Print this Article


සෙංකඩගලපුර සිරි දළදා වරුණ: අලුත් සහල් මංගල්ලය

සෙංකඩගලපුර සිරි දළදා වරුණ:

අලුත් සහල් මංගල්ලය

ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ වාර්ෂිකව ඉටු කෙරෙන සතර මංගල්ලය අතරෙන් ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් පළමු මාසය වූ සෑම ජනවාරි මාසයකට ම යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්ලය පැවැත්වේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම ශ්‍රී දළදා වහන්සේ මුල්කොට ගනිමින් ගොඩනැගී ඇති මෙම චාරිත්‍රය මෙරට කෘෂි ජන ජීවිතය හා බැඳුණු චාරිත්‍ර, පුදසිරිත් හි සංකලනයක් බැව් දැකිය හැකි ය.

රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට තම අස්වැන්නෙන් අග්‍ර භාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන්කොට පිදීමේ සිරිත ආරම්භ විය.

තම ගොවිතැන් කටයුතු ආරම්භයේ දී ම අස්වැන්නේ ප්‍රථම කොටස අලුත් සහල් මංගල්ලය උදෙසා පිදීමට බාරවීම අනුව දළදා වහන්සේ උදෙසා සිදුකරන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේ උදෙසා පූජා කළ අටුව පිහිටා තිබුණේ ගුරුදෙණියේ කෙත්යායට යාබදව ය. එම කුඹුරු යායට වී අමුණු දහ අටක් පමණ වැපිරෙන භූමියක් අයත් විය. මහවැලි යෝජනා ක්‍රමයෙන් එම අටුව පිහිටි භූමිය ද යටවුණි.

ඒ පෞරාණික අටුව කුණ්ඩසාලේ පල්ලෙකැලේ භූමියක පිහිටුවා ඇත. ගුරුදෙණිය කුඹුරු යාය වෙනුවෙන් රජයෙන් පවරා දුන් මහවැලි සී කලාපයෙහි යක්කුරේ කෙත් යායෙන් ලැබෙන වසරේ අස්වැන්නේ මුල් කොටස පල්ලෙකැලේ අටුවෙහි තැන්පත් කොට තිබීම සිරිත ය. අලුත් සහල් මංගල්ලයට සුබ නැකතින් වී සහල් බෙදා දීම සිදු කරනුයේ පෞරාණික අටුව සංරක්ෂණය කොට ඇති පල්ලෙකැලේ දී ය.

වී, සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් අඩංගු ය. එය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාලිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91ක් ද, දෙවන ලැයිස්තුවට 10ක් ද, තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මා හිමිපාණන් වහන්සේලා දෙනම, අනු නා හිමිපාණන් වහන්සේලා තුන් නම හා එම විහාර දෙක ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රමුඛ රාජකාරීකරුවන්ට ද, දේවාලවලට ද වශයෙන් වී සහල් බෙදාදීම සිදුවේ.

අලුත් සහල් මංගල්ලයට නියමිත මූලික කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව සුබ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුව ය.

ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලේකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදාදීම, පසු දා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා පැමිණ සුබ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සැකසූ සුවිශේෂී ස්ථානයක වී සහල් ගබඩා කිරීම මෙන් ම වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුබ නැකතින් ඒ අලුත් සහල් සේරු අසූවකින් ආහාර සම්පාදනය මෙන් ම ව්‍යංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙල කර සුබ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමඟ දළදා වහන්සේ විෂයයෙහි පූජා කිරීම සිදුවේ.

සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද මෙකී නැකැත් වේලාවේ දී අලුත් සහලින් පිසූ බුද්ධ පූජා හා දේව පූජා සිදු කරති.