Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සහ සසුන් පිළිවෙත

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සහ සසුන් පිළිවෙත

" අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට අයත් දහම් මැදුර විහාරස්ථානය සංකේන්ද්‍රිය කරගනිමින් ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයෙහි දී 2018 ජූලි 18 වැනි දින සිට පැවැත්වීමට නියමිත උපසම්පදා මහා විනය කර්මය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් සිදු කරන 71 වන උපසම්පදාව වශයෙන් සැලකෙයි."

ශ්‍රී බුද්ධ වර්ෂ 2403 දී, අතිපූජ්‍ය අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය යති සංඝපති ඉන්දාසභවර ඤාණසාමි නමැති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් ආරම්භ කළ භික්ෂු වංශය ‘ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය’ නමින් ප්‍රකට විය. එහි ප්‍රථම උපසම්පදාව 1863 ජූලි මස 13 වැනි දින, අතිගරු වරාපිටියේ සිරි සුමිත්ත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා විදර්ශනාචාර්ය පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද මාහිමියන්ගේ උපස්ථම්භකත්වයෙන් ගාලු මහමෝදර ගිංගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු විය.

රාජ්‍ය වර්ෂ 2018 වන විට වසර 154ක් ගත කොට පවතින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි 8000 ක් පමණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින අතර විහාරස්ථාන ද 2000 ක් පමණ රාමඤ්ඤ නිකායික සංඝයාට අයත්ව පවතී. අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට අයත් දහම් මැදුර විහාරස්ථානය සංකේන්ද්‍රිය කරගනිමින් ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයෙහි දී 2018 ජූලි 18 වැනි දින සිට පැවැත්වීමට නියමිත උපසම්පදා මහා විනය කර්මය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් සිදු කරන 71 වන උපසම්පදාව වශයෙන් සැලකෙයි.

ගල්ඔය නදී උදකුක්ඛේප සීමාමාලකයේදී මෙවර සිදු කෙරෙන උපසම්පදා විනය කර්මයෙන් සාමණේර හිමිවරු 400 නමක් පමණ අති උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම සිදු කෙරෙති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් උපසම්පදාවේ කාර්යභාරය සිදුවීම නිකාය සම්ප්‍රදාය වශයෙන් පවතී. ඒ සඳහා අම්පාර ප්‍රාදේශික සංඝ සභාවේ සහ ත්‍රිකුණාමල ප්‍රාදේශික සංඝසභාවේ පූර්ණ සංවිධායකත්වය හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ නොමද අනුග්‍රහය ද ලැබෙන අතර, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් උපසම්පදා මහෝත්සව කටයුතු අදාළ සියලු කටයුතු කැපවීමෙන් ඉටු කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය 2018 ජූලි මස 19 වැනි දින පස්වරු 2.00 ට අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක සිරි සීලවංස වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී විනය විශාරද රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රීමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය තුමා ඇතුළු මැති ඇමැතිවරුන් සහිත ශාසනෝන්නතිකාමී දෙස් විදෙස් සම්භාවනීය සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ද, මෙම උපසම්පදා මහෝත්සවය පැවැත්වීමට නියමිත ය. ඒ නිසා රාජ්‍යානුග්‍රහය දෙවසරක් පාසා සිදු කෙරෙන සෑම උපසම්පදා පුණ්‍ය මහෝත්සවයකටම හිමි වන බව කිව යුතු ය.

සම්බුද්ධ ශාසනයේ දිගුකල් පැවැත්මටත්, සංඝයා අතර සුහදතාවය වර්ධනය වීමටත්, සසර කතර තරණය කිරීමේ ඒකායන මාර්ගයට පිවිසීමටත් උපසම්පදා පුණ්‍යකර්මය උපනිශ්‍රය වන බව සැලකිය යුතු ය. ‘උප + සම් + පද්’ යන පදයන්ගේ සංයෝගයෙන් නිපදී ඇති. ‘උපසම්පදා’ යන වචනයේ වාච්‍යාර්ථය නම් සමීපයට මනාව එළැඹීම, පැමිණීම යනුයි. එහෙත් ඊට වඩා පුළුල් පිවිතුරු සුවිශේෂාර්ථයක් බුදු සමය තුළ උපසම්පදා යන්නෙන් ප්‍රකාශ වේ. භික්ෂු ශාසනයට ඇතුළත් වීම, සංඝ සමාජය තුළ පූර්ණ සාමාජිකත්වය ලැබීම උපසම්පදාවයි. සංඝ කර්මවලට සහභාගිවීමට, ශාසනික තනතුරු දැරීමට, සංඝ කර්මවල දී ඡන්දය ලබාදීමට අයිතිය හිමි වන්නේ ද උපසම්පදා භික්ෂුවටය. ‘නිසි පිළිවෙතින් නිසි තැනට පත්වීම’ යනු ද උපසම්පදා යන්නෙහි තවත් අර්ථයකි. නිසි පිළිවෙත නම් සීල සමාධි ප්‍රඥා පිළිවෙතයි. නිසි තැන නම් නිර්වාණය යි. ඒ අනුව නිවන් ලැබීමට යෝග්‍ය මාර්ග බ්‍රහ්මචරියාවට පැමිණීම උපසම්පදාව යන්නෙන් ගම්‍ය වේ. භික්ෂූත්වයට යෝග්‍ය, පූර්ණ භික්ෂුවක ලෙස සමස්ත සංඝයා විසින් පිළිගැනීම සිදු වන්නේ උපසපන් වූ විටයි. ඤත්තිචතුත්ත විනය කර්මය සිදුකිරීම මගින් සංඝ සම්මුතියෙන් සාමණේර පැවිද්දන් අධිසීලයෙහි පිහිටුවීම උපසම්පදා කිරීමයි. තව ද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිර්වාණගාමිණි මාර්ගයේ ප්‍රථම ස්ථරයට පත්වීම උපසම්පදාවයි. අනුපූර්ව ප්‍රතිපදාවට පත්වීම හෙවත් අපරියන්ත පාරිසුද්ධ සීලයට, කෝටියක් සංවර සීලයට පත්වීම උපසම්පදාව ලෙස සැලකෙයි. මේ අනුව අග්‍ර වූ ශික්ෂාකාමීත්වයට පත්වීම පිළිබඳ අධිෂ්ඨාන ප්‍රබන්ධ ප්‍රතිඥාව ලබාදීම උපසම්පදාව ලැබීමෙන් සිදු වේ. එබැවින් උපසම්පදාව ලබන්නා විසින් සංඝයාට ආයාචනා කර ඒ අධිශීල ශික්ෂාව හෙවත් අති උතුම් උපසම්පදාව ලබාගත යුතුයි. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුවක විසින් ලබන සුවිශේෂී වරප්‍රසාදය නැතහොත් නිවන් පුරයට පිවිසෙන යතුර උපසම්පදාව වශයෙන් සැලකිය යුතු වෙයි.

අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීමට සියල්ලෝම සුදුස්සෝ නො වෙති. ඒ සඳහා හෙරණ පැවිද්දෙකු තුළ පරිපූර්ණ විය යුතු කරුණු රැසක් ඇත. උපතින් විසි වයස් සම්පූර්ණ වී තිබිය යුතු ය. විසි වයසින් අඩු පුද්ගලයන් උපසම්පදා කළ ද උපසම්පදාව නො පිහිටයි. වයස් ගණනය කිරීමේ දී අවශ්‍ය වූ විටක මව් කුසින් සමසක් පමණ ගැනීම ද ශාසනික සම්ප්‍රදාය යි. පැවිද්ද ලබා වසරක් සම්පූර්ණ වී තිබීම ද උපසම්පදාව ලැබීමට සුදුසු කමක් වශයෙන් රාමඤ්ඤ නිකාය පිළිගනියි. දෙපට සිවුර, තනිපට සිවුර සහ අඳන සිවුර, කඩ කපා මසා කොස් පඬු පොවා, කැප සරුප් ලෙස ගී‍්‍රවෙය්‍ය ජංඝෙය්‍ය සහ ගණ්ඨිපාසා යොදා සකසා ගත යුතුයි. කසාය (කසට) වර්ණයෙන් යුතු සිවුරු විනා විචිත්‍ර වර්ණ හෝ තද පැහැයෙන් යුතු සිවුරු නො විය යුතු ය. පාත්‍රය මධ්‍යම ප්‍රමාණයේ යකඩ පාත්‍රයක් හෝ මැටි පාත්‍රයක් වීම සුදුසු ය. යකඩ පාත්‍රය, තල තෙල් පදමට උණුකර තවරා පිළිස්සීමෙන් කළුපැහැ ගන්වා තිබිය යුතු යි. මනුෂ්‍ය ජාතියේ උපන් කුල දරුවෙකු විය යුතු අතර මව්පියන්ගෙන් අවසර ලබා පැවිදි වී සිටිය යුතුයි. අමනුෂ්‍ය, තිරිසන් ආදීන් පැවිද කරනු නො ලැබේ. ලාදුරු, පරංගි, කඩුවේගං වැනි කුෂ්ට රෝග හා දෙහි ගෙඩි දොඹ ගෙඩි වැනි ගඩු ශරීරයේ හටගෙන නො තිබිය යුතුයි. සුදු කබර, ක්ෂය රෝගය, සිහි සුන්ව ඇද වැටෙන මීමැස්මුරය වැනි රෝග ඇත්තන් ද පැවිදි උපසම්පදා කරනු නො ලැබේ. ණය වී ඇත්නම් ණය ගෙවා නිදහස් විය යුතු ය. රාජ්‍ය සේවයේ නියුක්ත වූවන් හා බැඳුම්කරයන්ට අත්සන් කොට ඇත්තන් ද උපසම්පදා නො කළ යුතු ය. කලින් පැවිදි උපසම්පදාව ලබා සිට කිසියම් පාරාජිකා ආපත්තියකට පැමිණියවුන් ද නැවත උපසම්පදාවේ පිහිටවිය නො හැකි ය.

පැවිදි කරණු ලැබුව ද කිසිසේත් පැවිද්ද නො පිහිටන සර්වාකාරයෙන්ම අභව්‍ය පුද්ගලයෝ ද සිටිති. පණ්ඩකයා (ලිංග විකලත්වය ඇති පුද්ගලයා) උභතෝඛ්‍යඤ්ජනිකයා (ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම පිහිටි පුද්ගලයා) ථෙය්‍යසංවාසකයා (හොරට තමාම සිවුරු පොරවාගෙන පැවිද්දෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා) තිත්ථිය පක්කන්තකයා (පැවිදිව සිට පසුව තීර්ථකයන් වෙත ගොස් ඔවුන්ගේ ලබ්ධිය ගෙන සිටින පුද්ගලයා) තිරච්ඡානගතයා (තිරිසන්ගතව සිටින පමණක් නොව මනුෂ්‍ය නොවන සියල්ලම) මාතු ඝාතකයා (මව මරා ආනන්තර්ය කර්මය කළ පුද්ගලයා) පිතු ඝාතකයා (එසේම පියා මැරූ පුද්ගලයා) අරහන්ත ඝාතකයා (එසේම මනුෂ්‍ය ජාතියට අයත් රහත් උතුමෙක් මැරූ පුද්ගලයා) ලෝභිතුප්පාදයා (නපුරු සිතින් බුදු සිරුරේ ලේ සෙල වූ පුද්ගලයා) සංඝ භේදකයා (උපසපන්ව සිටිය දී සංඝයා භේද කළ පුද්ගලයා) භික්ඛුණි දූසකයා (භික්ෂුණියක දූෂණය කළ පුද්ගලයා) මෙම එකොළොස් දෙනා උපතින් හා ක්‍රියාවෙන් පාරාජිකා වූවන් සේ පිළිගන්නා බැවින් පැවිදි කිරීම හෝ උපසම්පදා කිරීම අනිවාර්යෙන්ම නො කළ යුතු ය. අත් පා ඇඟිලි කන් නාසාදී ශරීර අවයව අඩු දෙතිසක් පුද්ගලයන් ද පැවිදි නො කළ යුතු බව විනය මහාවග්ග පාලියේ සඳහන් වේ. ඔවුන් පැවිදි කළහොත් පැවිද්ද පිහිටන නමුත් පැවිදි කළ ආචාර්ය උපාධ්‍යාදීන්ට ඇවැත් සිදු වේ. එබැවින් ශිෂ්‍යයකු පැවිදි කර උපසම්පදා කරගන්නා ආචාර්යවරයා ද දස වස් සපිරුණු ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් විය යුතුයි. ප්‍රාතිමෝක්ෂය මැනවින් ප්‍රගුණව තිබිය යුතු ය. ‘සීල, ආචාර, දිට්ඨි’ විපත් ආදියෙන් තොර වූවෙක් විය යුතු ය. හිරි ඔතප් ඇති ශ්‍රද්ධා සම්පන්නයෙක් විය යුතු ය. ස්වකීය ශිෂ්‍යයා අභිවිනයෙහි අභිධර්මයෙහි ප්‍රගුණ කරවීමේ සමතෙක් විය යුතු ය. ශිෂ්‍යයා තුළ ධර්මය විනය පිළිබඳ උපන් සැක කුකුස් දුරු කොට සසුන් පිළිවෙතෙහි අභිරුචිය වර්ධනය කිරීමෙහි දක්ෂයෙක් විය යුතු ය. මෙතෙක් දක්වන ලද උපසම්පදාවට අයෝග්‍ය සියලු දෝෂයන්ගෙන් විනිර්මුක්තව අඩු ලුහුඬුකම්වලින් තොරව, ප්‍රතිබල සම්පන්න ආචාර්යවරයකු යටතේ සම්බුද්ධ ශාසනයෙහි පැවිද්ද ලබා අධිසීල සංඛ්‍යාත අනුපූර්ව ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමට ලැබීම තමා ලද මිනිසත් බවේ මහඟු ප්‍රතිඵලයක් වශයෙන් නවක උපසපන් සියලු භික්ෂූන් විසින් සැලකිය යුතු ය.