Print this Article


දස බල ඥානයෙන් යුතු වන සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 37

දස බල ඥානයෙන් යුතු වන සේක

සියලු කෙලෙසුන් දමනය කරගත් බුදුපියාණන් වහන්සේ, සියලු කෙලෙසුන්ගෙන් අත මිදුණු බුදුපියාණන් වහන්සේ රන්වන් ශරීර ඇතිව ජටිලයන් වහන්සේලා සමඟ රජගහනුවරට වඩිනවා .

ඒ වේලාවේ පී‍්‍රති වාක්‍ය ඇසෙනවිට නගර වැසියෝ අහනවා. ‘ඔය කවුද”?

“දස විධ ආර්ය වාසයෙන් යුක්ත වූ දස බලෝ කාය බල ඥාන බලදහයකින් යුක්ත වූ , දස ධර්මයන්ගෙන් යුක්ත වූ උතුමන් වහන්සේ දස දහසක් පිරිවරාගෙනයි රජගහනුවරට වඩින්නේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය මේ කියන්නේ. එතකොට මෙතනදී කියනවා ආර්යවාස දහයක් ගැන. දසබල ඥාන ගැන. දස විධ කර්ම විපාක ඥාන ගැන. කර්ම පථ ගැන, දස විධ අසේඛ ඥාන ගැන කියනවා. දස විධ ආර්ය විලාස’ කියා කියන්නේ පංච නීවරණ යටපත් කරගත් ගුණය, රාගාදී කෙලෙස් යටපත් කරගත් ගුණ ආදි ගුණ 10 ක් තමයි ආර්ය විලාසය. බුදුපියාණන් වහන්සේ කාය බල 10 කින් සහ ඥාන බල 10 කින් සමන්වාගතයි. මොනවද මේ කාය බල.

කාය බලය, කාලාවක, ගංගෙයිය, පණ්ඩර, තම්භ, පිණ්ගල, ගන්ධ, මන්ඩල, හේම , උපෝසථ, ඡද්දන්ත කියා ඇත් කුල 10 ක් තියෙනවා. අපිට පෙනෙන පඨවිචාරි හස්තීන් අයිති වෙන්නේ පළවෙනි කාලාවක යන කුලයට. එක හස්තියෙකුට තියනවා මධ්‍යම පුරුෂයන් දස දෙනෙකුගේ කාය බලයක්. ඒ වාගේ කාලාවක හස්තීන් දස දෙනෙකුගේ කාය බලයක් තියනවා එක ගංගෙයිය හස්තියෙකුට, ගංගෙයිය හස්තීන් දස දෙනෙකුගේ කාය බලයක් තියනවා, එක තම්භ හස්තියෙකුට ඔය වාගේ දස වරක් වැඩි කරගෙන ගිහිල්ලා අවසානයේ ජද්දන්ත හස්තීන් දස දෙනෙකුගේ කාය බලයක් තියනවා ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේට.

ඨානා ඨානා කොසල්ල ඥානය

ඒ කියන්නේ හේතුව අහේතුව දැන ගැනීමේ නුවණ. මේ ලෝකයේ යමක් වීමට හේතු තියෙනවා. යමක් නොවීමට හේතු තියනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් බුදුපියාණන් වහන්සේගේ ශාසනයට නිග්‍රහ කරන්නේ නෑ. එයා “දිට්ඨ සම්පන්න” ශ්‍රාවකයෙක්. ඒ වාගේම මව්කුසක බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තට පස්සේ කිසිම දවසක නිවන් දකින තුරු කිසි කෙනෙකුට ජීවිතය නැති කරන්න බෑ. කාරණා අකාරණා සියල්ලක් දන්න නිසා අපි කියනවා ඨානා ඨානා කෝසල්ල ඥානයෙන් යුක්තයි කියලා.

කම්ම විපාක ඥානය

බුදුරජාණන් වහන්සේ කර්මය, කර්ම විපාක, කර්ම සමාදානය ගැන හොඳින් දන්නවා.

සාරි පුත්‍රයෙනි, සියලුම අතීත වු ද ,අනාගත වු ද, වර්තමාන වු ද කර්මයන්ගේ ස්වභාවය මම හොඳින් දන්නවා. මම හොඳින් වටහාගෙන ඉන්නේ. අතීතයේ කර්ම රැස් කරලා, අතීතයේම කර්මය ගෙවලා ඉවර කරනවා. දැන් බලන්න සමහරක් වේලාවට ඔය අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතීතයේ කර්ම රැස් කළා. උන්වහන්සේලා අතීතයේ කර්මය ගෙවලා ඉවර කළා. අපිත් එහෙම තමයි. අතීතයේ සමහරක් කර්ම රැස්කළා. ඒවායේ විපාක අතීතයේ විඳ ඉවර කළා. අතීතයේ කර්ම රැස් කළා. එවායේ විපාක අතීතයේ වින්දේ නෑ. අහෝසි වෙලා ගියා. ඒක විශේෂ අපට නෙමෙයි. අතීතයේ පහළ වූ බුදුරජාණන් වහන්සේටයි. උන් වහන්සේලා අතීතයේ කර්ම රැස්කළා. නමුත් එහි විපාක සම්පූර්ණයෙන් උන්වහන්සේලා වින්ඳේ නෑ. අහෝසි වෙලා ගියා.