බැරි තරමට හිත පිරුණු දුකකින් කියා, මේ දුමෙහි පවතින රස්නය ගැන අපට සිතාගන්නට පුළුවනි.