Print this Article


බුදුපිළිමයේ උපත - 104: ශ්‍රී පාද වන්දනාව

බුදුපිළිමයේ උපත - 104:

ශ්‍රී පාද වන්දනාව

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ඉපැරැණි ශිෂ්ටාචාරවල සිය අනුගාමිකයන් සඳහා විවිධ සාන්තුවරයන් හෝ දෙවියන් විසින් තබන ලද පාසටහන් ගැන මූලාශ්‍ර ග්‍රන්ථයන්හි දක්නට ලැබේ.

සිදුහත් කුමරු උපත ලද විගසම සත්පියවරක් පා තබා ගමන් කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාගේ සුඛය පිණිස පා ගමනින්ම වැඩම කළ සේක. යම් යම් අවස්ථාවලදී එම ප්‍රදේශවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන සටහන තැබූ බැව් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ විසින් මහා සුමන දිව්‍ය රාජයාගේ වාසභවනය වූ සමන්ත කූටයෙහි (කැලණියට වැඩම කළ තුන්වැනි ගමනේ දී) සිරිපා සටහන තැබූ බව මහාවංසයෙහි සඳහන් වේ. මහාවංසය පළමු වන පරිච්ඡේදය – පරිවර්තනය අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා. පි. 5 ගාථා 77 – 78 )

පාලි සාහිත්‍යයෙහි ශ්‍රී පාද ලාංඡන පිහිටි පුදබිම් පහක් පිළිබඳව සඳහන් වෙයි. ඒවා නම් ස්වර්ණ බාලිකා සුවන්න පබ්බත, සුමනකූට සෝනක පුර සහ නර්මදා නදී තීරයයි. (Budyalankara H.R.H – The Buddha Foot Prints – Journal of the siam society – Bankok pt I pp 1 – 14 – 1935)
 

මීට අමතරව බුරුමය (මියන්මාර්) තායිලන්තය, ලාඕස් හා කාම්බෝජය යන රටවල බෞද්ධ ජනතාව විසින් විශ්වාස කරනු ලබන අදහස් අනුව බුදුරජාණන් වහන්සේ ඒ ඒ රටවලට වැඩම කර සිරිපා සටහන් තැබූ බව පාරම්පරිකවම සලකනු ලැබේ.

සිරිපතුල් වන්දනාවේ බුදු පිළිම නිර්මාණය බොහෝ ඈත කාලයකට ඉහත දී සිටම පැවැති බව සමහර පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. Manual of Indian Buddhism H kern – p. 68 – 1968)

ශ්‍රී පාද වන්දනාව

උඳුවප් පුර පසළොස්වක් පෝදා ඇරැඹී ඊළඟ වෙසක් පුර පසළොස්වක්දායින් අවසන් වන ශ්‍රී පාද වන්දනා සමය පවතින්නේ ය. සිරිපා වන්දනාව ඉතා පැරැණි කාලයේ පටන් පැවතුණි. නිශ්චිත ලෙසින් මේ පිළිබඳ පළමුවරට සඳහන් වී ඇත්තේ (ක්‍රි.ව. 1055- 1110) පොළොන්නරුවේ රජ කළ මහවිජයබාහු රජතුමාගේ කාලයේ දී ය. ඒ අනුව පොළොන්නරුව රාජධානි සමය වන විට සමනොළ සිරිපා වන්දනාව ඊට ඉහත කාලයට වඩා මහ විජයබාහු රජතුමා මෙන්ම ඊට පසුව රජ වූ නිශ්ශංකමල්ල රජතුමාගේ (ක්‍රි.ව. 1187 – 1196) සෙල්ලිපිවලින් ඒ රජවරුන් දෙදෙනා ශ්‍රී පාද පුදබිම වෙනුවෙන් දක්වන ලද රාජකීය අනුග්‍රහය පැහැදිලි කර ඇත. එම තොරතුරු මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන් වන කරුණුවලින්ද සනාථ වී ඇත. මහවිජයබාහු රජතුමා විසින් අඹගමුව සහ ගිලීමලයේ පිහිටුවන ලද ශිලා ලිපි දෙක පොළොන්නරු රාජධානි සමයේ සමස්ත කාලය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍ර අතර ප්‍රමුඛතාවයක් ගනී. ඊට පසුව පොළොන්නරුවේ රජවූ නිශ්ශංක මල්ල රජතුමාගේ සෙල්ලිපිද මේ අන්දමේ තොරතුරු සපයන අභිලේඛන ලෙස සැලකේ. ගිලිමලය, අඹගමුව හා ඌව පාරවල් ප්‍රතිසංස්කරණය කරවූ විජයබාහු රජතුමා ඒවායේ අම්බලම් ද පිහිටවූයේ ය. අඹගමුව ශිලාලිපිය පරීක්ෂණය සඳහා අප රටේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා ගිය බව ඔහුගේ 1911.09.12 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වේ. (Epigraphia – Zeylanica vol II Dept of Archaeology)
 

මහවිජයබාහු රජතුමාගේ 38 වැනි රාජවර්ෂයේ දී පිහිටුවන ලද අඹගමුව ශිලා ලිපිය පේළි 58 න් යුක්ත ය.මහවිජයබාහු රජතුමා මේ සිරිලක එස්සේසත් කර සතුරු බලවේග සියල්ල විනාශ කර සිංහාසනාරූඪ වී වසර 37 ක් ඉකුත් වූ කල ගිලීමලේ මාවත ඔස්සේ සමනොළ නැග හැටන් පාරෙන් පෙරළා රජ රටට ගොස් ඇත. අඹගමුව ශිලා ලේඛනයේ පේළි 58 කි. එයින් 1 සිට 21 වැනි පේළිය තෙක් මහ විජයබාහු රජතුමා ලංකාව එක්සේසත් කිරීම ගැන සඳහන් වේ.

මෙහි 22 පේළියේ සිට 58 වැනි පේළිය තෙක් ශිලා ලිපියෙන් විස්තර වන්නේ රජතුමාගේ ශ්‍රී පාද වන්දනාව ගැන ය. විජයබාහු රජතුමා ශ්‍රීපාද වන්දනාවේ ගොස් පුද පූජා පවත්වා පාරවල්, පාලම්, දන්සැල් ආදිය කරවූ බව මහා වංසයේ සඳහන් වන අතර මෙම ශිලා ලේඛනවලින්ද තහවුරු වේ. එකල ශ්‍රීපාදය නැගීම සඳහා මාර්ග තුනක් පැවති බව මෙහි සඳහන් වෙයි. (මහවිජයබාහු, සිරිසමන් විජේතුංග - පි. 41 දයාවංශ ජයකොඩි සහ සමාගම – 2013)

බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලංකාවට වැඩම කොට සුමනකූටයට වැඩ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීමේ සිද්ධිය පැරැණි වංසකතා හැම එකකම පාහේ විස්තර කර ඇත. රුහුණේ ඉතිහාසයට වැදගත් තැනක් දෙන ධාතුවංශයෙහි ද මේ තොරතුරු සඳහන් වේ.

දඹදෙණි රාජධානි සමයේ දී ද විශේෂයෙන් දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ දී රජතුමා සිව්රඟ සෙනග සමඟ ගොස් සමනොළ ගිර ශ්‍රී පාද වැඳ පුදා ඒ සඳහා කළ සේවාව පිළිබඳ දඹදෙණි රාජධානි සමයේ ලියන ලද පූජාවලිය ග්‍රන්ථයෙහි ඉතා දීර්ඝ ලෙසින් සඳහන් වේ.

දඹදෙනි යුගයේ දී ශ්‍රී පාදය පිළිබඳ තවත් වැදගත් සිද්ධි රැසක් ඇති විය. එනම් වේදේහ ස්වාමීන් වහන්සේ විසින් සමන්තකූට වණ්ණනා’ නම් පාලි කාව්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කිරීම ය. මෙහි පාලි ගාථා 796 ක් පමණ වන අතර එයින් ගාථා 600 පමණ බුද්ධ චරිතය වර්ණනා කිරීම සඳහා යොදා ඇත.

ඊට අමතරව බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ ගමන් තුන ගැන ද තුන් වැනි ගමනේ දී සමනළ ගිරි මුදුනේ ශ්‍රී පාදය පිහිටුවීමත්, ශ්‍රී පාදයේ මඟුල් ලකුණුත් මෙහි සඳහන් වේ. ශ්‍රී පාදස්ථානය පිළිබඳ කෝට්ටේ රාජධානි සමයේ දී ‘සමන්සිරිත’ නමින් ග්‍රන්ථයක් ලියා ඇත. එහි දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේ සිට කෝට්ටේ හත්වැනි බුවනෙකබාහු රජවරුන් විසින් කරන ලද පූජා, ශ්‍රී පාදය පිහිටුවීම, සබරගමුවේ දේවාලය, සමන් දෙවියන් පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගත වේ.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 103 : නීලගිරි මහා දාගැබෙන් හමු වූ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ