Print this Article


පිරිත් දේශනාව 16: චන්ද පිරිත හා සූරිය පිරිත

මෝර පිරිතෙහි පසුගිය සතියේ ඉතිරියෙන් ...

තමා එකල අහසින් යොදා ගත් රන්වන් රථය මඟුල් පොකුණෙහි ඇති බවත් ,ජලය ඉවත් කර එය ගෙන සැක දුරු කර ගන්නා ලෙසත් රණ මොණරා කී ය. රජතුමා එසේ කර සැක නැති කරගෙන මොණරා මුදා හළේ ය. රණ මොණරා රජුට අවවාද කොට වනයට ම ගියේය.

බුදුරජාණන් වහන්සේ මේ අතීත පුවත දක්වා ධර්ම දේශනා කළ කල්හි උකටලීව වැඩ සිටි භික්ෂුව රහත් භාවයට පත් වූහ. එකල රජ්ජුරුවෝ ආනන්ද තෙරුන්ය. රණ මොණරා නම් තමන් වහන්සේ යැයි වදාළ සේක.

ඉහත පිරිත් සූත්‍රය හා ඊට අදාළ වී ඇති නිදාන කතාව විමසා බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයකි.

තමන් යම් කිසි ක්‍රියාවලියක් අඛණ්ඩව කිසියම් අරමුණකින් ඉටු කරන්නේ නම්, එය ඉටුකර ගැනීමේ හැකියාව පවතින බව ය.

තමන්ගේ සිතිවිලිවල යහපත් බව අහිමි වු ක්ෂණයකින් තමන් පීඩාවට පත්වීම හා අන්‍යයන්ගේ පීඩාවන්ට පත්වීම සිදුවන බව

අඛණ්ඩව පිරිත් දේශනා කිරීමෙන් බලාපොරොත්තු වන අපේක්ෂාවන් ඉටුකර ගත හැකි බව

කිසිවෙක් තමන්ට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දෙයක් ළඟා කරගත නොහැකිවුවහොත් ඒ පිළිබඳව වෛර සහගත සිතකින් මියැදෙන බව

කුසල කර්මවලට යහපත් විපාකත්,අකුසල කර්මවලට අයහපත් විපාකත් සමීප වන බව,

සිත කෙතරම් දුර්වල වුවත් නිවරැදි පුද්ගලයකු හමුවීමෙන් හා ඔහු ලබාදෙන මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් යහපත් තැනකට පත්විය හැකි බවයි.


පිරිත් දේශනාව 16:

චන්ද පිරිත හා සූරිය පිරිත

රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා අල්ලා ගන්නා විට චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා චන්ද පිරිත ද, සූර්ය දිව්‍ය පුත්‍රයා අල්ලා ගන්නා විට සූර්ය දිව්‍ය පුත්‍රයා සූරිය පිරිත ද දේශනා කර තිබේ.

චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙමේ බුදුරජාණන් වහන්සේ සිහි කරමින් මේ ගාථාව කිව්වේ ය. බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණ සේක. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම (රාහුගෙන්) කරදරයට පැමිණියෙමි. අසරණ වූ මට සරණ වනු මැනවි. අනතුරුව බුදුරජාණන් වහන්සේ රාහු අසුරේන්ද්‍රයා අමතා ඇත. රාහු අසුරේන්ද්‍රයා, චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙමේ නිකෙලෙස් වූ තථාගතයන් වහන්සේ සරණ ගිය කෙනෙකි. බුදුන් වහන්සේලා වනාහි ලොවට අනුකම්පා කරන්නෝ ය. ඒ නිසා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා අත් හරවයි වදාළ සේක.

රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා අතහැර වේපචිත්ති අසුරේන්ද්‍රයා වෙත ගොස් බියෙන් තැතිගෙන සිටියේ ය. ඔබ සංවේගයෙන් පසුවන්නේ මන්දැයි වේපචිත්ති අසුරේන්ද්‍රයා ප්‍රශ්න කළේ ය. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ විසින් චන්ද්‍රයා අත්හරින්නයයි මට කියන ලදී. අත්නොහළේ නම් මාගේ හිස සත් කඩකට පැලේ. ජීවත් වුව ද සැපයක් නොලබමි.

චන්ද පිරිත පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන කරුණු ගණනාවකි. අසරණ බවට, බියට පත් බොහෝ අය බුදුරදුන් වෙත ගොස් පිහිට අයැද ඇත.

එම අවස්ථාවේ දී බුදුරදුන් ඔවුන්ගේ බිය සැක, අසරණ භාවය බැහැර කිරීම සඳහා කටයුතු කර ඇත. යමෙක් හට බුදුරජාණන් වහන්සේගේ පවා පිහිට හිමිවන්නේ ඔහු බුද්ධ රත්නය සරණ ගොස් ඇත්නම් ය. බුදුන් සරණ යනවා යන්නෙන් අදහස් කරන්නේ සැදැහැති බවෙහි පිහිටනවා යන්නයි. ශ්‍රද්ධාවේ පිහිටි විට අයහපත් කායික, වාචසික, මානසික ස්වභාවයන් බැහැර කර යහපත් සිතිවිලි ධාරාවන් වැඩි දියුණු කරගෙන වාසය කරයි.