UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රත්නය

බුද්ධ රත්නය

යං කිඤ්චි චිත්තං ඉධවා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

මනුෂ්‍ය ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ බුද්ධරත්නයට වඩා ප්‍රණීත ශ්‍රේෂ්ඨ රත්නයක් තවත් නැත්තේ ය, යනු රතන සූත්‍රයෙන් උපුටාගත් ඉහත ගාථාවෙහි අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙවු වන සේක. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වන සේක. සීලාදී ගුණ ධර්මවලින් ද, ප්‍රඥාවීර්යාදී අධ්‍යාත්මික ශක්තිමය ගුණධර්මවලින්ද අතිශයින් පිරිපුන් භාග්‍යවත් වූ බුදුවරයෙකුට වඩා කාය බලයෙන් හෝ, ඤාණ බලයෙන් හෝ, බලවත් වූ වෙනත් කිසිකෙනෙකු දිව්‍ය ලෝකයෙහි වත්, බ්‍රහ්ම ලෝකයෙහිවත්, මනුෂ්‍ය ලෝකයෙහිවත්, කිසිම තැනෙකත් නැත්තේ ය.

රතන යනුවෙන් හඳුන්වන්නේ මේ ලෝකයෙහි පවත්නා ඉතා වටිනා ශ්‍රේෂ්ඨ වස්තුවකටය. බුදුරජාණන් වහන්සේ රත්නයක් වන්නේ කෙසේදැයි, අපි මෙහිදී සලකා බලමු. පොළොවෙහි සැඟ වී පවත්නා අගනා ඛනිජ වර්ගවලට රත්න යැයි, ඒවායෙහි අගනා බව සලකා අපි කියමු. එසේ කියන්නේ ඒවා නිතර හමු නොවන බැවින් ද, සෑම තැනෙකම දක්නට නොලැබෙන බැවින්ද යන කරුණු නිසා ය. එහෙයින් ලෝ වැස්සන් විසින් ඒවා අගනා වස්තූන් හැටියට සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේලා ද ලෝකයෙහි දක්නට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභව ය. බුද්ධරත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නයද මිනිස් ලෝකයේ එසේ ඉතා දුර්ලභව දක්නට ලැබෙන අගය කළ නොහැකි වස්තූහු ය. එයිනුදු බුද්ධ රත්නයම ඉතාමත් දුර්ලභ රත්නයක් වන්නේ ජීවමානව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව දැකිය හැක්කේ ඉතාමත්ම කලාතුරකින් සහ කෙටි කාලයක් තුළ බැවිනි.

දීර්ඝ ජීවී බුදුවරුන් ද කර්මානුරූපව ලෝකයෙහි ඉතා කලාතුරකින් ඇතැම් කල්පවල උපදින බව දැක්වේ. එහෙත් එම අවස්ථාවන් ලැබීමට ද මිනිසුන්ගේ කුසල් බලයම බලපවත්නා බැව් වටහාගත යුතු ය. ඉතාමත් දීර්ඝ වූ මෙම සංසාරයේ ඉතාමත් ස්වල්පයක්ව උපදනා මිනිසත් බව ලබන්නවුන්ට එවැනි බුදුවරයෙකු ගේ කාලයක මිනිස් ලොව උපතක් ලබාගත හැක්කේ ද ඉතා දුර්ලභව ය. එය රත්නයක් ලබා ගැනීම හා සමාන වන බැවින් බුදුරජාණන් වහන්සේ රත්නයක් වශයෙන් හඳුන්වයි.

උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන් සහිත මේ තුන් ලෝකයෙහි වෙනත් කිසිම කෙනෙකුටත් වඩා ප්‍රඥාවෙන් අග්‍ර වන සේක. අසමසම වන සේක. ඒ උතුම් වූ බුද්ධ රත්නය මේ මහා විශ්වයෙහි පවත්නා වෙනත් කිසිම වස්තුවකටත් වඩා උතුම් වන සේක. ඒ රත්නයට වෙනත් කිසිම වස්තුවක් සමාන කළ නොහැකි බැවින් උන්වහන්සේට බුද්ධ රත්නය යැයි කියනු ලැබේ.

වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා වනාන්තරයක දී ගසක් යට වැඩ හිඳිමින් බිම වැටුණු කොළ මිටක් අතටගෙන භික්ෂූන් වහන්සේ අමතා වැඩියෙන් පවත්නේ මාගේ අතෙහි තිබෙන කොළ ද මෙම වනයෙහි තිබෙන කොළ දැයි විමසූහ. එයට පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේලා “ස්වාමීනි, ඔබ වහන්සේගේ අතෙහි ඇති කොළ ස්වල්පයකි. එහෙත් වනාන්තරයෙහි ඇති කොළ බොහෝ යැයි ප්‍රකාශ කළහ. පසුව බුදුරදුන් දේශනා කළේ ‘ඇවැත්නි එසේම මේ ලෝකයෙහි කිව යුතු දේ බොහෝ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ නිවන් අවබෝධයට අවශ්‍ය කරුණු පමණක් යැයි වදාළහ. උන්වහන්සේ සතු ඉතිරි විශාල දැනුම් සම්භාරය දැනුම වුව ද නිරර්ථක ය. නිවන් මගට එහි අදාළත්වයක් නොමැත. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාව, ප්‍රඥාව, දයාව, අනුකම්පාව හා මෛත්‍රීය යනාදී අනන්ත ගුණ සමුදාය පෙරදැරි කරගෙන ධර්මය ලෝකයාට දේශනා කළහ. එබැවින් බුද්ධ රත්නය රත්නයක්ම වන සේකැයි, මැනවින් වටහාගෙන මෙලොව, පරලොව, උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීම් වස් අප උතුම් වූ ආර්ය මාර්ගයෙහිම ගමන් කළ යුතු ය.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]