Print this Article


සම්බුදු ගුණමහිම: ශ්‍රද්ධාව

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 35

ශ්‍රද්ධාව

පමණ දැන ආහාර වැළඳීම ගැන අපිත් ඉගෙන ගන්නට ඕනෑ. පමණ දැන ආහාර ගන්නේ කොහොමද? කුස පිරෙන්න බත් කටවල් හතරක් පහක් තියෙද්දී ආහාර ගැනීම නවත්වලා වතුර බොන්න ඕන. එහෙම වුනොත් කය පහසුවෙන්, සැහැල්ලුවෙන් පවත්වන්ට පුළුවන්. එතකොට ඔය නිදිමත, බත් මත මේවා නැතිවෙනවා. අඩු වෙනවා. බුදුපියාණන් වහන්සේ පමණ දැන ආහාර ගත්තේ. උන්වහන්සේ කවදාවත් සීමාව ඉක්මවා ආහාර ගත්තේ නැහැ. උන්වහන්සේ වළඳන්නේ දවසටම එකවේලයි. ඒ වාගේ පුදුමාකාර චරණ ගුණයක් බුදුපියාණන් වහන්සේ ළඟ තිබුණා.

ජාගරියානු යෝගය. නිදිවරාගෙන ගුණ පිළිවෙත් පිරුවා. උන්වහන්සේ ගේ ජීවිත කතාව නැත්නම් දවසේ දින චරියාව බලනකොට උන්වහන්සේ සැතපෙන්නේ දවසකට පැයකුත් විනාඩි 20 යි. සැතපෙනවා නෙමෙයි, දකුණු ඇලයෙන්, සිංහ සෙය්‍යාවෙන් ඇලවෙනවා. පැයකුත් විනාඩි 20 යි. කොහොමද? උන්වහන්සේගේ දින චරියාව කොටස් 03 කට බෙදෙනවා. පෙර බත්කිස, පසු බත්කිස කියා උදය කාලය කොටස් 02 ට බෙදෙනවා. දවල් කාලය බෙදෙනවා උදේ සවස කියා රාත්‍රිය කොටස් 03 ට බෙදනවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම කියා. පූර්ව යාමට පැය 04 යි. මධ්‍යම යාමය පැය 04 යි. පච්ඡිම යාමය පැය 04 යි. දැන් පූර්ව යාමයේ තමයි බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ශික්ෂා පද පැනවීම, ජාතක දේශනා කිරීම සිදු කළේ. මධ්‍යම රාත්‍රියේ දී දෙවියන්, බ්‍රහ්මයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවසාන පැය 04 කොටස් 03 ට බෙදනවා. සක්මන් කරන්න කාලයක්, සැතපෙන්න කාලයක්. මහා කරුණා සමවතට සමවදින්න කාලයක්. පැයකුත් විනාඩි 20 ක් සක්මන් කරනවා. පැයක් සැතපෙනවා. උදේ පිණ්ඩපාත වේලාව හෙවත් අරුණ නඟිනකම් මහා කරුණා සමවතට සම වැදිලා බුදු ඇසින් මේ ලෝකය දිහා බලනවා. අද මම පිහිට වෙන්න ඕන කාටද කියලා .මේ තමයි තථාගතයන් වහන්සේගේ චාරිත්‍රය. ඒ අනුව උන්වහන්සේ නිදිවරාගෙන, මේ පූර්ණ ප්‍රතිපත්තිය මනාව පුරුදු කළා. නිදිවරාගෙන ඔබ මේ අහන්නේ මොනවාද? බණ, කෙලෙස් තවන වීර්යය. ඊළඟට ශ්‍රද්ධාවයි හිරියයි, ඔත්තප්පයයි. බහුශ්‍රැත බවයි. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද?

ශ්‍රද්ධාව’ කියන්නේ හිතේ පැහැදීම ‘සද්දහනා’ හිතේ පැහැදෙන ආකාරය. ඒ වගේම තෙරුවන් කෙරෙහි බැස ගත්ත ශ්‍රද්ධාව ‘ඕකප්පනා’ අභිඡපසාදෝ’ කියන්නේ පැතිරිච්ච විශේෂ පැහැදීම ඉන්ද්‍රියයක් විදියට බලයක් විදියට වැඩකරනවා. ඕක තමා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියා කියන්නේ තෙරුවන් කෙරෙහි විශේෂයෙන් දක්වන පැහැදීම ගෞරවය, විශ්වාසය. අට්ඨකතාචාර්යයන් වහන්සේ ශ්‍රද්ධාව කොටස්වලට බෙදලා තියෙනවා.

‘සම්පසාදන ලක්ඛණ සද්ධා
සම්පක්ඛන්දන ලක්ඛණ සද්ධා
ආගම ශ්‍රද්ධා
අධිගම ශ්‍රද්ධා
සද්දහන ලක්ඛණ සද්ධා

ආදී වශයෙන් බෙදෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදෙන ආකාරය සම්ප්‍රසාදන ලක්ඛණ ශ්‍රද්ධාව,උදකප්‍රාද මාණික්‍ය රත්නය මෙන් අපේ සිත් අකුසල් සිතක් තියෙන වේලාවට මොකද වෙන්නේ. අකුසල් ඔක්කොම නැතිවෙලා ගිහින් සිත පිරිසුදු කරනවා. පුදුම ප්‍රසන්න බවකට පත් කරනවා. සිතේ ඇතිවෙන අකුසල් යටපත් කරනවා කුසලයෙන්. අන්න සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව. හරියට දෙගොඩ තලා බහින ගලාගෙන යන ගංගාවක් දෙකට දෙබෑකරගෙන මහා ශක්ති සම්පන්න මනුස්සයෙක් යන්නා වගේ අපට එන සියලු බාධා ජයගෙන උත්සාහයෙන්, උනන්දුව ඇතිකරගෙන පුදුමාකාර පැහැදීමකින් මේ ශාසනයේ පින්කම් කරනවා. එය අපි කියනවා සම්පක්ඛන්දන ලක්ඛණ ශ්‍රද්ධාව කියලා. දැන් බලන්න මේවාගේ පින්කම් සංවිධානය කරන කොට ගැටීම්, ප්‍රශ්න, අවුල් කීයක් ඇතිවෙනවා ද? නමුත් මේවා කොච්චර ආවත් තමන්ගේ බලාපොරොත්තු අපේ අධිෂ්ඨානය මේ හැම දෙයක්ම බිඳගෙන යන්නේ තෙරුවන් කෙරෙහි තිබෙන පැහැදීමයි. සම්පක්ඛන්දන ලක්ඛණ ශ්‍රද්ධාව. ඕකප්පන ලක්ඛණ ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි බැස ගත්ත ශ්‍රද්ධාවක්.

නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං

මට බුදුන් වහන්සේ හැර වෙන සරණක් නෑ.

‘නත්ථි මේ සරණං අඤ්ඤං
ධම්මෝ මේ සරණං වරං’

මට ධර්මය හැර වෙනත් සරණක් නෑ. මට සංඝයා හැර වෙනත් සරණක් නෑ. තෙරුවන් කෙරෙහි බැස ගත් පුදුමාකාර පැහැදීමකින් තමා මේ ගමන යන්නේ. ආගම සද්ධා ආත්ම කියලා කියන්නේ. ධර්මය ඉගෙන ගන්ට, ඉගෙන ගන්ට ධර්මයට පැමිණෙන්න, පැමිණෙන්න සිතට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. අධිගම කියා කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමෙන් ඇතිවන ශ්‍රද්ධාව. සෝවාන් ආදි මාර්ගඵල ලබමින් ස්ථාවර ශ්‍රද්ධාවකට බැස ගන්නවා. බුදුපියාණන් වහන්සේ මේ කියන ශ්‍රද්ධාවේ අගතැන්පත් බවට පත්වෙච්ච උතුමෙක්. උන්වහන්සේට මේ ශ්‍රද්ධාව ඇතිවුණේ කවදාද? එදා අම්මාගෙන් ආශිර්වාදය ලැබෙන දවසේ එනම් බුදුවෙන්න හිත පහළ වෙච්ච දවසේ. ශ්‍රද්ධා බීජ උන්වහන්සේගේ සිතේ රෝපණය වුණේ. එදා සිට දීපංකර පාදමූලයේදී මස්ථකප්‍රාප්ත වුණා. අන්න එදා තමයි ශ්‍රද්ධාව මුදුන්පත් වුණේ. එහෙනම් අපටත් කලින් උන්වහන්සේට මේ ශ්‍රද්ධා ගුණය මනාව පිහිටා තිබුණා. ඊළඟට පවට ලජ්ජාව සහ බිය” අපි පවට ලජ්ජා වෙන්නේ ඇයි? තමන්ගේ වැදගත්කම සිතලා. බිය වෙන්නේ ඇයි. දඬුවම් සමාජයෙන් ලැබෙයි කියලා. එහෙනම් අපි හැමවෙලේම පවට ලජ්ජාවෙන්න ඕන. පවට බිය වෙන්න ඕන. බුදුපියාණන් වහන්සේ පවට ලජ්ජයි, බියයි. උන්වහන්සේ කිසිදාක පව් කළේ නෑ. අධිගම බහුශ්‍රැත කියලා දෙයක් තියෙනවා.

ආගම බහුශ්‍රැත කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචන ඉගෙන ගැනීම, මතක තබා ගැනීම, සහ කට පාඩම් කිරීමයි.

අධිගම බහුශ්‍රැත කියන්නේ දරාගත් ධර්මය භාවනා වශයෙන් වඩලා ධ්‍යාන සමාධි සමාපත්ති විදර්ශනා ඥාන ලැබීම අධිගම බහුශ්‍රැත. ඒ බව පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දෙන්නෙක් මහණ වුණා. යාළුවෝ දෙන්නෙක්. මහණ වුණාට පස්සේ බුදුපියාණන් වහන්සේ අදහනවා දැන් මොනවද දෙන්නා කරන්න කැමති. අර තරුණ භික්ෂුව ‘මට ඉගෙන ගන්න ඕන’ කියනවා. වයස්ගත භික්ෂුව ‘මට ඉතින් ග්‍රන්ථ ධූරය නම් බෑ. විදර්ශනා ධූරය නම් හොඳයි. ඉතින් දෙන්නා දෙපැත්තට ගියා. ඉතින් අර ඉගෙන ගන්න ගිය භික්ෂුව හොඳට ඉගෙන ගෙන, ධර්මය දරාගෙන කාලයක් ගියාට පස්සේ හිතනවා. ‘යන්ට ඕනේ මගේ යාළුවා හම්බවෙන්න ගොඩක් කාලයකින් දැක්කේ නෑනේ. හැබැයි නරක ගතියක් තියෙන්නේ හිතේ. ඔන්න මොහොකටවත් නෙමෙයි තමන් ඉගෙන ගත් දේවල් ගැන එයත් එක්ක වාද විවාද කරන්නට. ඒ වෙලාවේ තථාගත. බුදුපියාණන් වහන්සේ මෙය දැක්කා දැකලා උන්වහන්සේ වඩිනවා ඇයි වඩින්නේ? උන්වහන්සේ කියන්නේ. ‘මම යන්නෙ මගේ දරුවා බේරගන්න. කවුද මේ දරුවා? අර විදර්ශනා පැත්තට ගිය උතුමන්, දැන් ඉගෙන ගන්න ගිය භික්ෂුව ත්‍රිපිටකය හොඳට ඉගෙන ගත්තා. විදර්ශනාවට ගිය භික්ෂුව රහත් වෙලා තමයි ඉන්නේ. බුදුපියාණන් වහන්සේ මෙතනට වැඩම කරලා උන්වහන්සේ මැඳ සිට දෙපැත්තෙන් ප්‍රශ්න අහනවා. ත්‍රිපිටකය ගැන ප්‍රශ්න අහන කොට අර භික්ෂුව බොහොම දක්ෂ පිළිතුරු දුන්නා. ප්‍රායෝගික ප්‍රශ්නයක් උගත් භික්ෂුවගෙන් අහනකොට පිළිතුරු දෙන්න බෑ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ වදාරන්නේ,

අනුන්ගේ ගවයන් බලන ගොපල්ලෙක් වගේ තමයි. බොහෝ දේවල් ඉගෙන ගෙන කියව කියවා ඉන්න එක. නමුත් ඉගෙන ගත්ත දේ වටිනවා ප්‍රායෝගිකව යෙදවීමෙන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු පෝටිල ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ ත්‍රිපිටකයේ මහා උගතෙක්. නමුත් බුදුපියාණන් වහන්සේ කතා කළේ තුච්ඡ පෝටිල කියලා. හිස් පෝටිල කියලා. ඇයි? උන්වහන්සේ භාවනාව දන්නෙ නෑ. ධ්‍යාන දන්නෙ නෑ. මාර්ගඵල අවබෝධ කරගෙන නැ. නිවන් දැකලා නෑ. එහෙනම් තථාගතයන් වහන්සේ බහුශ්‍රැත කියලා කියන්නේ කාටද? ආගම බහුශ්‍රැතයට නෙමෙයි ත්‍රිපිටකය ඉගෙන ගත්ත භික්ෂුවට නෙමෙයි. භාවනාවෙන්, ප්‍රායෝගික අත්දැකීමෙන් මාර්ගඵල දක්වා ගිය උතුමන්ට තමයි බහුශ්‍රැත කියලා කියන්නේ.