Print this Article


බොදු පුබුදුව වඩන ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය

බොදු පුබුදුව වඩන ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය

නිව්යෝර්ක් බෞද්ධ විහාරය හා එහි නිර්මාතෘ කුරුණෑගොඩ නා හිමි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ ප්‍රධාන වෙළෙඳ නගරයකි. එම නගරයේ ක්වීන්ස් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හිල් සයිඩ් මාර්ගයේ 215 හරස් වීදියේ පාර්ක්සයිඩ් හිල්ස් කොටසේ ස්පෙන්සර් ඇවනියු හි අංක 214/22 දරණ ස්ථානයේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය පිහිටා ඇත. විහාරස්ථානයකට යෝග්‍ය ඉතා දර්ශනීය උස් බිමක පිහිටා ඇති නිව්යෝර්ක් බෞද්ධ විහාරය ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශය පුරා ථෙරවාදී බුදුදහම ප්‍රචාරය කරන ප්‍රබල බෞද්ධ කේන්ද්‍රස්ථානය කි.

නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ නිර්මාතෘවරයන් වහන්සේ වනුයේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්ම ලාභය ලැබූ උන් වහන්සේ 1941 නොවැම්බර් 06 වැනිදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. උන් වහන්සේට විදේශ ධර්මදූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ වෙතිනි. ඒ අනුව පියතිස්ස නාහිමියන් එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ථෙරවාදී බෞද්ධ භික්ෂුවක් ලෙස ධර්මදූත සේවාවට එක්විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා , සම්මන්ත්‍රණ, භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංගී‍්‍රසි ජාතිකයෝ ඇදී එන්නට වුහ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

 
නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පියතිස්ස නා හිමියන්ට උපහාර සන්නස් පත්‍රයක් පිළිගන්වමින් ... ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල්ක්ලින්ටන් මහතා සහ හිලරි ක්ලින්ටන් මහත්මිය ලංකාවට සුනාමි විපත සිදු වූ අවස්ථාවේදී ඊට සහන සැලසීමට නිව්යෝර්ක් බෞද්ධ විහාරයට පැමිණි අවස්ථාව

කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් සහ ආචාර්ය මැදගම වජිරඤාණ නාහිමියන් යන කීර්තිධර ධර්ම දූතයන් වහන්සේලා සමඟ එක්ව විශිෂ්ට ධර්මදූත සේවාවක නිරතවීමට අවස්ථා උදාවන්නේ උන්වහන්සේ දෙවැනිවරට ලන්ඩන් ධර්ම දූත සේවාව සඳහා වැඩමකළ අවස්ථාවේ පටන්ය. 1974 සිට 1981 දක්වා වු සත් වසරක් මුළුල්ලේ මහා බ්‍රිතාන්‍යයේ ඉතා විශිෂ්ට ධර්මදූත සේවාවක නිරතව සිටි පියතිස්ස නාහිමියෝ ඇමෙරිකානු බෞද්ධ ජනතාවගේ ආරාධනය පරිදි 1981 දී නිව්යෝර්ක් නුවරට වැඩම කළහ. මෑන්හැටන් (ථචදඩච බබචද) නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ආර්ට් ගැලරිහි සිදුකළ භාවනා වැඩසටහන උන් වහන්සේගේ ප්‍රථම ඇමෙරිකානු ධර්ම ප්‍රචාරක කාර්යය යි. එයින් පසු දිගින් දිගටම එවන් වැඩ සටහන් වෙනුවෙන් ආරාධනා ලැබෙන්නට විය.

මේ අතර පියතිස්ස නාහිමියන්ගේ පුරෝගාමී නායකත්වයෙන් ෆ්ලසින් නගරයේ ඉතා කුඩා ස්ථානයක ඇරඹුණු නිව්යෝර්ක් බෞද්ධ විහාරය පසුව කිව්ගාඩ්න් ප්‍රදේශයටත්, එතැනින් ක්වීන්ස් විලේජ් (Qභඥඥදඵ මඪතතචඨඥ) ප්‍ර‍්‍රදේශයටත් ගෙනයමින් අනුක්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයකට පත් කෙරුණි. ශ්‍රී ලංකාවෙන් පිටත ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානවත් බව මේ යැයි, කියාපාමින් ඉදිකළ මුල්ම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය මෙම නිව්යෝර්ක් බෞද්ධ විහාර මන්දිරයයි. මෙම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් බුදුදහම ඇමෙරිකාවට හඳුන්වාදීම සඳහා පියතිස්ස නාහිමියන් සිදුකළ ඉතා කාලීන වූ ද, සාර්ථක වූ ද යුග මෙහෙවර ඇමෙරිකානු බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු අත. අභිනව විහාරස්ථානය ඉදි කරවීමේ දී සත්ගුණවත් ආනන්ද සිල්වා මහතා සහ සුරනි ද සිල්වා මහත්මිය ඇතුලු සැදැහැවත් දායකකාරකාදී පිරිස ගෙන් ලද අනුග්‍රාහකත්වයන් පියතිස්ස නාහිමියෝ සැමදා කෘතවේදීව සිහිපත් කරති.

ව්‍යක්ත ලේඛකයෙකු ලෙස ද පියතිස්ස නාහිමියන් සුවිශාල ශාස්ත්‍රීය කටයුතු කිහිපයකටම දායකත්වය ලබා දී තිබේ. ඒවා ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ, ජාතික උන්නතියට අදාළ වන ග්‍රන්ථ, සාමාන්‍ය බෞද්ධ ජනතාවට ධර්මය සරලව තේරුම් කරදෙන ග්‍රන්ථ ඇමෙරිකාවේ ජීවත්වන දරුවන්ට ඉංගී‍්‍රසියෙන් ලියූ බුද්ධ ධර්ම පොත් හා විවිධ මාතෘකා ඔස්සේ ලියූ කුඩා දහම් පොත් වශයෙන් විවිධාකාර ස්වරූපයක් ගනියි. එසේම ආරම්භයේ පටන් වසර 35 කටත් වැඩි කාලයක් පුරාවටම “බුදුසරණ” පුවත් පතට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලියු උන්වහන්සේ ඊට අමතරව වෙනත් ජාතික පුවත්පත්වලට ද ලිපි සැපයූහ. තවද ඇමෙරිකාවේ සහ වෙනත් රටවල පළ කෙරෙන ප්‍රකාශනවලට ද ඉංගී‍්‍රසි බසින් සැපයූ ලිපි විශාල සංඛ්‍යාවකි.

පියතිස්ස නාහිමියන් කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාවේ සිදුකරන ධර්මදූත සේවාව වෙනුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ බිල්ක්ලින්ටන් මහතා උන්වහන්සේ ධවල මන්දිරයට වැඩමකරවා ගෙන විශේෂ උපහාරයක් දැක්වී ය. නිව්යෝර්ක් නගරාධිපතිවරයා උපහාර පිදු අවස්ථා කිහිපයක්ම පවතියි. 1999 දී පියතිස්ස නාහිමියෝ නිව්යෝර්ක් බෞද්ධ සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස පත් වූ හ. එසේ පත්වීම් ලබා වෙසක් පොහොය දිනය ලෝක බෞද්ධ නිවාඩු දිනයක් ලෙස සම්මත කළ යුතු බවට ඕභඤඤඩඪඵබ ඛ්ධභදජඪත ධට දඥඹ රධපඬ රැස්වීමේ දී පියතිස්ස නාහිමි ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම් බෘටෝස් බෘටෝස් ගාලි මහතා වෙත යොමු කෙරිණි. ඒ සමගම එම යෝජනාව එවක ඇමෙරිකානු ජනාධිපති බිල්ක්ලින්ටන් මහතා වෙත ද නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙතද යොමු කෙරිණී.

ඒ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයින් ද මේ ගැන දැනුවත් කෙරිණි. එමතු නොව ශ්‍රී ලංකා රජය විසින් ද මෙම යෝජනාව එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතු බව පියතිස්ස නාහිමි දැන්වීමත් සමඟම නොබෝ කලෙකින් උන්වහන්සේ හා එවකට බුද්ධශාසන ඇමතිව සිටි ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ද කොළඹ දි පැවැත්වුණි.

එවකට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන ඊළඟ වාරයේ දී ඉල්ලීම වු වෙසක් දින යෝජනාව ගැන සිය දේශනයේ දී සඳහන් කළේය. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වු ජෝන් ද සේරම් මහතා විසින් එම යෝජනාව එනම් වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතුය” යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළේය. රටවල් තිස්හතරක අනුග්‍රහය ඇතිව එම යෝජනාව එක්සත් ජාතීහු ඒකච්ඡන්දයෙන් සම්මත කළහ. මෙම සම්මතයත් සමඟ බුදුදහම සහ බෞද්ධ වත් පිළිවෙත් වෙත ලෝක අවධානය යොමු වුණි. එතැන් පටන් වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි මූලස්ථානයේදී වෙසක් උත්සව පවත්වයි.

දැනට උපතින් අනූ වැනි වියට සැපත්ව වැඩ සිටින පියතිස්ස නාහිමියන් කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමි හා නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නාහිමියන් ස්වකීය දිවිමගට අත්වැලක් වු අයුරු නිතර කෘතවේදීව සිහිපත් කරති. තවද උන්වහන්සේ ගේ සැම කාර්යයකටම නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසී අලුත්ගම ධම්මජෝති හිමි, අක්මීමන නාගිත හිමි , කුරුණෑගොඩ ධම්මාලෝක හිමි, පාරඹේ සිරිනිවාස හිමි, ඇරෑගම සිරිසුමන හිමි, වෑකඳවල තුසිත හිමි සහ බඹරැන්දේ සුමේධ හිමියන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළමට්ටමක පවතියි. තවද නිව්යොර්ක් බෞද්ධ විහාරයට අමතරව පියතිස්ස නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ඇමෙරිකාවේ, ඇරඹි තවත් විහාරස්ථාන සතරෙකි. ඒවා නම්, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, නිව්ජර්සි බෞද්ධ විහාරය, නිව් ඉන්ග්ලන්ඩ් බෞද්ධ විහාරය ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාර යයි. පිළිවෙලින් ඒවායෙහි හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමි, හුංගම්පොල සිරිරතන නාහිමි, අලුත්ගම ධම්මජෝති හිමි, සහ කොට්ටාවේ නන්ද හිමි විහාරාධිපතිත්වය දරති.

මෙම හැඳින්වීම අවසන් කිරීමට කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ලියු “සිංහල ධම්මපද කාව්‍යය” ග්‍රන්ථයේ පූර්විකාවෙන් කවි දෙකක් උපුටා දැක්වීම යෝග්‍ය යැයි හඟිමි.

බුදු දම් සඟ සරණය අප ගන්නේ
තෙරුවනටය ගත සිත ද නමන්නේ
සිසිලස එහි මුලු ලොවට ගෙනෙන්නේ
බුදු බණ ලොව සැම දෙස පිනවන්නේ

බුදු බණ වේවා මසිත තිබෙන්නේ
බුදු බණ වේවා ම මුවින් එන්නේ
බුදු බණ වේවා මා සර සන්නේ
බුදු බණ මය ලෝකෙට සෙත දෙන්නේ

මෙය සකස් කිරීමේදී සහාය වූ ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි හිමි, නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රවේදී වෑකඳවල තුසිත හිමි සහ ආදි ආනන්දීය බෞදධ සංගමයේ කුමාරනාථ රණසිංහ මහතාට ද විශේෂ ස්තුතිය පිරිනැමේ.


බෞද්ධ ප්‍රබෝධයට උරදුන් නිව්යෝර්ක් බෞද්ධ විහාරය

 

කඨින පින්කමක අවස්ථාවක්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය එරට පිහිටි බෞද්ධාගමික මධ්‍යස්ථාන අතර ඉහළින් වැජඹෙන පුණ්‍ය භූමියකි. එම විහාරය කේන්ද්‍රකර ගනිමින් ඇමෙරිකාව තුළ සිදුකෙරෙන ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාව පිළිබඳ අපි බෙහෙවින් ම ප්‍රසාදයට පත්ව සිටිමු. මේ සෑම සේවාවක්ම එදා මෙදා තුර ඉතා සාර්ථක පියවර රැසක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යා හැකි වූයේ කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා ම ය. එම විහාරවාසි හිමිවරුන්ගෙන් සහ සැදැහැවත් දායක පිරිසගෙන් ඊට ලැබුණු උපකාරයන් ද ඉතා ඉහළ මට්ටමක පවතියි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සේවාවන් විදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන් ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්තව පැවතීම විශේෂත්වයකි. ධර්ම විනය හා භාෂා ශාස්ත්‍රය පිළිබඳ පැතිරීගිය අව්‍යාජ වූ දැනුම් සම්භාරයකින් හෙබි පියතිස්ස මාහිමියන්ගේ උදාර ධර්ම දූත මෙහෙවර එම ක්ෂේත්‍රයෙහි නිරතවී සිටින ලොකු කුඩා භික්ෂූන් වහන්සේලාට බෙහෙවින්ම ආදර්ශයට යෝග්‍යය .

නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍රකර ගෙන බුදුසරණ පුවත්පත මගින් මෙවන් අතිරේකයක් පළකිරීමට ක්‍රියා කළ නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ වැඩසිටිමින් ඉතා දිගුකලක් ධර්ම දූත සේවාවෙහි නිරතව සිටි දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති ත්‍රිපිටකවේදී ,ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිිමියන්ට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.

කුරුණෑගොඩ පියතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍රකර ගනිමින් ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව ලෝ සසුන් සේවාවෙහි නිරතවීමට උතුම් වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, දෙවිදේවතාවුන් වහන්සේලා ගේ නොමද රැකවරණයත් සැලසේවා!