Print this Article


බෝසත් දරුවන්ට: සසර සැඩ පහරින්...

සසර සැඩ පහරින්...

පින්වත් දුවේ, පුතේ අපි අද සසර ගැන කතා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ “ඕඝ තරණ” සූත්‍රයේ දී මේ සංසාර ගමන ගැන බොහොම වැදගත් කරුණු දේශනා කර තිබෙනවා. සංසාරය කියන්නේ බොහොම දිග ගමනක්.

ඒ දිගු ගමනේ විවිධාකාර අය විදිහට අප උපත ලබන්නට ඇති. සමහර වෙලාවට මිනිසෙක් ව, දෙවියෙක් ව, තිරිසන්ගත සතෙක්ව ඉපදෙන්නට ඇති. ඇතැම් විට ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් වී උපත ලබන්නටත් ඇති. ඉතින් දරුවනේ අතක්, පයක් අඩු නොවී, අංගවිකල නොවී අංග සම්පූර්ණ මනුෂ්‍ය ආත්මයක් ලබන්නට හැකි වෙන්නේ නම් බොහොම කලාතුරකින්. ඒ විතරක් නොවෙයි. බොහෝ දේවලින් අපි බේරිලා තිබෙන්නේ අනූනවයෙන්. ටිකක් හිතන්න.

අපි මේ ලෝකෙට ඉපදෙනකොට ඇස් අන්ධ වුණා නම්. මේ ලෝකයේ දෙනෙත් අඳ අය මිලියන ගණනින් ඉන්නවා. කන් නෑසුණා නම්, දෙපයින් ඇවිද ගන්න බැරි වුණා නම්, අංග විකල වුණා නම්, මන්ද බුද්ධික වුණා නම් අප මොනතරම් අසරණ වෙනවාද? බලන්න අනුනවයෙන් නේද බේරිලා තිබෙන්නේ. ඒ අපි පෙර කරන ලද පින් නිසා.

දරුවනේ, මතු බුදු බව ප්‍රාර්ථනා කළ අප මහ බෝසතාණන් වහන්සේ සංසාරයේ බොහෝ කාලයක් ඇවිද්දා. බොහෝ දුක් වින්ඳා. ඒත් ඒ අප වෙනුවෙන්. එදා දීපංකර පාද මූලයේ දී සුමේධ තාපසයා ලෙස හමුවන විට උන්වහන්සේගේ පින් මෝරලයි තිබුණේ. එක බණ පදයක් ශ්‍රවණය කළා නම්, උන්වහන්සේ මරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. දරුවනේ, එදා අතට පත් නිවන් සුව හැර දමා ‘මමත් එතෙර වී තවත් බොහෝ පිරිසක් එතෙර කරන්න ඕනෑ’ කියන මහා බෝසත් ගතිගුණ නිසා අප වෙනුවෙන්, පුංචි දුවේ පුතේ ඔබ වෙනුවෙන් මේ සසරට වැඩම කරලා සංසාරයේ අනන්ත දුක් වින්දා.මතු බුදුවෙන්නට පාරමී දම් පුරණ කාලයේ, ඒ කියන්නේ බෝසත් කාලයේ දී උන්වහන්සේ විවිධ ලෝතලවල උපත ලැබුවා. ඒ සංසාර ගමනේ භයානක බව ගැන ජාතක කතාවලින් අපට බොහොම හොඳට කියාදී තිබෙනවා.

ඉතින් දරුවනේ, දවසක් දෙවි කෙනෙක් ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “භාග්‍යවතුන් වහන්ස, සංසාරයට ඇද දමන මේ ඕඝය ඔබ වහන්සේ තරණය කළේ කෙසේද?” කියා එතෙර වුණේ කෙසේද කියා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, “මම මේ සසර සැඩ පහරින් බේරුණේ ඒ සැඩ පහරේ රැඳී සිටත් නොවෙයි. ඊළඟට වෑයම් කරලත් නොවෙයි” යනුවෙන්, දෙවියන්ට මේ පිළිතුර ලොකු ගැටලුවක් වුණා. වෑයම් කළේත් නැතිලු. රැඳී සිටියේත් නැතිලු. එහෙම නම් බේරුණේ කෙසේද? බුදුරජාණන් වහන්සේ එය බොහොම ලස්සනට පැහැදිලි කළා.

“මම සැඩ පහරේ සිටගෙන සිටියා නම්, එසේත් නැති නම් රැඳී සිටියා නම්, මම ගිලෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස වෑයම් කළා නම්, ඊටත් ඉක්මනින් ගිලෙනවා. මහන්සිය, වෙහෙස විතරයි. ඉතින් මේ පැහැදිලි කිරීම බාහිරව දකිනකෙනෙකුට නම් තේරුම් ගැනීම අපහසුයි. මොකක්ද දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ.

අප සංසාරයට අරගෙන යන, ගහගෙන යන සැඩ පහර සතරක් තිබෙනවා. අප දුක් විඳින්නේ ඒ සැඩ පහරට හසුවී සිටින නිසයි. එකක් තමයි දරුවනේ කාම ඕඝය. ඒ කියන්නේ කාමය නමැති සැඩ පහර. ඒ වගේම භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය. මේවාට කියන්නේ සැඩ පහර කියලා. ඇයි? අපි ඒවාට හසුවුණොත් සසරට ගහගෙන යනවා. ඒ කියන්නෙ අනන්ත දුක් විඳිමින් සංසාරයේ විවිධ ආත්මවල උපත ලබනවා.

එතකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සැඩ පහර සතරෙන් ම බේරුණේ රැඳී සිටත් නොවෙයි. වෑයම් කරලත් නොවෙයි කියලා. රැඳී සිටියා නොවෙයි, කියන්නේ අත්ථකිලමතානුයෝගය ගැන. ඒ කියන්නේ ශරීරයට අධික දුක් දීලා මේ සසරින් එතෙර වෙන්න බැරිබව. ඊළඟට වෑයම් කළේ නෑ කියන්නේ කාමසුඛල්ලිකානුයෝගය. ශරීරයට අධික සැපදීලා, බොහෝ දේ අල්ලාගෙන නොසිටිය නිසා. එහෙනම්, බුදුරජාණන් වහන්සේ මේ සසර ඕඝය මැඩලුවේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලයි. ඒකට කියන්නේ මැදුම් පිළිවෙත. අපි දැන් බලමු සංසාර ඕඝයේ තිබෙන භයානක බව ගැන.

කාම ඕඝය කියන්නේ මොකක්ද?

කාමය කියන්නේ කැමැත්ත. අල්ලා ගැනීම, තෘෂ්ණාව, ලෝභය, අවිජ්ජාව ආදී විවිධ අර්ථ තිබෙනවා.බුදු දහමේ අල්ලා ගැනීමේ ක්‍රම පහක් විස්තර කෙරෙනවා. පාසල් අධ්‍යාපනයේ දී ඉගෙන ගන්නට අසීරු වන්නේ, අයියලා අක්කලාට තමන්ගේ රැකියාවන් හරියට කරගෙන යන්නට නොහැකි වන්නේ, සමහර නැන්දලා මාමලා විවිධ ප්‍රශ්න ඇති කරගන්නේ මේ අල්ලා ගැනීම නිසයි. ඇලී, ගැලී සිටීම නිසයි. ඒකට අපි කියනවා පංච කාමය කියලා. ඒ කියන්නේ, ඇස පිනවීමට තිබෙන කැමැත්ත. නාසය පිනවීමට තිබෙන කැමැත්ත. දිව පිනවීමට තිබෙන කැමැත්ත. ශරීරය පිනවීමට තිබෙන කැමැත්ත. මේවා අල්ලා ගැනීම්, අප කළ යුතු වන්නේ අත හැරීමයි. ඒත් එය හිතන තරම් ලෙහෙසි පහසු නෑ. පුංචි කාලේ සිටම අතහැරීම පුරුදු පුහුණු කර ගන්නට ඕනෑ.

දිට්ඨි දිට්ඨමත්තම් පි භවිස්සති

සුතේ සුතමත්තම් පි භවිස්සති

මුතෙ මුතමත්තම්පි භව්ස්සති

විඤාතෝ විඤාත මත්තම්පි භවිස්සති

දුටු දේ දුටුවා පමණයි, ඇසූ දේ ඇසුවා පමණයි, දැනුණ දේ දැනුණා පමණයි, සිතුන දේ සිතුණා පමණයි කියලා දැන ගන්න ඕනෑ. අපේ ඇස්වලට හොඳ දේ වගේ ම නරකදේත් පෙනෙනවා. ඒවා අල්ලා ගන්නේ නැතිව අත හරින්න පුරුදු වෙන්න ඕනෑ. දැන් සමහර පුංචි දුවලා පුතාලා කාටුන් බලන්න, ටෙලි නාට්‍ය බලන්න පුරුදු වුණාම අත හරින්නේ නෑ. පරිගණක ක්‍රීඩා (ගේම්) කළාට කමක් නෑ. ඒත් ඕන වෙලාවක අත හැරලා ආපසු අධ්‍යාපන කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනෑ.

ඉතින් දරුවනේ මේ අල්ලා ගැනීම්වල ස්වභාවය පිළිබඳව අපි ඇසළ පුර අටවක පෝදා බුදුසරණ කලාපයෙන් (ජූලි 19) සාකච්ඡා කරමු.

- රමණි සුබසිංහ

-