Print this Article


පුවත්පත් කලාවට ආභරණයක් වූ විශිෂ්ට මාධ්‍යවේදියා චාමර ලක්ෂාන්

පුවත්පත් කලාවට ආභරණයක් වූ

විශිෂ්ට මාධ්‍යවේදියා චාමර ලක්ෂාන්

"චාමර ජීවිත ගමනින් සමුගත්තේ වසර තිස්නවයක් තරම් වූ තරුණ වයසේ දී ය. ක්‍රියාශීලීව වැඩ කළ හැකි වයසේ දී ය. 1978 වසරේ දී උපන් ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද උපාධිධරයෙකි. ඔහුගේ ලේඛන ශෛලීය සිත් ගන්නා සුළු ය. ක්‍රීඩා ඇතුළු බොහෝ විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳව ද ඔහු සතු දැනුම වෙසෙස් ය."

ඔහු, අධ්‍යාපනයෙන් ලද පන්නරයෙන් ද, සහජ කුසලතාවයන්ගෙන් ද මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා කෙටි කලකදී විශිෂ්ට කුසලතා පෙන්වූ තරුණ මාධ්‍යවේදියෙකි. චාමර ලක්ෂාන් කුමාර. ලේක්හවුස් ආයතනයේ ‘සිළුමිණ’ ජාතික පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස ද, ‘රැස’ දිනපතා පුවත්පතේ නියමු කතුවරයා ලෙස ද වගකීම් සහිත මාධ්‍ය කලාවක නිරත වූ ඔහු, මාධ්‍ය ක්ෂේත්‍රයට මහා හිඩැසක් ඉතිරිකරමින් පසුගියදා (30) ජීවන ගමනින් සමුගත්තේ ජීවිතයේ අනියත බව මේ යැයි පසක් කරමිනි. අනුබුදු මිහිඳු මා හිමියන් ලක්දිවට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පැවැති මෙවර මිහින්තල ා ලේක්හවුස් ආලෝක පූජාවේ ආරම්භක දිනය දා එම පුණ්‍ය මහෝත්සවයට ඔහු සහභාගි (26) විය. පොහෝ දින උදෑසන ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන සවස මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කමට සහභාගි වීමට පින්බර සිතිවිලි ඇති කරගනිමින් ඊට සුදානම් වූව ද ඒ අවස්ථාව මගහැරී ගියේ ය. මාධ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව හැදූ වැඩූ මව්පියන්, සිව් වසරක් වයසැති සිඟිති පුතණුවන්, ආදරණීය බිරිය සෝ සයුරේ ගිල්වමින් ලෝ දහමට මුහුණ දෙන්නට චාමරට ද සිදුවිය.

බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ මාධ්‍ය ලොව පෙරළිකාරයකු ලෙසය. පාඨකයා ගේ පුවත් පවස කුමක් දැයි චාමර හොඳින් දැන සිටි බවට ඔහු මෙහෙය වූ පුවත්පත් ම සාක්ෂි දරයි.

චාමර ජීවිත ගමනින් සමුගත්තේ වසර තිස්නවයක් තරම් වූ තරුණ වයසේ දී ය. ක්‍රියාශීලීව වැඩ කළ හැකි වයසේ දී ය. 1978 වසරේ දී උපන් ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද උපාධිධරයෙකි. ඔහුගේ ලේඛන ශෛලීය සිත් ගන්නා සුළු ය. ක්‍රීඩා ඇතුළු බොහෝ විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳව ද ඔහු සතු දැනුම වෙසෙස් ය.

ඔහුගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ ‘රැස’ පුවත්පත ඉතා කෙටි කලකින් පාඨක ප්‍රසාදය දිනා ගත්තේ ය. සිළුමිණ ජාතික පුවත්පත ද නවමු මාවතකට පියවර තැබුවේ ය.

මෙසේ මාධ්‍ය ලෝකයට දැවැන්ත මෙහෙවරක් ඉටු කරන්නට ඇප කැප වූ චාමරට ඉතා කෙටි කලක දී ඒ ගමන නතර කරන්නට සිදුවීම ලේක්හවුස් ආයතනයට සේ ම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයට ද ඉමහත් පාඩුවකි.

එහෙත් මරණය නවතාලන්නට කිසිවෙකුටත් නොහැකිය. ඒ ලෝ දහම ය. අපගේ මාධ්‍ය සහෘදයාට, චාමර ලක්ෂාන් තරුණ මාධ්‍යවේදියාට අපිදු නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.