Print this Article


පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

අප ගෞතම බුදුරදුන් කල රජ ගහ නුවර මහත් ධනවත් බමුණු කුලයක භාරද්වාජ නම් පින්වත් දරුවකු ඉපදුණේය. වැඩිවියට පත් ඔහු වේද වේදාංගයන්හි කෙළ පැමිණ පන්සියයක් සිසුන්ට ගුරු බවට පත් විය. කෑමෙහි ගිජු වූ ඔහු නිතර ආහාරපාන රස කැවිලි ආදිය පිළිබඳව විමසීමට කෙදිනකවත් අමතක නොකළේ ය. එපමණටම ආහාර පිළිබඳව දැඩි ගිජුකමක් දැක්විය.

භාරද්වාජ නමට පිණ්ඩෝල යන නාමය එකතු වූයේ ප්‍රකටව පැවැති ඒ ගිජු කම නිසාය. බුදුරදුන්ගෙන් බණ අසා පෙර පින් ඇති ඔහු පසුව රහත් භාවයට පත් විය. වඩින සෑම තැනකම භික්ෂූන් අමතා සෝවාන් භාවය ඇතුළු මඟඵල පිළිබඳ ගැටලුවක් ඇත්නම් තමන්ගෙන් විමසන්නයැ යි අභීත වූ හඬ පමණක් නොව බුදුරදුන් හමුවේ ද සසුනෙහි ලැබිය යුතු උසස් ඵල තමා ලබා ගත් බව කිසිදු පැකිලිමකින් තොරව කීහ.මේ උතුම් උසස් අභීත හඬ ගා කීම මුල් කොට “මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරන පිණ්ඩෝල භාරද්වාජ රහත් නම අග්‍රස්ථානයේ තබන්නෙමි” යි බුදුරදුන් විසින් අගතනතුර දෙන ලදී.

රහත් භාවයට පත්වීම සහ තමා අවබෝධ කරගත් සුවිසුද්ධ ප්‍රඥාව මුල්කොට හෝ, අභීතව හඬ නැගීම නිසා හෝ භාරද්වාජ හිමියන්ට අගතනතුර ලැබුණා නොවෙයි. කල්ප ලක්ෂයකට පෙරවැඩ සිටි පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ සිට මේ සඳහා විවිධ පින් කළ මෙම මහරහතන් වහන්සේ, සිංහ රාජයෙක් ව ඉපිද බුරදුන්ට මල් ආසන පැනවීම ආදියෙන් දින හතක් නොකඩවා පූජා කළහ. එම ආත්මයෙන් අනතුරුව ධනවත් මනුෂ්‍ය ආත්මයක් ලබා, මහදන් පවත්වා මේ තනතුර ලැබීම සඳහා ප්‍රාර්ථනා කළ බවත්, එයින් නොනැවතී සසර මහා කුසල් කළ බවත්, අතීත චරිත කතාවලින් පැහැදිලි වේ.

පිණ්ඩෝල භාරද්වාජ හිමියන්ගේ චරිතයෙන් ඉතා ප්‍රකට විස්මිත සිදුවීම නම් රජගහ සිටුවරයා සැට රියනක් උස්කොට බැඳ වූ උණ ගස් මුදුනෙහි තබන ලද සඳුන් පාත්‍රය ගැනීම ය. ජලස්නානය කරන අයගේ ආරක්ෂාව සඳහාත්, ඔවුන්ගේ ආභරණ ආදිය සුරැකීම සඳහාත් ගඟ හරස්කොට දැලක් දැමීම රජගහනුවර සිටුවරයාගේ සිරිත විය. “එක් දිනක් දැලේ පැටලී තිබූ සඳුන් කොටයක් ගැන විමසිලිමත් වූ සිටුවරයා එයින් පාත්‍රයක් සාදවා ලෝකයේ කවර හෝ සෘද්ධිමතෙක් වේ නම් මෙය ගනිත්වායි ප්‍රකාශ කොට ඉහත කී අන්දමට සැට රියනක් උස් වූ කණුව මුදුනෙහි තැබුවේ ය. නිඝණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් එය තම ශාස්තෘවරයාට දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියත්, හැකිනම් සෘද්ධිබලයෙන් ගොස් එය ලබාගන්නා ලෙස සිටුවරයාගේ පිළිතුර විය. නිගණ්ඨනාථපුත්ත ද කලින් ම රහසේ තම ශිෂ්‍යයන්ට සෘද්ධි බලය පෙන්වන්නට සූදානම් වන විට නොපෙන්වන මෙන් තමන්ගේ ඇඟේ එල්ලී ඇවිටිලි කරන මෙන් උගන්වා එතැනට ගියේ ය. ඒ අනුව ප්‍රාතිහාර්ය දැක්වීමට සැරැසී තම ශිෂ්‍යයන් අකැමැති නිසා මා ප්‍රාතිහාර්ය නොදක්වන බව පවසා නිගණ්ඨ නාථ පුත්ත නික්ම ගියේ ය. ක්‍රමයෙන් දින හයක් ගත විය. මෙම පාත්‍රය ගැනීමට හැකි කිසිවෙකු මෙම විශ්වයේ නොමැති බව ජනමතය වූහ. ජනමතය දැනගත් මුගලන් මහරහතන් වහන්සේගේ නියමයෙන් පාත්‍රය ගැනීමට පිණ්ඩෝල භාරද්වාජ හිමියෝ ඉදිරිපත් වූහ. උන්වහන්සේ ධ්‍යානයට සමවැදී තමන් වැඩසිටි මහා ගල්තලාවත් සහිතවම අහසේ සැරිසරන්නට වූහ. මෙය දුටු බොහෝ දෙනා ගල්තලාව වැටී තමන්ට බලවත් හානියක් වේ යැයි බියවී කෑගසන්නට පටන් ගත්හ. මෙයින් පසු භාරද්වාජ හිමියන් තම පාදයෙන් ගල්තලාව මුදා එය තිබූ තැනම පිහිටෙව් පසුව උන්වහන්සේ සෘද්ධි බලයෙන් පාත්‍රය ගෙන විහාරයට වැඩම වූහ. එකී සිදුවීම නොදුටු භික්ෂූන්ගේ ඉල්ලීම පරිදි නැවතත් සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වූහ. මේ සිදුවීම දැනගත් බුදුරදුන් අන් අයගේ ඉල්ලීම පරිදි තම උසස් ගුණයන් ප්‍රකට කිරීම නුසුදුසු බව පෙන්වා දී එසේ ප්‍රකට කිරීම වරදක් බව දක්වා විනය නීතියක් පනවා වදාළහ.

පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාව වන විට තහනමක් නොතිබුණු බැවින් උන්වහන්සේට වරදක් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. එසේ ම මෙහිදී බුදුරදුන් භාරද්වාජ හිමියන් ඉතා උසස් ව සිහිය පිහිටුවා ගැනීමට සම්බන්ධ වූ සතින්ද්‍රියෙන්ද , සිත වැඩිදියුණු කිරීමට සම්බන්ධ වූ සමාධි ඉන්ද්‍රියෙන් ද, සියලු කෙලෙසුන් නැසීමට ශක්තිමත් වූ පඤ්ඤින්ද්‍රියෙන් ද යුක්ත වන බවත්, මින් පසු කළ යුතු කිසිවෙකුත් ඉතිරි නොකොට සියල්ල සිදු කොට ඇති කෙනෙකු බවත් ප්‍රශංසාත්මකව පෙන්වා දී වදාළහ.