Print this Article


දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරය

දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුගම්පොළ දොරණාගොඩ ග්‍රාමසේවා වසමේ පිහිටා තිබෙන මෙම ඓතිහාසික පුරාණ රජ මහා විහාරස්ථානයේ ඉතිහාසය දෙවනපෑතිස් රජ දවස දක්වා දිවෙයි.

දේවානම්පියතිස්ස රජතුමා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් එම පිරිසත් ගෞරවාදරයෙන් පිළිගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහමෙව්නා උයනෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් අනතුරුව දඹදිවින් පැමිණි සුමිත්ත හා බෝධි ගුප්ත කුමාරවරුන් ඇතුළු පිරිස පිළිගෙන අනුරාධපුරයෙහි ටික කලක් වාසය කිරීමට ඉඩ සලස්වා පසුව ලක්දිව යම් යම් ස්ථානවල ගම්වර සහිතව පදිංචි කරවූ බව ඉතිහාසයෙහි සඳහන් වේ.

මෙයින් සුමිත්ත නම් කුමාරයාට තමන්ට ලැබුණු විල්ගමුව නම් ගම්වරෙහි ජීවත්වීමට අවසර ලබාගෙන පැමිණ ඇත.

එම විල පැවති ඉසව්ව විල්ගමුවයි. එම ඉසව්වට ඇතුළුවීමට තිබූ දොරටුව විල් ජලයෙන් යට වී නැතිව ගියෙන් දොර + ණෑ + ගොඩ දොරණෑගොඩ යන අන්වර්ථ නාමය තබා සුදුසු ස්ථානයක මාළිගයක් තනාගෙන ජීවත් වූ බව දොරණාගොඩ විහාර පටුනේ සඳහන් වේ.


රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්ද නා හිමි

සෙංකඩගල පුර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය මුතුගල හා කැලණි විහාරාධිපති දෙහිගස්පේ අත්ථදස්සී හා මාපිටිගම බුද්ධරක්ඛිත යන ස්වාමීන් වහන්සේලා විසින් මේ වන විට වල් බිහිව තිබූ දොරණාගොඩ සුමන්තින්දාරාමය දායක දායිකාවන්ගේද සහාය ඇතිව ප්‍රකෘතිමත් කරන ලදී. කැලණි විහාරාධිපති හිමියන්ගේ නායකත්වය යටතේ මෙම සුමන්තින්දාරාමය පාලනය වූයේත් එකල පුංචි කැලණිය නමින්ද ප්‍රසිද්ධ විය.

ඒ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවේ ගිරිදර ශ්‍රී බුද්ධරක්ෂිත රතනජෝති හිමියන් මෙම විහාරස්ථානයේ නායකත්වයට පත්වීමෙන් පසුව නාපාගොඩ විහාරස්ථානයෙහි පවත්වාගෙන ගිය සදානන්ද ශාස්ත්‍ර ශාලාව දොරණාගොඩ සුමන්තින්දාරාමයේ ස්ථාපිත කොට පිරිවෙනක් බවට පත් කළේ ය.

ශ්‍රී බුද්ධරක්ෂිත රතනජෝති නායක හිමියන් අපවත්වීමෙන් පසු කොත්මලේ ශ්‍රී බුද්ධරක්ඛිත උපනන්ද නාහිමියන් සුමන්තින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පදවියට හා සදානන්ද පිරිවෙන් පරිවේණාධිපතිධුරයට පත්වන්නේ සීනාදී සිව් කෝරළයෙහි විශේෂ අධිකරණ සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක පදවියද සමගින් ය.

ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය පවතිනතුරු එම විහාරය පැවැතීම සඳහා විහාර ගෙය බුද්ධ ප්‍රතිමාව සහ චිත්‍ර වලින් අංග සම්පූර්ණ විය. ඒ සඳහා ඒ.එස්.ධර්මදාස මහතා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ද , ඩී.ඒ.බස්නායක මහතා මහාභිණිෂ්ක්‍රමන ප්‍රතිමාවද, සම්මා සම්බුද්ධ ප්‍රතිමාව, එල්.ඩබ්.ලුවිස්හාමි මහතාද , බුද්ධ පරිනිර්වාණ ප්‍රතිමාව ඩී.ඩී. ජයසිංහ සහ ඩී.එච්. ජයසිංහ මහතුන්ගේද ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලදී.

කොත්මලේ ශ්‍රී බුද්ධරක්ඛිත උපනන්ද නා හිමියන්ගෙන් පසු රඹුක්වැල්ලේ ශ්‍රී ප්‍රඥාසාරාභිධාන සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක හිමියන්ද උන්වහන්සේගෙන් පසුව කුරු කොහොගම ජිනානන්ද නා හිමියනුත් උන්වහන්සේගෙන් පසු ගැටලාවේ සෝරත හිමියන් උන්වහන්සේගෙන් පසු නායක පදවියට පත්වන්නේ වත්මන් නායක ධූරය හොබවන ජර්මනියේ බර්ලින්නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම කීර්ති භාෂාන්තර විශාරද රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්ද නා හිමියන් ය.

උන්වහන්සේට මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ධුරන්දර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ‘සද්ධර්ම කීර්ති බුද්ධරක්ෂිත භාෂාන්තර විශාරද’ යන ගෞරව නාමය සහිතව ජර්මනියේ සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් උපහාර පිණිස මෙය ලියවේ.

එකී සන්නස් පත්‍රය 2018 ජූලි 06 දින පස්වරු 3.00 ට මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අති ගෞරවනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමියන්ගේ සුරතින් මල්වතු උපෝෂතාගාරයේ දී පිරිනැමේ. අභිනව නා හිමියන් පිළිගැනීමේ උත්සවය ජූලි 08 දින පස්වරු 3.00 ට දොරණාගොඩ සුමන්තින්දාරාමයේ දී ස්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක අග්ගමහා පණ්ඩිත නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු හා ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.