Print this Article


බාලපණ්ඩිත සූත්‍රය: නිරයේ නිරි සතුන් විඳින දඬුවම්

බාලපණ්ඩිත සූත්‍රය:

නිරයේ නිරි සතුන් විඳින දඬුවම්

මෙම ලිපියේ මුල් කොටස ජූනි 27 දා පත්‍රයේ පළවිය 

නිරයේ ඉපදුණු නිරිසතාට දෙන දඬුවම් ගැන බුදුරජාණන් වහන්සේමේ විදියට විස්තර කරනවා. පළමුවෙන්ම යම පල්ලෝ පස් ආකාරයක බන්ධනය කියන දඬුවම දෙනවා. ඒ කියන්නේ යකඩ උල් අරගෙන අත්වලට කකුල්වලට ගහලා පපුවටත් අනිනවා. ඒ නිසා දැඩි දුකක් ඔහු විඳිනවා. පාප කර්මය ගෙවෙනතුරුම ඔහු මැරෙන්නේ නැහැ.

ඊට පස්සේ යමපල්ලෝ ඔහු යකඩ පොළවක බාවනවා. කෙටේරිවලින් සහිනවා. ඒත් මියයන්නේ නැහැ. ඊට පස්සේ කකුල් උඩු පැත්තට හරවා ඔළුවෙන් හිටවා වෑයෙන් සහිනවා. ඊළඟට ගිනිගෙන දිලිසෙන රථයට නිරිසතා ගැටගසා වටේටම ගිනි ඇවිලෙන ගිනියම් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා. ඒ හේතුවෙන් දැඩි දුකක් විඳිනවා. ඒත් පාප කර්මය ගෙවෙනතුරුම මියයන්නේ නැහැ.

යමපල්ලෝ ගිනියම් වූු ගිනි අඟුරු පර්වතයකට මේ නිරි සතා නග්ගවනවා, බස්සවනවා. දැඩි දුකක් විඳිනවා. ඒත් මැරෙන්නේ නැහැ. කකුල් උඩු අතට හරවා ඔළුව යටි අතට හරවා වටේට ගිනි ඇවිලෙන ගිනියම් වූ ලෝකුඹු නිරයේ ඔබනවා. ඔහුගේ ශරීරය ලෝදියේ පෑහෙන්නේ පෙණ ගුලියක් වගේ. පාප කර්මය ගෙවෙනතුරු ඔහු මැරෙන්නේ නැහැ. ඊට පස්සේ යමපල්ලෝ ඔහු මහා නිරයට ඇද දානවා. එය යකඩ ප්‍රාකාරයකින් වටවෙලා තියෙන්නේ. එය ගිනිගන්නවා. වටේට යොදුන් සියයක් ඈතට ගිනිදැල් පැතිරිලා තියෙන්නේ. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10 ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර් දාහක් විතර ඈතට ගිනිදැල් විහිදිලා තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අපාය ගැන මේ මේ විදියට විස්තර කළාට අපායේ තියෙන දුක් මෙපමණයි කියලා සම්පූර්ණයෙන් විස්තර කරන්න පුළුවන්කමක් නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකය ගැන විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා තණකොළ අනුභව කරල ජීවත්වෙන සත්වයො, අසූචි අනුභව කරල ජීවත්වෙන සත්වයො, අන්ධකාරයේ ජීවත්වෙන සත්වයො, ජලයෙහි ජීවත්වෙන සත්වයො, කුණු කාණුවල කුණු මස්වල ඉපදිලා ජීවත්වෙලා ඒවායේම මැරෙන සත්වයො පිළිබඳව. මෙහෙම සිද්ධවෙන්නේ බාලයා මනුස්ස ලෝකයේ ජීවතය ගෙවද්දී පංචකාම රස විඳින්න ගිහිල්ලා පව් එක්රැස් කරගැනීම නිසයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් එක සිදුරක් තියෙන විය ගහක් මුහුදට විසිකරනවා. මේ විය ගහ උතුර, දකුණ, බටහිර, නැගෙනහිර දිශාවලට හුළං හමන අතට ගසාගෙන යනවා. ඒ මුහුද පතුලෙ ඉන්නවා එක ඇසක් පෙනෙන කණ කැස්බෑවෙක්. ඒ කැස්බෑවා අවුරුදු සියයට වතාවක් උඩට එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා “ඔය කැස්බෑවට එක සිදුරක් තියෙන විය ගහෙන් ඔළුව ඇතුළට දාගන්න පුළුවන් වෙයිද” කියලා. එතකොට කියනවා “ස්වාමීනි ඉතාමත් දීර්ඝ කාලයකින් ඒක වෙන්න පුළුවන්” කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘එක වතාවක් අපායේ හිටපු අසත්පුරුෂ බාලයාට නැවත මනුස්ස ආත්මයක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කරුණක් කියලා. ඒකට හේතුව අපායේ කිසිම ධර්මයේ හැසිරීමක්, කුසල් කිරීමක් නැහැ. එකිනෙකා කා ගැනීම දුර්වලයන් කා ගැනීම විතරයි. අපායේ තියෙන්නේ කියනවා.

මේ සත්වයො බොහොම කාලයක් අපායේ දුක් විඳලා මනුස්ස ආත්මයක් ලබනවා. යම්කිසි නීච කුල තියෙනවානම් ඒවායේ උප්පත්තිය ලබනවා. සැඩොල් කුලය, වැදි කුලය, රථකාර කුලය, කුක්කුස කුලය ආදී කුලවල ඉතාමත් දිළිඳු වෙලා උපදිනවා. කෑම බීම හරියට ලැබෙන්නේ නැහැ. පිපාසය බඩගින්න යන්තමින් නිවාගෙන දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඒ පුද්ගලයා දැකීමත් අප්‍රසන්නයි. විරූපයි. නොයෙක් ලෙඩ රෝග හැදිලා. කණවෙලා, කොරවෙලා, කුදුයි. නැතිනම් අත පය පණ නැහැ. එයා නැවතත් කයෙන් වචනයෙන් මනසෙන් දුෂ්චරිතයේ හැසිරිලා මියගිය පසු දුගතියේ විනිපාත නම් නිරයේ උපදිනවා. ඒක හරියට සූදු කාරයෙක් මුහුණ දෙන පළමුවැනි පරාජයෙන්ම අත්වන පිරිහීම වගෙයි. ඒකෙදි එයා දරුවන්ගෙනුත් පිරිහෙනවා. ස්වාමි දියණියගෙනුත් පිරිහෙනවා. සියලු වස්තූන්ගෙන් පිරිහෙනවා. ඒ වගේම හිරේ විලංගුවෙත් වැටෙනවා.

එවැනි පරාජයක්, හිරේ විලංගුවේ වැටීමක් වගේ දෙයක් අල්පමාත්‍ර පාරජයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ බාලයා කයෙන් මනසෙන් දුෂ්චරිතයෙ දී හැසිරිලා මරණින් පසු අපායේ ඉපදීම අර ඉහතින් දැක් වූ පරාජයට වඩා අන්ත පරාජයක් කියල උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මුළුමනින්ම පරිපූර්ණ වූ බාල අසත්පුරුෂ භූමිය කියන්නේ අපායට.

ඊළඟට බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ නුවණැත්තා ගැන දේශනා කරනවා. සත්පුරුෂ නුවණැත්තා තුළ ඒ සත්පුරුෂ නුවණැති බව පෙන්වන ලක්ෂණ තියෙනවා. නිමිති තියෙනවා. චර්යාවත් තියෙනවා. ඒ සත්පුරුෂ නුවණැත්තා යහපත් සිතිවිලිමයි සිතන්නේ. යහපත් වචනමයි කියන්නේ. ඔහපත් වැඩමයි කරන්නේ. යම් විදියකින් මේ සත්පුරුෂ නුවණැත්තා යහපත් සිතිවිලි සිතන්නේ නැතිනම්, යහපත් වචන කතා කරන්නේ නැතිනම්, යහපත්වැඩ කරන්නේ නැතිනම් යහපත් සත්පුරුෂ පණ්ඩිතයකුට හොයා ගන්න බැහැ කියනවා. මේ පුද්ගලයා සත්පුරුෂ නුවණැත්තෙක් කියලා. මේ සත්පුරුෂ නුවණැත්තා මේ ජීවිතයේදීම තුන් ආකාරයකින් සැප සොම්නස් විඳිනවා. ඔහු පිරිසක් මැද වාඩිවෙලා ඉන්න වෙලාවක ජනතාව එයාගෙ සත්පුරුෂ ක්‍රියාවට ගැළපෙන දේ ගැන කතා කරනවා අහන්න ලැබෙනවා. ඔහු සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරැදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්නේ නැහැ. එවිට සත්පුරුෂ නුවණැත්තාට සිතෙනවා මේ මිනිස්සු සුචරිතය ගැන කතා බස් කරනවා. මේ සුචරිත කරුණු මා ළඟත් තියෙනවා. මමත් ඒ සුචරිත ධර්මයන් තුළ ඉන්නවා කියලා. මේ සත්පුරුෂ නුවණැත්තා මෙලොවදීම සැප සම්පත් විඳින පළමුවැනි කරුණ මෙය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.