Print this Article


 මිහිඳු මා හිමියන්ගේ ප්‍රථම අනුශාසනය

 මිහිඳු මා හිමියන්ගේ ප්‍රථම අනුශාසනය

සත්‍ය, ජීවිතය ආලෝකමත් කරයි. අසත්‍ය, ජීවිත අඳුරු කරයි. සත්‍ය වචනයෙන් ලොවක් සැනසූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ සත්‍ය වචනය දෙසවනට අමා බිඳු වැනි ය. හදවතට සිසිල් සිය දහරක් බඳු ය.

පංචශීලය ගාහස්ථ ශීලයයි. ශීලයේ ප්‍රභේද රාශියක් ඇත. ඒ අතර පංච ශීලයට විශේෂ තැනක් හිමි වේ. හැම භෞතික සම්පතකට වඩා ශීල සම්පත්තිය වටිනවා. “ශීල සම්පදා” වශයෙන් දේශනා කළේ එයයි. දස පාරමිතාවේ දෙවන පාරමිතාව ශීලයයි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අතර, දෙවැන්න ශීලයයි. ආර්ය ධන හතෙන් දෙවැන්න ශීලයයි. එබැවින් අප හැමදෙනාම මෙම ශීලය ජීවිතාන්තය දක්වාම ආරක්ෂා කර ගත යුතු වෙනවා.

එදා පොසොන්පුර පසළොස්වක පොහෝදා මිහිඳු මා හිමියන් වහන්සේ පළමුව දෙවන පෑ තිස් රජු ඇතුළු පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා උපාසකයන් බවට පත් කළහ. තෙරුවන් සරණ ගිය තැනැත්තා ශාසනයේ උපාසක බව ලබයි. මෙරට බුදු සසුනේ ප්‍රථමයෙන් තෙරුවන් සරණ ගිය පිරිස බව පත් වූයේ දෙවන පෑ තිස් රජු ඇතුළු මේ පිරිසයි. ඒ නිසා ඔවුහු උපාසක බවට සුදුස්සෝ වූහ.

පොසොන් පොහෝ දිනක ප්‍රථම වතාවට තිසරණ සහිත පංචශීලයෙහි පිහිටි දෙවන පෑතිස් රජු ජීවිතයේ අවසන් හුස්ම පොද දක්වාම එය ආරක්ෂා කර ගන්නට ඇත. ශාසනයේ චිර පැවැත්මට ඔහු සිදු කළ උදාර සේවාවන් ගැන සිතන විට එය පැහැදිලිව අවබෝධ වේ.

යමෙක් සත්ත්ව ඝාතන, මිනිස් ඝාතන සිදු කරයි නම් එය ප්‍රාණ ඝාත අකුසල කර්මයට අයත් වේ. ජීවත් වීමේ නිදහස, අයිතිය කාටත් පොදු ය. අපි දඬුවමට බිය වෙමු. හිංසාවලට බිය වෙමු. මරණයට බිය වෙමු. අප මෙන් ම සියලු සත්ත්වයෝත් එයට කැමැති නැත. එබැවින් තමන් උපමා කොට එයින් වළකින ලෙස බුදු හිමි අවධාරණය කර ඇත.

මෛත්‍රී භාවනාවෙන් උගන්වන්නේ සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන පිළිවෙතයි. අද බොහෝ දෙනෙක් මේ පිළිවෙතින් ඈත්ව ඇති බව පෙනේ. දෙමව්පියන්, දූ දරුවන්, අඹු සැමියන් සහෝදර සහෝදරියන් වූ තම පවුලේ අයම පොඩි පොඩි අමනාපකම්වලට රණ්ඩු දබර වෙති. ඇතැම් විට ඒවා කෙළවර වන්නේ කෙනෙකුගේ මරණයෙනි. මාංශ අනුභවයට ලොල්වීම නිසා කිරි අම්මා සේ සැලකූ ගවයා වඳ වී යමින් පවතී. වන සම්පතට ආභරණයක් වූ අපටම ආවේණික වූ මුව, මී, ගෝණ ඇත් සේනා සීඝ්‍රයෙන් විනාශ කරමින් යයි.

යම් කිසි කෙනෙකු වසර කිහිපයක් ජීවත් විය හැකි මිනිසෙකුගේ හෝ සත්ත්වයෙකු ඝාතනය කරයි නම් ඔහු සිදු කර ඇත්තේ ඒ පුද්ගලයාගේ පරමායුෂ උදුරා ගැනීමකි. ඔවුහු දීර්ඝායුෂ නොවිඳ මද ආයු ප්‍රමාණයකින් මරණයට පත් වේ. සසර පුරාවට සුව කළ නොහැකි රෝගාබාධයන්ට ගොදුරු වී අකල්මරණ වලට පත් වේ.

කෙනෙකුව දුක් මහන්සි වී යමක් කමක් හරි හම්බ කර ගන්නේ, තම දරු පවුල සමඟ සතුටින්, සැපෙන් සිටීමටයි. මේ ගැන නොසිතන තවෙකෙකු ඒ සම්පත් සොර සිතින් පැහැර ගනී නම්, එය සොරකමයි. එදා ගේ දොර අතහැර දවස් ගණන් පිටව ගොස් සිටියද, ගේ දොරට, වස්තුවට හානියක් නොවිණි. වර්තමානය එදාට වඩා අද වෙනස් වී ඇත. රෑ දහවල් වෙනසක් නැතිව තනිව හෝ කණ්ඩායම් වශයෙන් සංවිධානය වී ප්‍රසිද්ධියේ සොරකම් කරති. රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන කියා වෙනසක් නැත. උඩ සිට පහළට මේ ක්‍රියාවේ යෙදෙන ඇතැම් පුද්ගලයෝ සිටිති.

කෙනෙකු සොරකමට පෙළඹවීමට හේතු “චක්කවත්ති සීහනාද” වැනි සූත්‍ර වල පෙන්වා දී ඇත.

සොරකම් කර ජීවත් වන්නෝ සැකෙන් බියෙන් ජීවත් වෙති. සමාජය ඔහු පිළිකුල් කරයි. තම දූ දරුවන්ට සමාජයට යා නොහැක. පාසල් යා නොහැක. අහවල් පුද්ගලයාගේ දරුවෝ යැයි නින්දා කරති. සිර ගෙවල් වල ලගිති. මෙලොවත් පරලොවත් පිරිහෙති. මරණින් පසු අපාගාමී වෙති.

අඹුසැමි යුවල පවුල් සංස්ථාවේ අත්තිවාරමයි. දරුවෝ එහි කොටස් කරුවන් ය. අඹු සැමියන් වීමට පෙර ඔවුහු ආදරවන්තයෝ ය. මිතුරු මිතුරියන් ය. ටිකෙන් ටික මෝරා වැඩෙන මේ මිතු දම ආදරයක් බවට පෙරළී පාර්ශව දෙකේ ආශිර්වාද මැද කුල සිරිත්වලට අනුව විවාහ ගිවිස ගනී. තවත් සමහරු ආශීර්වාද ඇතිව හෝ නැතිව විවාහයට පත් වේ. මෙසේ විවාහ පත්වන දෙදෙනා අවබෝධයෙන් ජීවත් විය යුතු ය. නොකැළැල් පිරිසුදු බවින් පරිපූර්ණ විය යුතු ය. කැළලක් නැතිව ජීවත් වන්නට තිබෙනවා නම් එය මිණි මුතුවලටත් වඩා ශ්‍රේෂ්ඨයි.

සත්‍ය, ජීවිතය ආලෝකමත් කරයි. අසත්‍ය, ජීවිත අඳුරු කරයි. සත්‍ය වචනයෙන් ලොවක් සැනසූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ සත්‍ය වචනය දෙසවනට අමා බිඳු වැනි ය. හදවතට සිසිල් සිය දහරක් බඳු ය. චන්ඩත්වයෙන් මිනිසුන් බිය වැද්දූ අංගුලිමාල, සච්චක ආලවක, නාලාගිරි, වැන්නවුන් දමනය කළේ මී පැණි වන් සත්‍ය වචනයෙනි. බොරුව, පරුෂ වචන නොදෙඩූහ. බෝසත් චරිතයේ ඒ ඒ ආත්මවල යම් යම් අඩු පාඩු තිබුණ ද කිසිදා බොරු නොකියා ඇතැයි කියවේ. වත්මනෙහි බොහෝ දෙනෙක් බොරු කියති. එවැන්නාට නොකළ හැකි පවක් නැත්තේ ය. සාර්ථක යුග ජීවිත, දූ දරු සබඳතා, ගුරු සිසු සබඳතා, ගිහි පැවිදි සබඳතා, නැති බොරු ගොතා මේ සම්බන්ධතා කඩා බිඳ දමති. ඔබ මෙවැනි දේ ජනමාධ්‍ය තුළින් කොතෙකුත් දැක අසා ඇත. ඔබ කල්පනාකාරී වන්න. මොවුන්ගෙන් ප්‍රවේසම් වන්න.

අවසන් ශික්ෂා පදයෙන් කියැවෙන්නේ මත්පැන් පානයෙන් මම වැළකී සිටිමි යන්නයි. මේ ශික්ෂා පදය යම් පුද්ගලයෙකු තුළ ඇත්නම් ඔහු ශ්‍රේෂ්ඨ මනුස්සයෙකි. මත්පැන් තරම් මිනිස් සමාජයට වින කළ තවත් සතුරෙක් නැති තරම්. අද මුළු ලෝකයම මේ සතුරාට ගොදුරු වෙලා. මේ සඳහා පුරුදු වූ තරුණ ජීවිත විනාශ වෙලා. ඇතැම් දරුවන් ද රැවටිලිකරුවන්ගේ ගොදුරු බවට පත්වෙන අවස්ථා අසන්නට ලැබේ.

“බුදුරජාණන් වහන්සේ මත්පැන් බොන්න එපා” කියා තහනම් කළේ හේතු ඇතිවයි. සුව කරන්න බැරි රෝගාබාධ හැදෙනවා. විවාහ ජීවිත කැඩෙනවා. දරු පවුල් අනාථ වෙනවා. ආර්ථිකය විනාශ වෙනවා. සමාජමය වශයෙනුත් පිරිහිලා විනාශ වනවා. මිහිඳු මා හිමියන් අපට පළමුව කියා දුන් පාඩම මේ පංච ශීලයේ පිහිටා කටයුතු කරන ලෙසටයි. මින් පසුවයි සූත්‍ර ගණනාවක් දේශනා කළේ. ඒ නිසා ඒ අනුව අපගේ ජීවිත හැඩ ගස්වා ගනිමු. වාසනාවන්ත කර ගනිමු.