Print this Article


බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ

බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 237 කට පසුව අපගේ පුණ්‍ය භූමියට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ මෙම ලක් දෙරණේ ස්ථාපිත වූ බෞද්ධ ශිෂ්ටාචාරය, විවිධ ක්ෂේත්‍රයන්හි එනම් බෞද්ධ රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ආර්ථිකය, වෙදකම හා සෞඛ්‍යය, නීතියේ පාලනය, සංස්කෘතිය, භාෂාව හා සාහිත්‍ය, චින්තනය හා සහජීවනය යනාදියේදී ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් අනන්‍ය වූ ආකාරයෙන් බෞද්ධ දර්ශනය හා මූලධර්ම මත පදනම්ව අද දක්වා පෝෂණය වී පැවතගෙන එන බව අවිවාදයෙන් පිළිගැනේ.

මෙලෙස වසර දෙදහස් තුන්සිය විසි පහකට වඩා පැරණි අඛණ්ඩ උරුමයන් සුරක්ෂිත කිරීම සඳහාත්, සාමය සහජීවනය පිරි සාමකාමී සංවර්ධිත හා තෘප්තිමත් සමාජයක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් 2018 පොසොන් පොහෝ දින (27) ඓතිහාසික මිහින්තලා පුදබිමේ සන්නිපාත ශාලාවේ දී මිහින්තලා රජමහා විහාරාධිපති වළවා හැංගුණුවැවේ ධම්මරතන නා හිමි ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේ දී ස්ථාපිත කරන ලදී.